ජපානයේ අකිහිතෝ අධිරාජයාගේ පළමු ඥාති සොයුරාගේ කනිටු දියණිය – අයාකෝ කුමරිය තෝකියෝ නුවර මෙයිජි විහාරස්ථානයේදී පසුගිය දා විවාහ වූවාය. විසි අට හැවිරිදි අයාකෝ කුමරියගේ අත ගත්තේ ජපාන රජ පවුලට කෙසේවත් සම්බන්ධයක් නැති කෙයි මොරියා නමැති තරුණයෙකි. කෙයි මොරියා නිප්පොන් යුසෙන් කේ.කේ. නමැති නැව් සමාගමේ සේවය කරන්නෙකි. ජපාන රජ පවුල සම්බන්ධයෙන් බලපවත්නා නීති රීති සහ සම්ප්‍රදායන්ට අනුව රාජකීය කාන්තාවක, සාමාන්‍ය පුරවැසියකු හා විවාහ වුවහොත් ඇගේ රාජකීයත්වය අහෝසි වේ. ඇයව තවදුරටත් කුමරියක ලෙස හැඳින් වෙන්නේ හෝ ඇයට කුමරිය යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ හෝ නැත. එසේ වුවත් ජපාන රාජකීය පවුල්වල පිරිමියකු සමාජයේ සාමාන්‍ය පැලැන්තියේ කාන්තාවක හා විවාහ වූ විට එවැන්නක් සිදු නොවේ.
Daily Express
මේ සම්ප්‍රදායට අනුව තම පෙම්වතා වෙනුවෙන් රාජකීයත්වය අත්හරින බව අයාකෝ කුමරිය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ විවාහ ගිවිස ගැනීම සිදුවුණු පසුගිය ජූලි මාසයේදී ය. රාජකීයත්වය නිසා හිමිව තිබූ පදවි නාම සහ තනතුර සියල්ලක්ම එතැන් පටන් ඇයට අහිමි වන්නට පටන් ගත්තේය. එසේ වුවත් කුමරියට ජීවත්වීම සඳහා ජීවන වියදම හැටියට බ්‍රිතාන්‍ය පවුම් 780,000ක් හෙවත් ඇමෙරිකා ඩොලර් 950,000ක මුදලක් ජපාන රජයෙන් පිරිනැමේ.
මේ හිමි අහිමි වීම් මැද කුමරියගේ විවාහය සිදුවුණේ පවුලේ ඥාතීන් සහ කිට්ටුම මිතුරන් සීමිත සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙනි. එහෙත් කුමරියට සුබ පතන්නට මෙයිජි විහාර පරිශ්‍රය ආසන්නයට දහසකට අධික පිරිසක් පැමිණ සිටියහ. ඒ පිරිස ඈත සිට ප්‍රීති ඝෝෂා නඟමින් මනාල යුවලට සුභ පැතූ බව සඳහන් වේ.
කුමරියගේ විවාහය සිදු වුණේ ෂින්ටෝ සම්ප්‍රදායානුකූලව ය. මංගල ඇඳුම සඳහා කුමරිය තෝරාගෙන තිබුණේ සම්ප්‍රදායික උචිකි කිමෝනාවකි. එය රතු මල්වලින් සහ කොළ පාට පත්‍රවලින් රටා යෙදූ පාණ්ඩු පැහැ කහ පාට කිමෝනාවක් විණ. කලිසම තද දම් පාට රෙද්දකින් හකමා මෝස්තරයට මසන ලද එකකි. අයාකෝ කුමරියගේ වැඩිමහල් සොයුරිය 2014 වසරේදී විවාහ වනවිට මනාලිය ලෙස සැරසී සිටියේ ද මෙයටම හුරු කිමෝනා මෝස්‌තරයකිනි. කිමෝනාවටම සරිලන ලෙස නිම කරන ලද ජපන් සයිප්‍රස් අවානක් අයාකෝ කුමරිය අත තිබිණ. ජපානයේ වංශවත් ගැහැනුන් සම්ප්‍රදායිකව යොදාගන්නා කොණ්ඩා මෝස්තරයක් මනාලියගෙන් දිස් වූයේය. මංගල චාරිත්‍ර ආරම්භ කිරීමට පළමුව කුමරිය ෂින්ටෝ සම්ප්‍රදායේ රතු පැහැ පොරෝනාවකට මාරු වී තිබිණ. කෙයි සැරසී සිටියේ අළු පාටට හුරු ඉරි සහිත කලිසමක් සහ කළු පාට කෝට් එකකිනි. අයාකෝ කුමරියගේ පියා – නොරිහිතෝ තකමොදෝ කුමරු ජීවත්ව සිටි අවධියේදී භාවිතයට ගන්නා ලද සිල්ක් තොප්පියක් ද කෙයිගේ මංගල ඇඳුම් කට්ටලයට එකතු කර තිබිණ.
Japanese Princess Ayako, dressed in traditional ceremonial gown, is on her way to her wedding ceremony in Tokyo, Monday, Oct. 29, 2018. (Fumine Tsutabayashi/Kyodo News via AP)
සම්ප්‍රදායනුකූල චාරිත්‍රවලින් පසු විහාර පරිශ්‍රයෙන් බැහැරට පැමිණි මනාල යුවළ මාධ්‍යට අදහස් දක්වන්නටත් අමතක නොකළහ.
“… අපේ විවාහය මෙයිජි විහාරයේදී සිදු කරන්නට ලැබීම ගැන මට හුඟක් සංතෝෂයි. මොකද, මගේ සීයා කෙනෙකු වූ මෙයිජි අධිරාජයා වන්දනා මාන කටයුතු කළෙත් මෙහි නිසා. …” යැයි කියා මනාලිය පවසා තිබුණාය.
තමන් රජ පවුලෙහි ඉපදී ඇති නිසා ජපාන් අධිරාජයාටත් අධිරාජිණියටත් උපකාර කරමින් දිවි ගෙවීම තමන්ගේ වගකීමක් බැව් අයාකෝ කුමරිය ඉතාමත් කුඩා අවධියේ සිටම විශ්වාස කළාය. එහෙත් රජ පවුලට අයත් නොවන කෙනෙකු සමඟ විවාහ වීමත් සමඟ ඇතිවන පෙරළිය ගැන කුමරිය මනාලිය ලෙස පළ කළේ මෙවැනි අදහසකි.
” … අද මම රාජකීය පවුල අත්හරිනවා. ඒ වුණත් අධිරාජයාටත් අධිරාජිණියටත් සහය ලබාදීම නොවෙනස්ව කරගෙන යනවා. …” යනුවෙනි.
සිය බිරියට දැඩිව සහය ලබාදෙමින් දෑතින් දෑත ගෙන සංතෝෂයෙන් පවුල් ජීවිතයක් ගොඩනැඟීම තම අරමුණ බව තිස් දෙහැවිරිදි කෙයි මාධ්‍යට කියා තිබිණ.
අයාකෝ කුමරියගේ පියා – නොරිහිතෝ කුමරු 2002 වසරේදී හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත් විණ. ඒ වනවිට ඔහු 47 හැවිරිදි වියේ පසු වූයේය. අකිහිතෝ අධිරාජයාගේ පළමු ඥාතී සොයුරා වූ නොරිහිතෝ කුමරු ජපාන සිහසුනේ හත්වැනි පෙළ අනුප්‍රාප්තිකයා විණ. හිසාකා තොත්තෝරි නමැති කාන්තාවක සමඟ විවාහ වී සිටි නොරිහිතෝ කුමරුට දාව දියණියන්ම තිදෙනෙකි. කුමරුගේ වැඩිමහල් දියණිය ත්සුගුකෝ කුමරිය විවාහ වූ බවක් පළ නොවේ. දෙවැනි දියණිය, නොරිකෝ කුමරිය කුනිමාරෝ සෙන්ගේ නමැති පුද්ගලයකු සමඟ 2014 වසරේදී විවාහ වූවාය. කුනිමාරෝ සාමාන්‍ය පවුලක කෙනෙකු වූ බැවින් නොරිකෝ කුමරියත් රාජකීය තනතුරු බැහැර කර යුග දිවියට ඇතුළු වූ බව සඳහන් වේ.