×

එංගලන්තයේ වසර 175 ක් පැරණි පුවත්පත් සමාගමක් විකුණා දමයි.

ලොව පුරා පුවත්පත් යුගය නිම වෙමින් තිබේ. මේ පැමිණ තිබෙන්නේ ඩිජිටල් යුගයයි.


i, The Scotsman, and The Yorkshire Post වැනි වසර සිය ගණන් පැරණි පුවත්පත් ප්‍රකාශනය කළ එංගලන්තයේ කීර්තිමත් ජොන්ස්ටන් ප්‍රෙස් (Johnston Press) පුවත්පත් සමාගම බංකොළොත් භාවයට පත්වීම හේතුවෙන් වසා දැමීමට සැරසුණු අතර, නව ප්‍රකාශකයෙකු විසින් එය මිලදී ගැනීම හේතුවෙන් අවසන් මොහොතේ එය නතර වී තිබේ.

එංගලන්ත මාධ්‍ය මේ සිදුවීම වාර්තා කරන්නේ ‘ජොන්ස්ටන් ප්‍රෙස් එකොළොස් වැනි පැයේදී බේරෙයි‘‘ යනුවෙනි.

අවසානයේ JPIMedia සමාගම විසින් එය මිලදී ගෙන තිබෙන්නේ පවුම් මිලියන 220 ක අති දැවැන්ත ණය කන්දරාවක් ද සමග ය.

නමුත් නව ගැනුම්කරු ඉදිරිපත්වීමත් සමග එම ණය මුදල පවුම් මිලියන 135 දක්වා අඩු කිරීමටත්, අලුතෙන් පවුම් මිලියන 35 ක ප්‍රාග්ධනයක් ව්‍යාපාරය සඳහා යෙදවීමටත් ණයකරුවන් එකඟතාවයකට එළඹී ඇත.

පුවත්පත් සමාගම වසා දමන බව සැළවීමත් සමග මාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය ඉල්ලා සිටියේ තමන්ගේ අනාගත රැකියා සම්බන්ධයෙන් ආරක්ෂාවේ සහතිකයක් ලබාදෙන ලෙසයි.

ජොන්ස්ටන් ප්‍රෙස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඩේවිඩ් කිං ය. ඔහුව නව පරිපාලනය යටතේ එම තනතුරේම තැබීමට නියමිත අතර, ඔහු සිය සේවාදායකයන් වෙත ඊ මේල් ලිපියක් ලියමින් කියා තිබෙන්නේ සුපුරුදු පරිදි වැටුප් ලැබීමට නියමිත හෙයින්, සුපුරුදු පරිදි සේවයට වාර්තා කරන ලෙස ය. එසේම ඔවුන්ගේ සේවා ගිවිසුම් නව සමාගම වෙත මාරු කරන බව ද දන්වා තිබේ.

නමුත් එය එංගලන්තයේ ක්‍රියාත්මක විශ්‍රාම වැටුප් (PPF) කොන්දේසි සමග එකඟ වන්නේ ද යන්න මේ වන විට සාකච්ඡාවට බඳුන් වෙමින් තිබේ.

ලෝකයේ මුද්‍රිත මාධ්‍ය පුවත්පත්වලට ඇති ඉල්ලුම සහ වෙළඳපොළ, ඩිජිටල් මාධ්‍යවල ආගමනයත් සමග සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බවට ජොන්ස්ටන් ප්‍රෙස් සමාගම විකුණා දැමීමට සිදුවීම විසින් නැවත වරක් පෙන්වා දෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි