×

ඇමරිකාවේ රෙද්ද පල්ලෙන් බේරෙන ගවේෂණාත්මක මාධ්‍යකරණය..

ලංකාවට මාධ්‍ය සදාචාරයක් නෑ, මාධ්‍ය සදාචාරය විදෙස් මාධ්‍යකරණයෙන් ඉගෙන ගන්න කියන අයට..


ප්‍රමෝද් චින්තක පීරිස්

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානයේ (Centre for Disease Control: CDC) සංඛ්‍යා දත්ත අනුව, කොවිඩ් වසංගතයෙන් පසු ගිනිඅවි ප්‍රචණ්ඩත්වය (gun violence) හේතුවෙන් ඝාතනයට ලක්ව ඇති දරුවන් සංඛ්‍යාව 2021 වර්ෂයවන විට සියයට 50 කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළගොස් තිබෙනවා. එය සංඛ්‍යාත්මක වශයෙන් සැලකුවහොත් 1,732 සිට 2,590 දක්වා ඉහළ යාමක්. ඒ අනුව, 2019 වර්ෂයේ දී සෑම අඩු වයස් පුද්ගලයන් 100,000 ක ගෙන් ගිනිඅවි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව 2.5 වන අතර, එය 2021 වර්ෂයේ දී 3.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නමුත් මෙම සංඛ්‍යා දත්ත පිළිබඳව ඇමරිකානු මාධ්‍ය සැලකිල්ලක් දක්වනවා ද..?

ලංකාවට මාධ්‍ය සදාචාරයක් නෑ, මාධ්‍ය සදාචාරය විදෙස් මාධ්‍යකරණයෙන් ඉගෙන ගන්න කියන අයට..

මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කිරීම ලංකාව නෙමෙයි ලෝකෙ හැම රටකම සිද්ධ වෙන දෙයක්. බොහෝ විට එකී මාධ්‍ය හසුරුවන දේශපාලන හස්තවල න්‍යායපත්‍ර ඊට බලපානවා වෙන්න පුළුවන්. ‘විශාල ශබ්ද’ ඇහෙන්නෙත්, ‘ගඟින් නයි මතුවෙන්නෙත්’ එහෙම තමයි. මීට ටික කලකට ඉහත, ලංකාවේ සමරිසි මිනිසුන් ඉලක්කකරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්, සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊට ලබා දුන් ප්‍රගතිශීලී ප්‍රතිචාරය ඔබට මතක ඇති. මෙම පෙත්සම් ගොනුකළ තැනැත්තන් මෙරට යම් දේශපාලන ප්‍රවාහයක අනුගාමිකයන් වූවා පමණක් නොව, එම දේශපාලන න්‍යාය පත්‍රය තම මාධ්‍ය ජීවිතය තුළින් ප්‍රවර්ධනය කිරීමට පවා කටයුතුකළ පිරිසක්.

නමුත් අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ, මෙම පසුගාමී සමාජ දේශපාලනික ලක්ෂණය අප ජීවත්වන මේ කුඩා දූවේ පමණක් නොව, දියුණු යැයි සැලකෙන ලෝකයේ අනෙකුත් රටවල පවා අපමණ දක්නට ලැබෙන බව.

මීට කදිම උදාහරණයක් එක්සත් ජනපදයේ සබ්ස්ක්‍රයිබර්ස් ලා මිලියන 1.1 කට වඩා ඉන්න “turningpointusa” (TPUSA) නම් ජනප්‍රිය යූටියුබ් නාලිකාව. මොවුන් මේ පෙන්වන්නේ ‘ගවේෂණාත්මක මාධ්‍යකරණයක’ නියැලෙමින් එරට ළමා අපයෝජකයකු කොටුකර ගන්නා අන්දමයි.

මීට අදාළ යූටියුබ් ෂෝර්ට් වීඩියෝවට මිලියන 1.2 ක ජනතාවක් ලයික් ලබා දී තිබෙනවා. එමෙන්ම, 54,000 කට අධික සංඛ්‍යාවක් කමෙන්ටු පළකර තිබෙනවා.

ළමා අපයෝජනය කිසිසේත්ම සාධාරනීකරණයකළ හැකි වරදක් නොවන බව ඇත්ත. ළමා අපයෝජකයකු නීතියේ රැහැනට හසුකර දෙන්න මාධ්‍ය දායක වනවා නම් ඊට හිසනමා ආචාරය පිරිනැමිය යුතු ය. එහෙත්, ළමා අපයෝජකයකු සම්බන්ධ පුවතකට එම තැනැත්තාගේ සමාජභාවී අනන්‍යතාවය අදාළ වන්නේ කේසේ ද?

එක්සත් ජනපදයේ Boston Area Rape Crisis Center (BARCC) හි වාර්තා අනුව ළමා ලිංගික අපයෝජනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයන්ගෙන් සියයට 82 ක්ම එම වරද සිදු වූ අවස්ථාවේ දරුවාගේ සමීපතම ඥාතියකු සමඟ විෂමරිසි (heterosexual) සබඳතාවයක යෙදී සිටි තැනැත්තන්. මෙසේ අත්අඩංගුවට පත් වූ පුද්ගලයන් අතර විවිධ ලිංගික අනන්‍යතා ඇති බවට හඳුනාගෙන තිබෙන්නේ සියයට 0.7 ක පමණි.

ඩ්‍රැග් සංදර්ශන (drag shows) හෝ පොදුවේ සමාජභාවී අනන්‍යතාවය හෝ ප්‍රකාශනය (gender identity or expression) හා ළමා අපයෝජන අතර සබඳතාවයක් ඇති බවට ගොඩනඟන සෛද්ධාන්තයට දේශපාලන අනුග්‍රහය ලබා දෙන්නේ අන්කවරකු නොව එක්සත් ජනපදයේ කලකට ඉහත දක්ෂිණාංශික වූව ද ඒබ්‍රහම් ලින්කන් වැනි ශ්‍රේෂ්ඨ නායකයන් යටතේ ගෞරවාන්විත දේශපාලනයක නිරත වූ, එහෙත් වර්තමානය වන විට ඉතා පිළිකුල් සහගත දේශපාලනයක නිරතවන රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් ය.

තම ‘පොලිටිකල් කන්ස්ටිටුවන්සි’ එක රැකගන්න නයි පෙන්නුවා සේම, ‘සමලිංගිකයන්ගෙන් දරුවන් රැකගන්න’ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කිඹුල් කඳුලු හෙලුවා සේම, කිසිඳු විද්‍යාත්මක පදනමක් නොමැති ‘ජෙන්ඩර් ඩයිවර්සිටි සමානයි පෙඩොෆිලියා’ නම් සෛද්ධාන්තය කරපින්නාගෙන යන පසුගාමී බටහිර මාධ්‍යකරණය, මෙම මාධ්‍ය අර්බුදය එක් රටකට කේන්ද්‍රීය වන අර්බුදයක් නොවන බවට පෙන්වීමට තිබෙන කදිම සාක්ෂියක් කියායි මට නම් හිතෙන්නේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි