×

ඇමසන් වනයේ ආදිවාසීන්ට බොල්සොනාරෝ පිහිටයි!

බ්‍රසීලයේ නව නායක බොල්සොනාරෝ, ධුරයේ දිවුරුම් දීමෙන් පසුව වැඩ අල්ලා තිබෙන්නේ ඇමසන් වනයේ හදවත බඳු ආදිවාසීන් අවතැන් කිරීමේ නවතම යෝජනාවක් සමගිනි.


මේ අනුව, ඇමසන් වනය තුළ ආදිවාසී රක්ෂිත සීමා නිර්ණයට ලක් කිරීමත්, ඒවා රටේ කෘෂිව්‍යාපාර භාරව සිටින කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය වෙත පැවරීමත් සිදුකර තිබෙන්නේ විධායක නියෝග නිකුත් කිරීම මගිනි.

මෙය සිදුවුණේ ධුරයේ දිවුරුම් දීමෙන් පැය කිහිපයකට පසු ය.

නව තීරණ සමග ආදිවාසී නායකයන් සහ ආදිවාසී ප්‍රජාව මහත් සේ නොසන්සුන් වී ඇති අතර, ඔවුන් පවසන්නේ බ්‍රසීල රක්ෂිතයෙන් 13%ක භූමි භාගයක පැතිරී තිබෙන ආදිවාසී ජනපද නව ජනපති නිසා තර්ජනයට ලක්වීම නියත බවයි. ඇමසන් වනය කපා දැමීම උත්සන්න වී ඇති සමයක මෙවැනි පියවරක් ගැනීම කාලෝචිත වන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කරති.

‘අපිබ්‘ යන කෙටි නාමයෙන් හඳුන්වන ‘බ්‍රසීලයේ ආදිවාසී ජනතාවගේ කෘෂිකර්ම කටයුතු සම්බන්ධීකරණ ආයතනයේ විධායක සම්බන්ධීකාරක ඩයනමන් ටුක්සා මෙසේ පවසයි. ‘‘වන විනාශය සහ ආදිවාසී ජනතාවට එරෙහි ප්‍රචණ්ඩත්වය මෙයින් උත්සන්න වේවි.“ වැසි වනයේ ආරක්ෂකයන් ලෙස කටයුතු කරන්නේ ආදිවාසීන් බව ද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

සමාජවාදී නිදහස් පක්ෂෙයේ උප ජනාධිපති අපේක්ෂිකාව ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ සෝනියා ගුආජජාරා ආදිවාසී නායිකාවක ද වේ. ඇය සිය විරෝධය මෙසේ පළ කරයි. ‘‘ඇමසන් වනය කොටස් කිරීම දැනටමත් ආරම්භ වෙලා.“

මෙයට පෙර ඇමසන් වනයේ ආදිවාසීන් ජීවත් වන රක්ෂිත ප්‍රදේශ සලකුණු කිරීම හෙවත් සීමා නිර්ණය කිරීම පාලනය කළේ ෆුනායි ආයතනය විසිනි. මෙය ආදිවාසීන්ගේම නියෝජිත ආයතනයකි. එය අධිකරණය අමාත්‍යාංශය යටතේ පැවතිණි. බොල්සොනාරෝ විසින් මෙම ආයතනය අධිකරණ අමාත්‍යාංශයෙන් කාන්තා, පවුල් සහ මානව හිමිකම් අමාත්‍යාංශය වෙත මාරු කර තිබේ. එය පාලනය වන්නේ ඉවැන්ජලික පාදිලි කෙනෙකු මගිනි.

බොල්සොනාරෝ, දැනටමත් සමාජවාදී සංකල්ප රටෙන් අතුගා දමා, රටට සමාජවාදයෙන් ‘විමුක්තිය‘ ලබාදිය යුතු යැයි පවසා තිබෙන අතර, ක්‍රිස්තියානි ආගම ප්‍රවර්ධනය කිරීමට ඇප කැප වන බව ද හඟවා තිබේ. මේ අනුව, ආදිවාසීන්ගේ ජනපද පාලනය කිරීම ක්‍රිස්තියානි කටයුත්තක් සේ මින් ඉදිරියට ඔහු විසින් සලකනු ඇත.

NGO වෙත වියරු විරෝධය

රාජ්‍ය නොවන සංවිධාන මර්දනය කිරීම සඳහා ආණ්ඩුවට වැඩි බලයක් ලබාදීම ද බොල්සොනාරෝ විසින් ඊයේ දිනය තුළම තවත් විධායක නියෝගයක් හරහා සිදුකර තිබේ. මේ අනුව, ආදිවාසීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ වැඩ කරන රාජ්‍ය නොවන සංවිධානය ද බ්‍රසීලය තුළ දරුණු මර්දනයකට හසුවනු ඇත.

කොංග්‍රසයෙන් දින 120 ක් ඇතුළත සම්මත විය යුතු මෙම තාවකාලික විධායක නියෝගයේ සඳහන් වන්නේ, ‘‘ආණ්ඩුවේ ලේකම්වරයාට අන්තර්ජාතික සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන විසින් බ්‍රසීල භූමිය තුළ සිදුකෙරෙන කටයුතු අධීක්ෂණය, සම්බන්ධීකරණය සහ ඒවාට හවුල් වීම සඳහා බලය ලබාදෙන බව‘‘යි.

බොල්සොනාරෝ විසින් දේශීය සහ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන පසුගිය කාලය පුරාම වෛරයෙන් යුතුව විවේචනය කරනු දක්නට ලැබිණි. ඔහු වරක් පවසා තිබුණේ ‘‘ඒවා බ්‍රසීලයේ වැඩවලට හොට දානවා“ යනුවෙනි. ඊයේ දිනයේ අලුත් ට්වීට් පණිවුඩයක් හරහා ඔහු පවසා තිබෙන්නේ ‘‘දේශභූමියෙන් 15%කට වඩා ආදිවාසී භූමි ලෙස සලකුණු කර තිබෙනවා. මේවායේ ජීවත් වන්නේ මිලියන බාගයකටත් වඩා අඩු ජනතාවක්. ඔවුන් සැබෑ බ්‍රසීලයෙන් වෙන් වෙලා ජීවත් වන අය. ඔවුන්ව මෙහෙයවන්නේ සහ ඔවුන්ව සූරාකන්නේ NGO විසින්.“ යනුවෙනි.

මෙම ට්වීටයට පිළිතුරු දෙමින් යමෙකු විසින් 1984-2008 කාලයේදී ආදිවාසී රක්ෂිතයක් වන විනාශයට ලක්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද පෝස්ට් කර තිබිණි.

සෞඛ්‍ය පහසුකම් ද කපා හරින ලකුණු

මේ අතර, නව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස පත් කර තිබෙන ලුයිස් හෙන්රික් මැන්ඩේටා ඊයේ යෝජනා කර තිබෙන්නේ ආදිවාසී ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් කපා හැරිය යුතු බව ය. ‘‘අපි සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය පහසුකම්වලට වැය කරන්නේ ආදිවාසීන්ට වැය කරනවාට වඩා අඩු මුදලක්“ යනුවෙන් ඔහු විසින් එය සාධාරණීකරණය කර තිබේ.

ඔව්, බොල්සොනාරෝ ට්‍රම්ප් මෙන්ම මැතිවරණ පොරොන්දු ඉටු කරමින් සිටියි. එදා ට්‍රම්ප්, තමන් බලයට පැමිණියහොත් මෙක්සිකානු දේශසීමාව අවහිර කරමින් තාප්පයක් ගසන බවට පම්පෝරි ගැසූ අතර, මේ වන විට ඔහුගේ පරම අභිලාෂය වී තිබෙන්නේ එම තාප්පය ඉදිකිරීම සඳහා කොංග්‍රස් අනුමැතිය ලබාගැනීමයි. මේ අන්දමින්ම සිය මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළ පුරාම බොල්සොනාරෝ පම්පෝරි ගැසුවේ නව ආදිවාසී ජනපද ලකුණු කිරීම තමන් බලයට පැමිණි වහාම නතර කරන බවට ය. එසේම පාරිසරික ආයතනවල බලතල අඩු කරන බවත්, ආදිවාසී රක්ෂිතවල පතල් හෑරීම සහ ගොවිතැනට එරෙහිව පවතින සියලුම නීතිමය බාධා ඉවත් කරන බවටත් ඔහු පොරොන්දු විය. දැන්, කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ඔහු කරමින් සිටින්නේ එයයි..!

නව කෘෂිකර්ම ඇමතිනී තෙරේසා ක්‍රිස්ටිනා ඩයස් ද බොල්සොනාරෝගේ අඩි පාරේම යමින්, බ්‍රසීල ගොවියන්ගෙන් සිදුවන පරිසර හානිය ගැන චෝදනා මවා තිබෙන්නේ අන්තර්ජාතික කණ්ඩායම් විසින් බව පැවසුවාය.

ඇමසන් රකින්න නම් අපිට සල්ලි දියව්! – බටහිරට බලපෑම්

සිලාස් මලාෆියා, බොල්සොනාරෝට වැඩිම බලපෑමක් කරමින් සිටින ඉවැන්ජලික මිතුරෙකි. ඔහු මේ අතර පැවසුවේ, බ්‍රසීලය විසින් ඇමසන් වනය සුරකිනවා දකින්නට අවශ්‍ය නම්, සියවස් කිහිපයකට පෙර යටත් විජිත සමයේ තමන්ගේ කැලෑ කපා දැමූ සංවර්ධිත (බටහිර) රටවල් විසින් ඒ සඳහා මුදල් ගෙවිය යුතුව තිබෙන බවයි! ‘‘අපි උන් විනාස කළ හැම දෙයක්ම රකින්න ඕනෙද?“ යැයි ඇය අසා තිබේ!

හිටපු පරිසර ඇමතිනී මරීනා සිල්වා මෙසේ කියයි. ‘‘බොල්සොනාරෝ, කළ හැකි නරකම විදිහට ජනාධිපති වශයෙන් වැඩ පටන් ගෙන තිබේ.“

ආදිවාසී නායකයෙකු වන ටුක්සා මෙසේ කියයි. ‘‘අපි තවත් යටත් විජිතකරණ ක්‍රියාවලියකට හසු වුණා. ඒක තමයි, ඔවුන්ට උවමනා..“

මිනිසුන්ට, සොබාදහමට ආදරය නොකරන විපරිත පාලකයන් ගැන රසවත්ම, විකාරරූපීම සහ හාස්‍යජනකම පුවත් මෙතෙක් අපට අසන්නට ලැබුණේ ට්‍රම්ප්ගේ ඇමරිකාවෙනි. දැන් පෙනෙන්නට තිබෙන්නේ බොල්සොනාරෝගේ බ්‍රසීලය, ට්‍රම්ප්ව ද පරද්දන්නට සූදානම් බවයි.. දැන් ඉතින් ඇමසන් වනයට සහ ඒ වනයේ රැකවලුන් බවට මෙතෙක් පත්ව සිටි ආදිවාසීන්ට කාගේ සරණක්ද…?

ප්‍රධාන ඡායාරූපය: Behind the Bastards

පෙර ලිපි සියල්ල මෙතැනින්:



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි