×

ජපානයේ වැඩිහිටියන් හිතාමතාම හිරේ යන හේතුව

පසුගියදා බ්ලූම්බර්ග් වාර්තාවක් මගින් හෙළි කර සිටි ආකාරයට ජපානයේ වියපත් ජනගහනය, එනම් වයස අවුරුදු 60 ඉක්මවූ අය, හිතාමතාම කිසියම් සුළු වරදක් සිදුකර බන්ධනාගාර ගත වීමට ප්‍රිය කරන අය බවට පත්ව තිබේ.


මේ වන විට ජපානයේ සිටින සිරකරු ජනගහනය අතර මෙම ප්‍රවණතාවය දැකගත හැකි වූ බව ද එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එයට හේතු සොයාබලන විට හෙළි වී තිබෙන්නේ, හුදෙකලාවෙන් සිරගත වනවාට වඩා සිරබත් කෑම වඩා හොඳ බව ඔවුන් විසින් තීරණය කර ඇති බවකි!

‘‘අඩුම ගාණෙ අපට කතාබහ කරන්න මිනිස්සු ඉන්නවා. දවසකට වේල් 3 ක් නොවැරදීම ලැබෙනවා“ යැයි ද ඇතැමුන් මෙහිදී පවසා තිබේ. වියපත් ජපන් සිරකරුවන් පවසන්නේ තමන්ගේ ජීවිතය පහසු සහ සුවදායක බව ය.

‘‘මට මෙහෙ තනිකමක් දැනෙන්නෙ නෑ. හැම තිස්සෙම වටේට කවුරුහරි කෙනෙක් ඉන්නවා. මම දෙවැනි සැරේට හිරේට ආවම හිතාගත්තා, ආපහු යන්නෙ නෑ කියලා. එළියෙ සමාජයෙ ඉන්න විට මට දරුණු හුදෙකලාවක් සහ කාංසාවක් දැනෙනවා‘ යැයි තවත් වයස 65 ට වැඩි සිරකාරියක බ්ලූම්බර්ග් වාර්තාකරු සමග කියා තිබිණි.

ගතවූ දශක දෙකක කාලය තුළ ජපානයේ වියපත් සිරකරු ජනගහනය 4 ගුණයකින් වැඩිවීමට හේතුව මෙය බව ද සොයාගෙන ඇත.

ජපන් සමාජය වෙළාගනිමින් සිටින අලුත්ම ඛේදවාචකය බවට පත්ව තිබෙන්නේ හුදෙකලාවයි. ජපනුන් ලිංගික සබඳතාවලට ප්‍රිය නොකරන බවත්, එමනිසා ඔවුන්ගේ උපත් වර්ධන වේගය ඉතාම පහළ මට්ටමක පවතින බවත් මීට පෙර අවුට් බවුන්ඩ් ටුඩේ ලිපියක් මගින් පෙන්වා දී ඇත. (කියවන්න, )

මේ වන විට ජපානයේ ජනගහනයෙන් 1/4 ක්ම වයස අවුරුදු 65 ට වැඩි අය ය. ලෝකයේ වැඩිම වියපත් ජනගහනයක් සිටින රට ද ජපානයයි.

තවත් මිලියන 6 ක් එනම් ලක්ෂ 60 ක් දෙනා ජීවත් වන්නේ හුදෙකලාව ය. 1985 සහ 2015 කාලපරිච්ඡේදය තුළ ජපානයේ හුදෙකලාව ජීවත් වන්නන්ගේ ප්‍රතිශතය 600%කින් ඉහළ ගොස් තිබේ. ඔවුන්ගෙන් බහුතරයකට හැඟී යන්නේ තමන්ව අත්හැර දමා ඇති බවකි. එසේම තමන්ට හඬක් නැති බවකි.

The National

The National

කෙසේ නමුත් එක් වියපත් සිරකරුවෙකුගේ ජීවන නඩත්තුව සඳහා ජපානයට වසරකට ඩොලර් 20,000කට වඩා වැය කිරීමට සිදු වේ. විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ආදිය නිසා මෙම දත්ත ඇතැම්විට විශාල විචලනයකට ද ලක් විය හැකිය. බ්ලූම්බර්ග් වාර්තාවට අනුව ජපානයේ ඇතැම් බන්ධනාගාර සේවකයෙකුට දැන් තමන්ව දැනී යන්නේ සිරකරුවන් සම්බන්ධයෙන් රාජකාරි කරන අයට වඩා වැඩිහිටි නිවාසයක රාජකාරි කරන අය ලෙසිනි.

මෙම තනිකම, පාළුව, හුදෙකලාව සැබවින්ම ජපානය පමණක් මුහුණ දෙන ප්‍රශ්නයක් නොවේ. 2018 අප්‍රේල් මාසයේ එක්සත් රාජධානිය ද හුදෙකලාව සම්බන්ධ කටයුතු සඳහා වෙනම අමාත්‍යවරයෙක් පත් කළේය. ඔහු හැඳින්වෙන්නේ ‘‘Minister for Loneliness‘‘ යනුවෙනි. ඔවුන් එවැනි අමාත්‍යවරයෙක් පත් කිරීමට තීන්දු කළේ 2017 වසරේ පත් කෙරුණු හුදෙකලාව පිළිබඳ ජේ කොක්ස් කොමිෂන් සභා වාර්තාවේ (Jo Cox Commission on Loneliness) ප්‍රතිඵලයක් ලෙසට ය. මහා බ්‍රිතාන්‍ය ජනතාව අතරින් මිලියන 9 ක් දෙනා දැඩි හුදෙකලාවකින් පෙළෙන බව හඳුනාගෙන ඇත. මේ අනුව බ්‍රිතාන්‍යයේ ට්‍රේසි කෝව්ච් (Tracey Crouch) ලෝකයේ ප්‍රථම හුදෙකලා ඇමතිනිය බවට පත්විය. මේ පිළිබඳ සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි