×

සිනොවැක් දුන් ඉන්දුනීසියාවේ ගෙන් ගෙට මළ මිනී එකතු කෙරේ: ඩෙල්ටා ප්‍රභේදය ගිනිකොණදිග ආසියාව ගොදුරු බිමක් කර ගෙන

අග්නිදිග ආසියාව බිලි ගනිමින් ඩෙල්ටා වේරියන්ට් සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන අතර, එහි අලුත්ම ගොදුරු බිමක් බවට පත් ව තිබෙන්නේ ඉන්දුනීසියාවයි.


අද දිනය වන විට ඉන්දුනීසියාවේ දෛනික කෝවිඩ් ආසාදන සංඛ්‍යාව ඉන්දියාව සහ බ්‍රසීලය ද ඉක්මවා ගොස් ඇත.

මේ වන විට ස්වෙච්ඡා සේවකයෝ ගෙන් ගෙට ගොස් මළ සිරුරු එකතු කරමින් සිටිති, ඒ, ප්‍රතිකාර ලැබීමට වාසනාවක් නොලබා මිය ගිය අයගේ අවසන් කටයුතු පහසු කර දීම පිණිස ය.

සෙනසුරාදා දිනයේ ඉන්දුනීසියාව පොසිටිව් රෝගීන් 51,952 ක් සහ මණ 1,092 ක් වාර්තා කළේය. එය, පිටපිට තුන් වැනි දිනයටත් පෙන්වා දුන්නේ ඉන්දුනීසියාවේ තත්වය ඉන්දියාව සහ බ්‍රසීලයේ තත්වයටත් වඩා භයානක වී ඇති බවයි.

මේ අතර, සෞඛ්‍ය විශේෂඥයන් සැක පළ කරන ආකාරයට ඉන්දුනීසියාවේ සැබෑ තත්වය මෙයට වඩා බෙහෙවින් බරපතළ විය හැකිය.

‘‘ආසියාව තුළ වසංගතයේ කේන්ද්‍රය බවට දැනටමත් පත්ව තිබෙන්නේ ඉන්දුනීසියාවයි. නමුත් මේ තත්වය අපි වාර්තා කරන්නේ ප්‍රමාණවත් රෝග පරීක්ෂා පහසුකම් නැතිවයි. එසේ තිබුණා නම් අප ලෝකයේම වසංගත අපිකේන්ද්‍රය වන්නටත් පුළුවන්..‘‘

එසේ පවසන්නේ ඔස්ට්‍රේලියාවේ ග්‍රිෆිත් සරසවියේ සේවය කරන වසංගත විද්‍යාඥයෙකු වන වෛද්‍ය ඩිකී බඩිමන් ය.

ලෝකයේ වඩාත්ම දුර්වල කෝවිඩ් පරීක්ෂණ ක්‍රමවේද භාවිතා වන රට වන්නේ ද ඉන්දුනීසියාවයි. වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා ඔවුන් පරීක්ෂාවන්ට ලක් කරනුයේ මිනිසුන් 1,000 කින් 55.89 ක් පමණි. මෙය, ඉන්දියාවටත් වඩා අඩු පරීක්ෂා ප්‍රතිශතයකි. ඉන්දියාවේ මෙ අගය 1,000කට 318.86 කි. ලෝකයේ වැඩිම ටෙස්ටිං සාර්ථකත්වය පෙන්වන්නේ එක්සත් රාජධානියයි. එය මිනිසුන් 1,000කට පරීක්ෂණ වාර 3,311.03 ක් ලෙස සටහන් වේ. එහි අර්ථය වන්නේ එකම තැනැත්තෙකු පවා එක්සත් රාජධානිය තුළදී කිහිප වරක් කෝවිඩ් පරීක්ෂාවන්ට ලක් කරන බව හෝ ලක් කර ඇති බව යි.

කලාපයේ බොහෝ රටවල් මේ වන විට ඩෙල්ටා වේරියන්ට් හි ගොදුරු බිම් බවට පත්වෙමින් තිබේ.

මැලේසියාවේ මෝචරි පිරී ගිහින්

මැලේසියාවේ නාවික කටයුතු සඳහා මෙතෙක් භාවිතා කළ කන්ටේනර්, මේ වන විට රෝහල් වෙත ගෙන යමින් තිබෙන්නේ රෝහල්වල මෝචරි පිරී ඉතිරී ගොස් ඇති හෙයිනි.

මැයි මාසය මුල පැවති තත්වයට වඩා මැලේසියාවේ තත්වය මේ වන විට තුන් ගුණයකින් දරුණු අතට හැරී තිබේ. මේ වන විට වාර්තා වී ඇති මරණ ගණන 6,866 කි. ජූනි 1 වැනිදා හඳුන්වා දුන් ලොක්ඩවුන් තත්වය මැලේසියාව ආර්ථික වශයෙන් ද අඩපණ කර තිබේ. කුවාලාලම්පූර් ඇතුළු නගර ගණනාවක රෝහල්වල සුව සේවා ධාරිතාවයන් වේගයෙන් වැඩි කිරීමට මේ අනුව සිදුව ඇත.

තායිලන්තයත් සිනොවැක් නිසා අඩපණයි

මේ වන විට තායිලන්තයේ ගුවන් තොටුපොළ දෙකක් තුළ ජංගම රෝහල් ඉදි කර තිබේ. ඒ, රටේ රෝහල් ධාරිතාවය බෙහෙවින් පිරිහී ඇති නිසා ය.

අප්‍රේල් මාසය වන විට 30,000කටත් වඩා අඩු ආසාදිතයන් පිරිසක් වාර්තා කළ තායිලන්තයේ මේ වන විට ආසාදිතයන් ලක්ෂ 4 කට වඩා වාර්තා වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය සිකුරාදා විශේෂ අනතුරු ඇඟවීමක් ද මේ සම්බන්ධයෙන් ලබාදුන්නේය. ඔවුන් අවධාරණය කළේ බරපතළ රෝගී තත්වයට පත් වන කෝවිඩ් රෝගීන් ගණන තායිලන්තය තුළ ක්‍රමයෙන් ඉහළ යා හැකි බවයි. තායි රෝහල් ඉදිරි සති කිහිපය ඇතුළත ‘ඉතා විශාල බරක්‘ ඉසිළීමට සූදානම් ව සිටිය යුතු බව ට ද ඔවුන් අනතුරු අඟවා ඇත.

තායිලන්තයේ පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙන්නේ, එනම් එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබෙන්නේ ජනගහනයෙන් 5%කටත් වඩා අඩු ප්‍රතිශතයකට ය. එසේ ලබාදී තිබෙන්නේ ද චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත වීම විශේෂත්වයකි.

පසුගිය සතියේ තායිලන්තය සිය වැක්සින් ප්‍රතිපත්තියේ වෙනසක් නිවේදනය කළේය. ඒ, සිනොවැක් එන්නත්ම දෙකක් ලබාදීම වෙනුවට එක් සිනොවැක් එන්නතක් සහ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමට ය. මේ වන විටත් සිනොවැක් එන්නත් දෙකක් ලබාගෙන ඇති තායිලන්ත සෞඛ්‍ය සේවකයන්ට වෙනත් බූස්ටරයක් ලබාදීමට ද තීරණය කර තිබේ.

මියැන්මාරයේ දරුණු ඔක්සිජන් හිඟයක්

මියැන්මාරයේ දරුණු ඔක්සිජන් හිඟයක් පවතින බවට සඳහන් පෝස්ට්වලින් සමාජ ජාල පිරී ඉතිරී යමින් තිබේ. එහිදී සිවිල් වැසියෝ සිය කෝවිඩ් අත්දැකීම් බෙදා ගනිති. එවැනි බොහෝ කතාන්දරවල දැක්වෙන්නේ තමන්ට ඔක්සිජන් අවශ්‍ය බව ය. රටේ නාගරික කලාපවලින් 90%කට වඩා කෝවිඩ් පොසිටිව් රෝගීන් වාර්තා කරමින් සිටින බව ඉරවඩි වෙබ් අඩවිය සඳහන් කරයි.

යැන්ගොන් පළාතේ ඔක්සිජන් නිපදවන කම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගත හැකිය. ඔක්සිජන් සිලින්ඩර එරට වටිනාම පාරිභෝගික භාණ්ඩය බවට හදිසියේ පත්ව තිබේ.

මියැන්මාරයේ දැනට වැක්සින්කරණයට ලක් කර තිබෙන්නේ ජනගහනයෙන් 4%ක ප්‍රමාණයක් පමණි. එයද, එක් වැක්සින් මාත්‍රාවක් පමණක් ලබාගත් අය ය. පෙබරවාරියේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුව එහි සෞඛ්‍ය සේවය තවදුරටත් බිඳ වැටෙමින් තිබේ. යැන්ගොන් අගනුවර සුසාන භූමිවල පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ පමණක් මළසිරුරු 700 ක් භූමදානය කෙරිණි.

වියට්නාමය නැවතත් ලොක්ඩවුන්

වියට්නාමය නැවත වරක් ලොක්ඩවුන් කර තිබේ. එහි එන්නත්කරණයට ලක් කර තිබෙන්නේ පුරවැසියන්ගෙන් 1%ක් පමණි.

සිනොවැක් ලබාදුන් කලාපයක්

මෙම අග්නිදිග ආසියාවේ රටවල් ප්‍රධාන වශයෙන්ම සිය ජනතාවට ලබාදී තිබෙන්නේ චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නතයි. එය සෙසු සියලු එන්නත්වලට වඩා බලයෙන් අඩු බව කියැවේ.

ඉන්දුනීසියාව සහ තායිලන්තය සිය සෞඛ්‍ය සේවකයන් එන්නත්කරණය සඳහා භාවිතා කළේ ද සිනොවැක් ය. මේ අනුව ඔවුන් දැන් තීරණය කර තිබෙන්නේ ආරක්ෂාව ඉහළ දැමීම සඳහා සිය සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බූස්ටරයක් ද ලබාදෙන්නට ය.

මේ වසරේ මෙම මුල් සති දෙක තුළ පමණක් ඉන්දුනීසියාවේ සෞඛ්‍ය සේවකයන් 180 දෙනෙක් කෝවිඩ් හේතුවෙන් මිය ගොස් තිබේ. වසංගතයේ හැසිරීම අධ්‍යයනය සහ පර්යේෂණ කරන LaporCovid-19 නම් සිවිල් සංවිධානය මේ බව අනාවරණය කරයි. මෙසේ මිය ගිය අය අතර සිනොවැක් මාත්‍රා දෙකම ගත් අය ද සිටින බව කියැවේ.

මේ අනුව ඉන්දුනීසියානු රජය තීරණය කර තිබෙන්නේ වහාම සුව සේවකයන්ට මොඩර්නා බූස්ටරය ලබාදීමට ය.

පසු සටහන

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2021 මැයි මාසයේ පළමු වරට චීන එන්නතක් සඳහා අනුමැතිය ලබාදුන්නේය. ඒ, සිනොෆාර්ම් (සයිනොෆාම්) එන්නත සඳහා යි. පසුව 2021 ජූනි 01 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය සිනොවැක් එන්නත සඳහා අනුමැතිය ලබාදුන්නේය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නතක් අනුමැතිය ලබාගැනීම සඳහා එය 50%කට වඩා වැඩි ප්‍රතිඵලයක් පෙන්නුම් කළ යුතු ය. කෙසේ වෙතත් සිනොවැක් එන්නතේ සාර්ථකත්වය 51%ක් පමණි.

ආශ්‍රිත ලිපි

Covid: Is China’s vaccine success waning in Asia?

Indonesia’s daily Covid infections higher than India and Brazil



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි