×

ඉන්දුනීසියාව නැවත දෙදරයි. පැපුවා නිව් ගිනියාවටත් භූ කම්පන

ඉන්දුනීසියාවට සහ පැපුවා නිව්ගිනියාවට භූ කම්පන. පැපුවා නිව්ගිනියාවට සුනාමි අනතුර ඇඟවීමකුත් නිකුත් කෙරේ!


රිච්ටර් මාපකයේ 6ක් ලෙස සටහන් වුණු භූ කම්පන තත්ත්වයක් ඉන්දුනීසියාවට අද අලුයම බලපා තිබේ. භූ කම්පනය හේතුවෙන් තිදෙනක් ජීවිතක්ෂයට පත් වූහ. ඉන්දුනීසියාවේ ජාවා සහ බාලි දූපත්වලට භූ කම්පනය බලපා ඇති බව එරට රජය සඳහන් කරයි. නැඟෙනහිර ජාවාහි සුමෙනෙප් (Sumenep) දිස්ත්‍රික්කයේ ගොඩනැඟිලි සහ මංමාවත් සෑහෙන සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇත. අලුයම් කාලයේදී භූකම්පනය ඇති වූ බැවින් බොහෝදෙනෙකු විපතට මැදි වූ බව එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වේ. භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොකෙරිණ.

එම භූ කම්පනය සිදු වී දෙපැයක් ගතවන්නට පළමුව පැපුවා නිව් ගිනියාහි නිව් බ්‍රිටේන් දූපත් ආශ්‍රිත ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7ක් ලෙස සටහන් වුණු භූ කම්පන තත්ත්වයක් ඇති විණ. එය ඇතිවීමත් සමඟම අනතුරු ඇඟවීමේ පද්ධති ක්‍රියාත්මක වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එම ඇඟවීම ඉන් පසුව ඉවත් කෙරිණ.

පසුගිය 28වැනිදා ඉන්දුනීසියාවේ පාලු වෙත බලපෑ භූ කම්පනය සහ සුනාමි තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූවන් සොයා කෙරුණු මෙහෙයුම් අවසන් කරන්නට එරට බලධාරීන් තීරණය කර ඇත. නිල වාර්තාවල සඳහන් වන අන්දමට තවත් 680කට ආසන්න පිරිසක් ගැන කිසිදු තොරතුරක් මේ වනතුරු නැත. නිල නොවන වාර්තාවන් පෙන්වා දෙන්නේ 5000කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බවකි. පාලුන්හි දෙලක්ෂයකට අධික සංඛ්‍යාවකට උන්හිටි තැන් අහිමි වී ඇතැයි කියා එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන්ට කඩිනමින් මානුෂීය ආධාර අවශ්‍ය බව ජගත් සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම පිරිසිදු පානීය ජලය සහ වෛද්‍ය ආධාර අවශ්‍යය බව සඳහන් වේ.

එහෙත්, ජාත්‍යන්තරයෙන් ලැබෙන ආධාර මත යැපීම සීමා කරන්නට ඉන්දුනීසියා රජය දැන් තීරණය කර ඇත. විපතට පත් අය සඳහා කූඩාරම්, ජලය, වෛද්‍යාධාර, විදුලි ජනන යන්ත්‍ර සහ ප්‍රවාහන පහසුකම් හැරුණුවිට වෙනත් ආධාර බලාපොරොත්තු නොවන බව ඉන්දුනීසියා රජය පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි