×

ලෝකයේ ලොකුම ධනවතා ඇමසන් හි ජෙෆ් බෙසොස් (Jeff Bezos)

බිල් ගේට්ස් දෙවැනි තැනට


ලෝකයේ ධනවත්ම මිනිසා පිළිබඳ නවතම තත්වයට අනුව එහි අංක 1ට පැමිණ සිටින්නේ ඇමසන් (Amazon) සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් (Jeff Bezos) ය.

ලෝකයේ කෝටිපතියන්ගේ වත්කම් අනුව ඔවුන් ධනවත් බවේ ලැයිස්තුවට එක් කරන සුප්‍රසිද්ධ බ්ලූම්බර්ග් බිලියනයර්ස් ඉන්ඩෙක්ස් (Bloomberg Billionaire Index) විසින් ප්‍රකාශයට පත් කළ අලුත්ම දත්ත අනුව ජෙෆ් බෙසොස්ගේ වත්මන් වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 150 ක් හෙවත් පවුම් බිලියන 113 කි.

ගතවූ මාස 12 ක කාලය තුළ, එනම් වසරක කාලය තුළ ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 60 සිට 150 දක්වා ඉහළ ගිය බව ද එමගින් පෙන්වා දෙයි. එනම් ඔහුගේ වත්කම, ගතවූ වර්ෂය තුළ දෙගුණයකටත් වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබේ.

Amazon founder Jeff Bezos | GETTY IMAGES

මේ අනුව මෙතෙක් ලෝකයේ ලොකුම ධනවතා වශයෙන් සැලකුණු මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් හට හිමිවන්නේ දෙවැනි තැන ය.

බිල් ගේට්ස් වැඩිම වත්කමක් වාර්තා කළ වර්ෂය වූයේ 1999 වසරයි. එහිදී ඔහු ඇමරිකානු ඩොලර් බිලියන 100 ක වත්කමක් දැරූ අතර, එය වත්මන් උද්ධමන අනුපාතිකය සමග ගැළපූ විට අද වන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 149 ක් ලෙස සැලකිය හැකිය. එසේම බිල් ගේට්ස්ගේ වත්මන් ධනස්කන්ධය ලෙස සැලකෙන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 95 කි.

ඇමරිකානු ඩොලර් බිලියන 150 ක වත්කම් හිමි ඇමසන් සමාගමේ නිර්මාතෘවරයා ජෙෆ් බෙසොස් ඒ අනුව ලෝකයේ අංක 1 ධනවතා බවට නිතැතින්ම පත් වේ.

බිල් ගේට්ස්ගේ නොනැසෙන වාර්තාව

කෙසේ නමුත් මානව හිතවාදියෙකු වන බිල් ගේට්ස්, ඒ අර්ථයෙන් ගත් විට තවමත් ලෝකයේ පොහොසත්ම මිනිසා වශයෙන් හැඳින්වීමේ වරදක් ද නැත. එයට හේතුව, ඔහු සහ ඔහුගේ බිරිය මෙලින්ඩා ගේට්ස් විසින් පවත්වාගෙන යනු ලබන ‘බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම‘ (Bill and Melinda Gates Foundation) වෙත ඔහු ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ධනය සහ වත්කම් පරිත්‍යාග කර ඇති නිසා ය.

Jeff & Bill in 2001 | GETTY IMAGES

මේ අතර ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් ද වෙනත් ව්‍යාපෘති සඳහා සිය ධනය වැය කරයි. ඔහු බ්ලූ ඔරිජින් (Blue Origin) නමැති වාණිජ අජටාකාශ සංචාර සමාගමේ ඉදිරි වැඩ කටයුතු සඳහා වසරකට ඩොලර් බිලියනක් වටිනා ඇමසන් කොටස් විකුණා දැමීමක් සිදු කරයි.

මීට පෙර 2017 වසරේදී ද ජෙෆ් බෙසොස් ෆෝබ්ස් සඟරාව මගින් ප්‍රකාශයට පත් කරන ලෝකයේ ධනවතුන් ලැයිස්තුවේ අංක 1ට පැමිණියේය. ඔහු එහිදී ද බිල් ගේට්ස් ව දෙවැනි තැනට පත් කර පළමු තැන දිනාගත්තේ ඇමසන් කොටස් මිල විශාල වශයෙන් ඉහළ යාම නිසා ය. නමුත් ඇමසන් කොටස් අගය පහළ වැටීමත් සමග ඒ වසර තුළ ඔහු නැවතත් දෙවැනි තැනට පත් විය.

ඇමසන් සමාගම මේ වන විට අන්තර්ජාලය හරහා ගනුදෙනු සිදුකරන දැවැන්තම සහ විශ්වාසනීයම වේදිකාවක් වශයෙන් ලොව පුරා ජනප්‍රිය වී තිබේ. ඊ කොමර්ස් සහ ක්ලවුඩ් කම්පියුටින් එහි ප්‍රධානතම විෂයන් දෙකයි. මෙම සමාගමේ වසර 2 ක සේවා කාලයක් හිමි ස්ථිර සේවකයෙකුට පැයකට අවම වශයෙන් පවුම් 10.81 ක් ගෙවනු ලබයි. මේ මුදල දළ වශයෙන් ලංකා මුදල්වලින් පැයකට රුපියල් 2268 කි. ඇමසන් සමාගමේ ප්‍රධානතම තරගකරුවන් වන්නේ මයික්‍රොසොෆ්ට් (Microsoft) සහ වෝල්මාට් (Walmart) යන සමාගම් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි