×

කුකුල් හිමියා කුකුල් පොරයෙන් මරුට – පොර කුකුළා පොලීසියේ

කුකුළන් කෙටවීම අමානුෂික ක්‍රීඩාවක් ලෙස ප්‍රකට ය. ඉන්දියාවේ කුකුළන් කෙටවීම නීතියෙන් තහනම් නමුත්, තවමත් ග්‍රාමීය ප්‍ර දේශවල එය ජයටම සිදු කෙරෙයි.


පොර කුකුළෙකුගේ පාදයකට පිහියා හෝ බ්ලේඩ් තල ගැට ගසමින් තවත් කුකුළෙකු සමග කොටවා, එක් සතෙකු බරපතළ තුවාල ලැබීම හෝ මිය යාම නරඹමින් අමානුෂික ලෙස සතුටු වීම මෙහිදී සිදු වේ.

කෙසේ නමුත් දකුණු ඉන්දියාවේ කුකුළන් කෙටවීමකදී පොර කුකුළාගේ පයේ බැඳ තිබූ පිහිය අවසානයේ නතර වී තිබෙන්නේ එම කුකුළාගේ හිමිකරුගේ කටිය (ඉකිළිය) ප්‍රදේශයේය. එයින් බරපතළ කැපුම් තුවාළ ඇති වෙද්දී කුකුළා පළා ගිය අතර, පෙර කී පුද්ගලයා අධික ලේ වහනය නිසා රෝහල් ගත කිරීමට ද පෙර මිය ගොස් තිබේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ තෙළඟනා ප්‍ර දේශයෙනි. ලොතුනුර් නමැති ගම්මානයේදී සිදුකළ මෙම කුකුළන් කෙටවීමේ තරගය සංවිධානය කිරීමට 16 දෙනෙක් පමණ මුල් වී තිබේ. මේ වන විට ඉතිරි 15 දෙනා සොයා පොලිසිය මෙහෙයුම් දියත් කර ඇත.

තෙළගනා, අන්ද්‍රා ප්‍රදේශ්, කර්ණාටක සහ ඔඩිස්සා ප්‍රාන්තවල තවමත් නීතිමය තහනම නොතකා ජයටම කුකුල් කෙටවිල්ල සිදුකෙරෙන බව පවසන්නේ ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවයයි. පොර කුකුළන් මේ පළාත්වල විශේෂයෙන් ඇතිදැඩි කරන අතර, උන්ගේ පාදවලට අඟල් 3 ක් පමණ දිග පිහියා ගැට ගසමින් උන්ව අනාගත තරග සඳහා පුහුණු කිරීම ද සුලබ බව අනාවරණය වේ. සත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගේ දැඩි විරෝධතා මැද ඉන්දියාවේ කුකුළන් දහස් ගණනක් මෙම කුකුළන් කෙටවීම හේතුවෙන් වාර්ෂිකව මරණයට පත් වීම ද සිදු වේ.

පොර කුකුළා පොලීසියේ

පයේ පිහියක් බඳින ලද කුකුළා, වාසනාවකට මෙන් පොලිසිය විසින් අල්ලාගෙන ඇති අතර, උගේ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයේ තබා ඇති බව ද වාර්තා වේ. එසේ නොවී, කෝපාවිෂ්ට ගම්වැසියන්ට හසු වුණා නම් කුකුළා මේ වන විට සිටිනු ඇත්තේ පරලොව ය.

දැන් පෙර කී පුද්ගලයා මිය යාම හේතුවෙන් මිනීමැරුම් චෝදනා නගා තිබේ.

කුකුළාටද? නැත. නීති විරෝධී කුකුල් කෙටවිල්ල සංවිධානය කළ, දැන් පළා ගොස් සිටින සෙසු 15 දෙනාට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි