×

ඉන්දුනීසියාවේ ‘පාලූ‘, පාළු සුසානයක් කළ සුනාමිය

ඉන්දුනීසියාවේ භූ චලනයෙන් සහ සුනාමියෙන් මිය ගිය ගණන 900 දක්වා ඉහළට


ඉන්දුනීසියාවේ පසුගිය සිකුරාදා හටගත් රික්ටර් ඒකක 7.5 ක භූ චලනයෙන් සහ සුනාමි උවදුර හේතුවෙන් මිය ගිය ගණන 900 කට ආසන්න බව නවතම වාර්තාවල දැක්වේ.

සුලෙවාසි දූපත්වලට අයත් පාලු ප්‍රදේශය පළමු භූමි කම්පාවට අනතුරුව පසුකම්පන ගණනාවක් ඇති වූ අතර, අලුත්ම වාර්තාවලට අනුව සුනාමි රළ අඩි 18 ක් දක්වා ඉහළ නැග තිබේ. 335,000 දෙනෙක් ජීවත් වූ පාලු ප්‍රදේශය සහ ඒ අවට ප්‍රදේශය මෙම විපතින් පසු අද වන විට දිස්වන්නේ පාළු සුසාන භූමියක් සේ ය.

Antara Foto/Reuters

Antara Foto/Reuters

පුද්ගලයන් 832 ක් ජීවිතක්ෂයට පත්වී ඇති බවත්, ලක්ෂ 16 ක්අවතැන් වී ඇති බවත් මේ වන විට නිල වාර්තාවල දැක්වේ. මිය ගිය සංඛ්‍යාව ඉරිදා උදෑසන වන විට දෙගුණ වී තිබිණි.

සුනාමි අවදානම සම්බන්ධයෙන් නිසි පරිදි අනතුරු ඇඟවීම් සිදුකෙරී නොතිබුණු බවට ද මේ සමගම චෝදනා එල්ල වේ. පසුගිය වසර 6 ක කාලයක් මුළුල්ලේ ඉන්දුනීසියාවේ විවෘත සාගර කලාපයේ බෝයාවන් 22 ක් විසුරුවා තබා තිබෙන්නේ සුනාමි අවදානමක් තිබේ නම් ඒ පිළිබඳ කලින්ම දැන ගැනීම සඳහා ය. නමුත් ඒ කිසිදු බෝයාවක් මගින් මෙම අවදානම අනාවරණය කර ගත්තේ නැත.

එය බරපතළ ප්‍රශ්නයක් බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

පාලූ දූපතේ වෙරළ තීරයේ උත්සවයක් පැවැත්වෙන අතරවාරයේ සුනාමි රළ කඩා වැදී ඇති බව ද මේ වන විට අනාවරණය වී තිබේ.

Roa Roa නමැති අට මහල් හෝටලයක් භූ චලනය හේතුවෙන් එහි රැඳී සිටි අමුත්තන් 50 දෙනෙකු සමග පණපිටින් වැළලී තිබේ. ඉරිදා සවස වන විට සොයාගත හැකිව තිබුණේ එක් මළ සිරුරක් පමණකි. තවත් ගොඩනැගිලි දහස් ගණනක් මෙම විපත හේතුවෙන් පොළොවට කඩා වැටී ඇත.

පාලූ නගරයේ සිට ළඟම ඇති ගුවන් තොටුපොළට පැය 20 ක පමණක ගමනක් තිබේ. ගුවන් තොටුපොළද භූමි කම්පාවෙන් හානියට පත්ව ඇතිනිසා සහනාධාර බෙදාහැරීමට සිදුව තිබෙන්නේ සීමිත ගුවන් ගමන් කිහිපයකින් පමණි.

දින දෙකක් තිස්සේ සිය මව ද සමග සුන්බුන් අතර සිරවී සිටි කාන්තාවක් බේරාගැනීමට සහන සේවකයන් මේ වන විට සමත් වී තිබේ.

දින දෙකක් තිස්සේ සුන්බුන් අතර.. ntara Foto/Reuters

දින දෙකක් තිස්සේ සුන්බුන් අතර.. ntara Foto/Reuters

පාලූ නගරයේ පමණක් 17000කට ආසන්න පිරිසක් මෙම භූමි කම්පා-සුනාමි උවදුර නිසා උන් හිටිතැන් නැති වී ඇත.

වර්ල්ඩ් විෂන් ආයතනය මෙම පාලූ ප්‍රෙද්ශයේ දරුවන් 5700 කට පමණ මූල්‍ය ආධාර ලබාදෙන ව්‍යාපෘතියක් දියත් කර තිබිණි. මෙම ස්වභාවික විපතින් පසු ඔවුන්ගේ සේවකයන්ගෙන් සොයාගැනීමට හැකි වී තිබෙන්නේ 70 දෙනෙක් පමණි. සෙසු අය සහ ඔවුන්ගේ පවුල්වල අය පිළිබඳ දැනට ප්‍රමාණවත් ආරංචියක් නැති බව ද පැවසේ.

මේ අතර සුනාමියෙන් හා භූමි කම්පාවෙන් හානියට පත්ව තිබූ වෙළඳසැල්වලින් ඇතැම් කණ්ඩායම් බඩු භාණ්ඩ මංකොල්ල කෑමේ යෙදී සිටින බව ද වාර්තා වේ.

Antara Foto/Reuters

Antara Foto/Reuters

2004 වසරේදී ශ්‍රී ලංකාවේ ද ජීවිත දහස් ගණනක් සොරාගත් ඉන්දු සයුරු සුනාමියෙන් වැඩිම හානියක් වාර්තා වූයේ ඉන්දුනීසියාවෙනි. එහිදී ද භූ චලනය හටගෙන තිබුණේ ඉන්දුනීසියාවේ සුමත්‍රා දිවයිනට ආසන්න ගැඹුරු මුහුදු පත්ලේ ය. මියගිය 226,000 අතරින් 120,000 ක්ම ඉන්දුනීසියානුවෝ වූහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි