×

සිය දිවි නසාගන්නන්ගේ වනාන්තරය

ෆූජි කඳු පාමුල පිහිටා තිබෙන ඕකිගහාරා වනාන්තරය ජපානයේ සිය දිවි නසාගන්නන්ගේ ජනප්‍රියතම පාරාදීසයයි. වසරකට සිය දිවි නසාගන්නන්ගේ මළ සිරුරු සියයක්වත් එයින් හමුවේ.


වනපෙත වෙත යන ගමන නිස්කලංක ය. කුරුලු කිචිබිචිය මැද දිය කඩිත්තක හඬක් ද ඇසේ.

එහෙත් ෆූජි ගිනිකන්ද පිළිබඳ පර්යේෂණවල නියැළී සිටින භූ විද්‍යාඥයකු වන අසුහා හයානෝ දිනපතාම වනපෙත වෙත සිය මෝටර් රිය පදවාගෙන යන්නේ, භූ ගර්භ පර්යේෂණ සඳහා ම නොවේ. වසර තිහකට ආසන්න කාලයක් වන පෙත අසලම පදිංචි වී සිටින ඔහු පරිසරය සුරැකීම සඳහා ද සිය දිවි නසාගැනීමේ අරමුණ ඇතිව කැළෑ වදින්නන් හැකි පමණ බේරාගැනීම සඳහා ද කැපව සිටියි. සිය දිවි නසාගන්නන්ගේ ඉරණම නිතර දෙවේලේ දැකීම විසින් ඔහු මනා ලෙස දමනය වූ නිවුණු මිනිසකු බවට පත් කර ඇතිවා සේ ය. ක්‍රිස්තු වර්ෂ 864 දී ෆූජි ගිනිකන්ද විදාරණය විය. වියළී ගිය ලාවා මතින් ලඳු කැලෑවක් වැටුණේ ය. මුලින් එය ලඳු කැලෑවකි. පසුව මහ වනයකි. ජුකායි යන නම එයට තැබිණි. එහි අරුත ‘වෘක්ෂ සාගරය’යි.

ජුකායි වසර පුරාම සදාහරිත හෙයින් එම නම කදිමට ගැළපිණි. ස්්ථානයේ සැබෑ නම ඕකිගහාරා බව ජනයාට අමතක වන තරමටම ජුකායි යන්න ව්‍යවහාර වන්නට පටන්ගති. ජුකායි වෙත පිවිසෙන ස්ථානය ආරම්භ වන්නේ තාර පාරේ රථ ගාලෙනි. එහි ඇතැම්විටෙක මාස කිහිපයක් මුළුල්ලේ අත්හැර දමන ලද වාහන ද තිබේ. බොහෝවිට ඒවා වන පෙත වෙත වැදී, නැවත කිසිදිනෙක ආපසු නොආ ජීවිත පිළිබඳ කළකිරුණු තරුණයන්ගේ ය. ඒවායේ වින්ඩ්ස්ක්‍රීන මත ඝනැති කොළ රොඩු තට්ටු පතිත වී තිබේ.

රියැදුරු අසුනට යාබද අසුනේ වනයේ සිතියමක් වුවත් තිබිය හැකිය. එම තැනැත්තා අවසානයේ සිතියම පවා වනය වෙත ගෙනගොස් නැත. පුරාණ ජපානයේ සිය දිවි නසාගැනීම සමුරායිවරුන් ට අයත් කාර්යයක් විය. සෙප්පුකු හෙවත් හරාකිරි ක්‍රමයට තියුණු ආයුධවලින් සිය උදරය කපාගෙන මියගියෝ සතුරාට යටත්වීමට අකමැති වූ සමුරායිවරු ය. එහෙත් ජපානය ශීඝ්‍රයෙන් දියුණු වන විට ජීවිත සංකීර්ණ වන තරමට හුදෙකලා ද විය. ඒ සංකීර්ණ සහ සන්සුන් ජපන් ජීවිතය තුළ සියදිවි නසා ගැනීම ශාන්තිදායක නූතන සංසිද්ධියක් බවට පත්ව තිබේ. වනපෙතේ මද දුරක් ගිය තැන සිය දිවි නසාගන්නන් වෙනුවෙන් සවිකළ දැන්වීම් පුවරුවක් දැකගන්නට ලැබේ. එහි මෙලෙස සඳහන් ය. “ඔබේ ජීවිතය ඔබේ මවුපියන්ගෙන් ලැබුණු වටිනා ත්‍යාගයකි. කරුණාකර ඔබේ මවුපියන්, සහෝදර සහෝදරියන් සහ දරුවන් ගැන සිතන්න. ඔබට සිතෙන දේ ගැන ඔවුන් සමඟ කතා කරන්න.” ඉන්පසු සියදිවි නසාගන්නන් වෙනුවෙන් වෙන්වූ දුරකථන අංකයකි.

“ඇතිතරම් කාලය ගන්න. හිත අවුල් කරගන්නෙ නැතිව සුබ දේ ගැන හිතන්න. ආපසු එන්න හිතුණොත් මේ පාර දිගේම ආපහු එන්න.”

ජුකායි වනය වෙත පැමිණ සියදිවි නසාගන්නේ ඒ අවට ජීවත්වන්නන් නොවේ. ගම්මු එහි නොඑති. ඔවුන්ගේ ළමාවියේදීම මේ වනය බියජනක බැවින් එහි කිසිදා නොයන ලෙස වැඩිහිටියන් විසින් කියාදී තිබේ. ඇත්තෙන්ම වනයේ මායාවී බියකරු බවක් නැතුවා ද නොවේ. එහි මහජනයා වෙත විවෘත ව ඇති මග එක් සීමාවකින් අවසන් වේ.

එහි අරුත ඒ සීමාව පසු කළ විට ඔවුන් පහසුවෙන්ම වනය තුළ අතරමං වීමට හැකි බවයි. ඔවුන්ගෙන් බොහෝ අය දැන දැනම, නොයන්නැයි කියන මග යන්නේ නැවත පැමිණීමේ අදහසක් නොමැති හෙයිනි. ගතවූ වසර විස්සක කාලය තුළ එවැන්නන් සිය දෙනකුගේ මළ සිරුරු අසූහා ට හමුවී තිබේ. එහෙත් මරණය පිළිබඳ ස්ථිර තීරණයක් නොමැතිව වනය තුළ ට පිවිසෙන්නෝ ද වෙති. ඔවුහු අපූරු දෙයක් කරති. ගමන ආරම්භ වන ස්ථානයේ සිට ටේප් පටියක් වැනි දෙයක් සමඟ දිගින් දිගට ගමනේ යෙදෙති. ඒ, යම්හෙයකින් සිත වෙනස් වී ආපසු හැරෙන්නට සිතුණේ නම් කැලයෙන් පිටතට එන මගක් තිබිය යුතු නිසාය.

එම ටේප් පටි ගණනාවක් වනය තුළ තිබේ. විටෙක ඒවා අවසන් වන තැන කුඩා කූඩාරමකි. එහි අරුත, තමන් සියදිවි නසාගන්නේ දැයි අවිනිශ්චිත ව යම්කිසිවෙක් දින ගණනාවක් එම ස්්ථානයේ කඳවුරු බැඳගෙන සිටින්නට ඇති බවයි. එබඳු කූඩාරම් තුළ බොහෝවිට වතුර බෝතල් කිහිපයක් සහ ඇතැම්විට හිස් වූ වස බෝතලයක් තිබේ. එහෙත් වස බිව් පුද්ගලයා පෙනෙන්නට නැත. ඇතැම්විට ඔහුගේ මළ සිරුර, එයින් සැතපුම් කිහිපයක් ඔබ්බේ ගස්කරුවක් අතරට මැදිවී සොයාගෙන තිබෙනවා හෝ සොයානොගෙන තිබෙනවා විය හැකිය. කූඩාරම තුළ මළසිරුර ද තිබුණහොත් ඒ සමග කූඩාරම ද ඉවත් කෙරේ. කෙසේ නමුත් ටේප් පටියක අවසානයේ දී ඔබ යම් දෙයක් සොයාගන්නා බව නිසැක ය. එක්කෝ එය මළ සිරුරකි. එසේත් නැතිනම් මළ පුද්ගලයා ජීවත් ව සිටි බව හඟවන යම් ලකුණකි. වනය තුළ වූ ඇතැම් ගසක උඩු යටිකුරු කර එල්ලූ පුළුන් බෝනික්කෙක් ද හමුවේ.

එම පුළුන් බෝනික්කා ගසට තබා ඇණ ගසා ඇති බවද සමීප දසුනක දී පෙනේ. එය සමාජයෙන් ගැහැට විද අයෙක් සියදිවි නසාගැනීමට පෙර සමාජයට ශාප කළ ආකාරයයි. ඇතැම්හු ගස්වල සියදිවි නසාගැනීම පිළිබඳ සටහන් තබායති. සමහරු ඒ පිළිබඳ යමක් ලියූ කාඩ්බෝඩ් කැබැල්ලක් ගසක එල්ලති. “මට ජීවිතයේ කිසිම හොඳ දෙයක් සිද්ධ වුණේ නෑ. කරුණාකරලා මාව හොයන්න එපා” යැයි ඒ සමහරක සඳහන් වේ. අසූහා පවසන්නේ මෙබදු සටහන් තබා යන්නේ, සියදිවි නසාගැනීම හෝ නොගැනීම අතර දෙගිඩියාවකින් පෙළෙමින් තම සිත සමඟ අරගල කරන්නන් බව ය. ඇතැම් විට ඔවුන් නැවත හැරී නිවෙස බලා ගියා වන්නට ද පුළුවන. ඔහුට අනුව දිවි නසාගැනීමේ ස්ථිර අධිෂ්ඨානයකින් මෙහි පැමිණෙන්නෝ දෙවරක් නොසිතා ගෙල වැලලාගෙන මියයන්නෝ ය. එවැන්නන්ගේ මළ සිරුරු සොයා ගැනුණහොත් රැහැන කපාදමා, හෙළිවන තොරතුරු අනුව හැකියාවක් තිබේ නම් සිරුර ඥාතීන්ට භාරදෙනු ලැබේ. එබඳු තැන්වල ගස්වල කපන ලද රැහැන් කොටස් තවමත් එල්ලෙමින් තිබෙනු දැකගත හැකිය. කාන්තා අත්බෑග, කාන්තා කුඩ මෙන්ම සියදිවි නසාගන්නන්ගේ අත්පොත් ද වනබිම මත පතිත ව සෙමෙන් දිරා යයි.

වනය තුළ කඳවුරු බැඳගෙන සියදිවි නසාගැනීමේ සිත පහළ වන තෙක් කල් මරන්නන් ද ඇතැම්විට අසූහා ට හමුවේ. ඔවුහු අසූහා එන විට කූඩාරම තුළට වැද සැඟවෙති. මෙවැන්නන් කතා කිරීමට අකමැති ය. “ඔබ දවස් කීයක් මෙතන ඉන්න හිතනවද?” ඔහු තමන්ව ප්‍රතික්ෂේප කරන බව දැන දැනම අසූහා එවැන්නක් සමඟ කතාවට වැටෙන්නට උත්සාහ කරයි. එහෙත් එය සාර්ථක වන්නේ ඉඳහිට ය. “මට සමාවෙන්න. මම ඉන්නෙ හෙට වෙනකල් විතරයි.” වැනි උත්තරයක් අසූහාට අවසානයේ ලැබේ. “ඔබට කෑම තියෙනවද? වතුර බෝතලයක් දෙන්නද?” අසූහා ඉක්බිති අසයි. ඉන්පසු මෙසේද කියයි. “ඇතිතරම් කාලය ගන්න. හිත අවුල් කරගන්නෙ නැතිව සුබ දේ ගැන හිතන්න. ආපසු එන්න හිතුණොත් මේ පාර දිගේම ආපහු එන්න.”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි