×

ජමාල් මරන්න අණ දුන්නේ සෞදි කුමරු! – CIA නිගමනය කරයි.

තුර්කියේ සෞදි තානාපති කාර්යාලයේදී අමානුෂික ලෙස ඝාතනය කළ සෞදි මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවය හෙවත් CIA විසින් පැවැත්වූ විමර්ශනයේ නිගමනය වී තිබෙන්නේ සෞදි කුමරු මොහොම්මද් බින් සල්මාන් විසින් ඒ සඳහා අණ දී ඇති බවයි.


මේ පිළිබඳ වාර්තා ගණනාවක්ම අද දින ඇමරිකානු මාධ්‍යවල පළ විය.

ඇමරිකානු ඔත්තු සේවා නිලධාරීන් විශ්වාස කරන්නේ, ‘වෙඩිබෙහෙත් දුමාරයක්‘ මේ ඝාතනයේදී නිකුත් නොවුණේ වුවද, මෙවැනි සැලසුම් සහගත ඝාතනයක්, ඔටුන්න හිමි කුමාරයාගේ අනුදැනුමකින් තොරව සිදුවිය නොහැකි බවයි.

නමුත් සෞදි අරාබිය මේ වාර්තා ප්‍රතික්ෂේප කරයි. ඔවුන් පවසන්නේ කුමරු මේ පිළිබඳ කිසිවක්ම නොදන්නා බව ය. ඒ වෙනුවට කෂෝගි ඝාතනය වූයේ වෙනත් මර්දනකාරී සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් බව ඔවුහු පවසති.

මේ අතර ධවල මන්දිරය පවසන්නේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මධ්‍යම රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ගිනා හස්පෙල් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමග කෂෝගි ඝාතනය පිළිබඳ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි. මේ අතර CIA සොයාගැනීම්, ට්‍රම්ප් විසින් විශ්වාස කරන බව මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් පවසා තිබේ.

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි පසුගිය ඔක්තෝබර් 2 වැනිදා තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටා තිබෙන සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඝාතනය වූයේ විවාහය පිළිබඳ ලේඛනයක් ලබාගැනීම සඳහා ගිය අවස්ථාවේදී ය. ඔහුගේ මළ සිරුර අද දක්වා හමු වී නොමැත.

මේ අතර, තුර්කිය පවසන්නේ ද ජමාල් ඝාතනය, සෞදියේ ඉහළම සබඳතාවලින් සිදුවන්නට ඇති බවයි.

CIA සෞදි කුමරුට ඇඟිල්ල දිගු කරන්නේ ඇයි?

ජමාල් සේවය කළ වොෂින්ටන් පෝස්ට් පුවත්පත මෙසේ කියයි. ‘‘මධ්‍යම රහස් ඔත්තු සේවයේ මෙම නිගමනය අර්ධ වශයෙන් පදනම් වන්නේ ඔටුන්න හිමි කුමරුගේ සහෝදර ඛලීඩ් බින් සල්මන් හෙවත් ඇමරිකාවේ සෞදි තානාපතිවරයා විසින් ලබාදී ඇති දුරකථන ඇමතුමක් මත ය.“

එයට අනුව, කොන්සල් කාර්යාලයට ගිය විට කිසිදු අනතුරක් සිදුනොවන බවට සහතිකයක් ජමාල් ට ලබාදී තිබෙන්නේ එම සහෝදරයා ය.

ඛලීඩ් කුමරු මේ වන විට නැවතත් සෞදි අරාබිය බලා පැමිණ සිටියි. එහිදී ට්විටර් හරහා ඔහු කියා තිබෙන්නේ දැනට වසරක පමණ කාලයක සිට ජමාල් සමග තමන් කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වූයේ නැති බවයි. එසේම කිසිදු හේතුවක් මත තුර්කිය බලා යන ලෙස තමන් ඛෂෝගිට කීවේ නැති බව ද ඔහු කියා ඇත.

මේ අතර ඇමරිකානු මාධ්‍ය අවධාරණය කරන්නේ ඔටුන්න හිමි කුමාරයා, ජමාල් ගේ ඝාතනයට සෘජු ලෙස සම්බන්ධ බවට එකදු සාක්ෂියක් හෝ නොමැති බව ය. නමුත් ඔහුගේ අනුමැතියකින් තොරව මෙවැන්නක් සිදුවිය නොහැකි බව ඔවුහු විශ්වාස කරති.

ජමාල් ගැන සෞදිය දැන් කියන කතා

රියාද් නුවරදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පසුගිය බ්‍රහස්පතින්දා සෞදියේ නියෝජ්‍ය නීතිපති ෂාලාන් බින් රාජිහ් ෂාලාන් පැවසුවේ ඛෂෝගිට විෂ එන්නතක් ලබාදී ඇති බව සහ, මරණයෙන් පසුව ඔහුගේ සිරුර කොන්සල් කාර්යාලයේදී කැබලි කළ බව ය.

ඉන්පසු එම සිරුරු කොටස් වෙනත් අයෙකු අතට පත් කළ බව ද ඔහු කියා තිබේ.

ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් සෞදිය පවසයි.

ඛෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 11 දෙනෙකුට විරුද්ධව චෝදනා එල්ල කර තිබෙන බව පැවසුවත්, සෞදි අරාබිය ඔවුන්ගේ අනන්‍යතාවය කිසි විටෙක හෙළි කරන්නේ නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි