×

iPhone චිත්‍රපටයකට මෙවර ටර්නර් ත්‍යාගය

නූතන කලාව සඳහා පිරිනැමෙන බ්‍රිතාන්‍යයේ කීර්තිමත්ම සම්මානයක් ලෙස සැලකෙන ටර්නර් සම්මානය, අයිෆෝනය යොදාගෙන චිත්‍රපට නිර්මාණය කරන චාලට් ප්‍රොජර් (Charlotte Prodger) විසින් දිනාගෙන තිබේ.


චාලට් ප්‍රොජර් මේ වන විට ප්‍රකටව සිටින්නේ ‘‘iPhone film-maker‘‘ කෙනෙකු වශයෙනි. ‘‘එය භාවිතා කිරීමට පහසු වීම සහ ලොව වටා යන අතරතුර එය භාවිතා කළ හැකි ආකාරය නිසා මම අයිෆෝනයට ඉතාම කැමතියි. මට නම් අයිෆෝන් එක කියන්නේ හැම දේම..“ යැයි ඇය පවසන්නීය.

ඇය විසින් නිර්මාණය කළ විනාඩි 32 ක් පුරා දිවෙන Bridgit චිත්‍රපටය, විනිසුරු මණ්ඩලය විසින් හඳුන්වා දුන්නේ කිව නොහැකි තරම් අගනා නිර්මාණයක් ලෙස ය. භූමිය, සිරුර, තාක්ෂණය සහ කාලය අතර ගවේෂණයක් වශයෙන් ද මෙය හැඳින්වේ. වසරකට අධික කාලයක් මෙහි රූගත කිරීම් ඇය විසින් සිදුකර තිබෙන්නේ ඇගේ නිවසේදී හා සංචාරයේ යෙදෙන අතරවාරයේ ය. එයට හඬ කැවීම ද ඇය විසින්ම සිදුකර ඇති අතර, එම පිටපත බොහෝ දුරට ඇගේ ජීවිත කතාවේ විවිධ ඉසව් නිරාවරණය කරයි.

එහි තිබෙන්නේ දුම්රියක කවුළුවකින් රූගත කළ ගම්බද ස්කොට්ලන්තයේ භූමි දර්ශන, පහනක් වෙත අත් දිගුකරගෙන සිටින බළලෙක් ඇතුළු රූපරාමු කිහිපයක් එකට සංකලනය කිරීමෙන් කරන ලද නිර්මාණයකි. එය කුමක්දැයි හරිහැටි නිර්වචනය කිරීම අපහසු ය. විස්තර කිරීම දුෂ්කර ය. ඒ තුළ බොහෝ දේ සිදුවෙයි. එයින් වැඩි හරිය අහඹු ලෙස සිදුවන ඒවා බව ද පෙනේ. නමුත් එමගින් පන්තිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ නවශිලා යුගයේ දේවතාවියන් ගවේෂණය කෙරේ.

90 දශකයේ මුල් භාගයේ සිය ලිංගික අනන්‍යතාවය හඳුනාගැනීම සහ ඊට පෙර-පසු කාලවලදී ද චාලට් ප්‍රොජර් ගත කළේ සුවපහසු දිවියක් නොවේ. ස්කොට්ලන්තයෙ ඇබර්ඩීන්ෂයරයේ වැසියෝ ඇය ගැහැණියක්ද පිරිමියෙක් ද යන්න හරිහැටි කීමට අපොහොසත් වූහ. එය ඇයට ප්‍රශ්නයක් නොවුණත්, ඔවුන්ට විශාල ප්‍රශ්නයක් බව ද පෙනෙන්නට තිබිණි. ඇගේ පෙම්වතිය, ඇගේ දියණිය බවට අරුම පුදුම පූර්ව නිගමනයක් ද ඔවුන් විසින් බිහි කර තිබිණි. චාලට් ප්‍රොජර් මේ වන විට 44 හැවිරිදි ය.

චාලට් ප්‍රොජර් වසර 20 ක් තිස්සේ මේ අන්දමින් නිර්මාණකරණයේ යෙදෙන අයෙකි. ඇය මෙවර ටර්නර් සම්මානය සඳහා නම් කරනු ලැබුවේ නවකතාකාරිනී චිමාමන්දා ගෝසි (Chimamanda Ngozi Adichie) විසිනි. මෙම සම්මානය සමග පවුම් 25,000 ක ත්‍යාග මුදලක්ද පිරිනැමේ. එම මුදලින් කරන්නේ කුමක්ද කියා ඇසූ විට ඇය ලබාදුන්නේ අපූරු පිළිතුරකි. ‘‘මම මගෙ ගෙවල් කුලිය ගෙවනවා. ස්ටූඩියෝ එකේ හිඟ මුදල් ගෙවනවා. සල්ලි ඉතිරි වුණොත් ජැකට් එකක් ගන්නවා..“ යනුවෙනි.

2018 වසරේ ටර්නර් ත්‍යාග ප්‍රදර්ශනය ජනවාරි 6 වැනිදා දක්වා ලන්ඩනයේදී පැවැත්වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි