×

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නවා! – ජෙරමි කෝබින් කියයි.

එක්සත් රාජධානියේ කම්කරු නායක ජෙරමි කෝබින්, ලිවර්පූල් හි පැවති පක්ෂ සම්මේලනයේදී පළ කළ අදහස් කිහිපයක්


ජෙරමි කෝබින්, (Jeremy Corbyn) කම්කරු පක්ෂයේ සහ එක්සත් රාජධානියේ නායකයෙකු ලෙස පමණක් නොව, ලෝක නායකයෙකු ලෙස ද ඉදිරි ගමනක යෙදෙමින් සිටින බවට පක්ෂ සම්මේලනයේදී පළ කළ අදහස් සාක්ෂි දරන බව විචාරකයෝ කියති.

තමන් අනාගතයේ එක්සත් රාජධානියේ අගමැතිවරයා බවට පත්වුවහොත් කරන පළමු දේවල්වලින් එකක් වන්නේ පලස්තීනයේ රාජ්‍යත්වය පිළිගැනීම යැයි ජෙරමි කෝබින් පවසයි.

ද්වී රාජ්‍ය සංකල්පය පිළිගනිමින් (two state solution) මෙසේ සිදුකරන බව ද ඔහු පැවසීය.

ඊයේ ජෙරමි කෝබින් විසින් සිදුකළ කතාව අතරවාරයේ විනාඩි 5 න් 5ට ජනතාව නැගී සිටිමින් අත්පොළසන් නගන ආකාරය දැකගත හැකිවිය.

එක්සත් රාජධානියේ මීළඟ මහමැතිවරණයේ ප්‍රචාරණ ව්‍යාපාරය වශයෙන් ආරම්භ වූ මෙම සම්මේලනයේදී සමාජවාදී නායකයා, බොහෝ කලක පටන් ‘පැත්තකට කර තිබූ‘ වැඩකරන පන්තියේ ජනතාව සමාජ සංවර්ධනය සඳහා බද්ධ කරගන්නා ආකාරය වෙත වැඩි අවධානයක් යොමු කර තිබිණි.

සමාජයේ මෙතෙක් පැවති ”Greed is good” සංකල්පය (කෑදර කම හොඳයි) අවසානයක් කරා ගෙන යන බව ද ඔහු පැවසුවේය. ධනය ගොඩ ගසා ගැනීම සහ වැඩ කරන පන්තිය සූරා කෑම කෙරෙහි කෝබින් සංවේදී ලෙස අදහස් පළ කළේය.

පවුම් බිලියන 50ක වියදමෙන් එක්සත් රාජධානිය වෙත හරිත ආර්ථිකයක් ගෙන එන බව ද ජෙරමි කෝබින් එහිදී පැවසීය. එම ධනය ප්‍රධාන වශයෙන් සුළං ටර්බයින සහ සූර්ය පැනල ව්‍යාපෘති සඳහා යෙදවීමට නියමිත ය.

Getty Images

Getty Images

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ව්‍යාජ ප්‍රවෘත්ති කලාව දැඩි සේ විවේචනය කිරීමට ද ජෙරමි කොබින් පසුබට නොවීය. ‘‘කෝටිපති මාධ්‍ය හිමිකරුවන් අපට පොඩ්ඩක්වත් කැමති නැහැ..“ යැයි කෝබින් කීය. මියැන්මාරයේ, කොළොම්බියාවේ සහ තුර්කියේ මාධ්‍යවේදීන් ගේ රැකියා අනාරක්ෂිතභාවය ගැන ද ඔහු කතා කළේය. ‘‘නමුත් මෙහෙ, නිදහස් මාධ්‍ය බොහෝ දුර ගිහින්. බොරු සහ අර්ධ සත්‍යයන් පැතිරවීම දක්වා දුර ගිහින්‘‘ යැයි ඔහු පැවසුවේය. 21 වන සියවසේ ජන මාධ්‍යය වන සමාජ මාධ්‍ය යොදාගෙන ඔවුන්ගේ න්‍යායපත්‍රයන්ට අභියෝග කරන ලෙසට ද ජෙරමි කෝබින් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි