×

ගෙවී ගිය සතියේ ආසියාවේ මානව හිමිකම්

මානව හිමිකම් සම්බන්ධ වැදගත් සිද්ධි රැසක් ආසියාව තුළ ගෙවුණු සතියේදී සිදුවිණ.


බංගලිදේශය

බංගලිදේශ රජය විවේචනය කළ නීතිඥ මොයිනුල් හොසේන් පසුගිය දා අත් අඩංගුවට ගැනිණ. ඔහු “ඉංග්ලිෂ් ඩේලි ” පුවත්පතේ ප්‍රකාශකයා ද වන්නේය. 78 හැවිරිදි මොයිනුල්ව අත් අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව වී තිබුණේ ඔහු මාධ්‍යවේදිනියකට එරෙහිව චෝදනා නැඟීමයි. මොයිනුල්ගේ සටහන්වලට සහ කියුම් කෙරුම්වලට උද්ඝෝෂණය කළයුතු යැයි කියා මාධ්‍යවේදිනිය, සෙසු මාධ්‍යවේදිනියන් වෙත පවසා තිබිණ. එමෙන්ම මොයිනුල්ට එරෙහිව නඩුවක් ගොනු කළයුතු බවත් මාධ්‍යවේදිනිය පවසා තිබුණාය. මොයිනුල් මෙම මාධ්‍යවේදිනියව හඳුන්වා දී තිබුණේ “චරිතයක් නැති” කෙනෙකු හැටියටය. ඒ අතරතුර මොයිනුල් විරුද්ධ පක්ෂ ඒකරාශී කරමින් සන්ධානයක් ගොඩනැඟීමේ කාර්යයක ද නිරතව සිටි බව සඳහන් වේ. ඔහු සන්ධානයක් ගොඩනඟන්නට උත්සාහ කළේ බංගලිදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංගලිදේශ දේශාභිමානියා පක්ෂය සහ තවත් කුඩා කුඩා විරුද්ධ පක්ෂ කිහිපයක් අතරය. ඔහුගේ මේ ව්‍යායාමය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත බංගලිදේශ මැතිවරණයේදී අගමැතිනි ෂෙයික් හසිනාට අවාසි සහගත වන්නට පවා ඉඩ තිබුණු බව විචාරකයෝ පෙන්වා දෙති.

ඉන්දියාව

ඉන්දීය මධ්‍යම විමර්ෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂක ආලෝක වර්මා සහ නියෝජ්‍යය අධ්‍යක්ෂ රාකේෂ් අස්තානා එම තනතුරුවලින් ඉවත් කිරීමට ඉන්දීය රජය පසුගිය දා පියවර ගත්තේය. ඉන්දීය රජය ගත් මේ තීරණය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. ඉන්දීය රජය පවසන්නේ මෙම නිළධාරීන් දෙදෙනා ඉවත් කළේ මාස ගණනක් තිස්සේ එම ආයතනය අභ්‍යන්තරයේ පවත්නා ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් සොයාගත නොහැකි බැවින් යැයි කියාය. අසාමාන්‍යය සහ පෙර නොවූ විරූ තත්ත්වයක් ඔවුන් නිසා ආයතනය තුළ ඇතිවෙමින් පැවැතියේ යැයි වාර්තාවල සඳහන් වේ.

ගැටළු ආරම්භ වුණේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රාකේෂ් අස්තානා ඉන්දීය රුපියල් මිලියන 30ක අල්ලසක් ලබාගත්තේයැයි කියමින් වර්මා ප්‍රසිද්ධියේම දෝෂාරෝපණය කිරීමත් සමඟය. රාකේෂ් මේ අල්ලස ලබාගෙන තිබුණේයැයි පැවසෙන්නේ ව්‍යාපාරිකයකුගෙනි. එම ව්‍යාපාරිකයාට එරෙහි පරීක්ෂණයක් ඉන්දීය මධ්‍යම විමර්ෂණ කාර්යාංශයේ විභාගවෙමින් පැවැති අවස්ථාවකදී මේ අල්ලස් ගැනීම සිදුව ඇත. වර්මාට එරෙහිව චෝදනාවක් නැඟීමට නියෝජ්‍ය අධ්‍යක්ෂ රාකේෂ් මේ අවස්ථාවේදී පසුබට නොවේ. වර්මා ඉන්දීය රුපියල් මිලියන 20ක මුදලක් එම ව්‍යාපරිකයාගෙන් ලබා ගත් බවට රාකේෂ් චොදනා කරන්නට පටන් ගත්තේය. මේ ගැටුම සමතයකට පත් කරන්නට නොහැකි වීම නිසා දෙදෙනාම එම තනතුරුවලින් ඉවත් කිරීමට පියවර ගත් බව සඳහන් වේ.

වියට්නාමය

මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස නමක් දිනාගත් වියට්නාම ජාතික Nguyen Ngoc Nhu Quynh හෙවත් “මදර් මෂ්රූම්” පසුගිය දා නිදහස කෙරිණ. තිස් නව හැවිරිදි මදර් මෂ්රූම්, බ්ලොග් සටහන් හරහා අදහස් ප්‍රකාශනයෙහි ද නියැලුණු ක්‍රිකරිනියෙකි. ඇගේ බ්ලොග් රචනාවන්ට වැඩිපුරම පාදක වූණේ වංචා දූෂණ, ඉඩම් පිළිබඳ ගැටළු සහ පරිසර දූෂණය වැනි කාරණාවන් ය. රජයට එරෙහිව කටයුතු කරන්නේය යන කාරණාව මත 2016 වසරේදී මදර් මෂ්රූම්ව අත්අඩංගුවට ගැනිණ. ඇයට එරෙහිව නඩුවක් ගොනු කෙරුණු අතර එහිදී ඈ උක්ත චෝදනාවට වැරදිකාරිය වූවාය. මේ නිසා ඇයට දස වසරක සිර දඬුවමක් නියම විණ. ඈ අත්අඩංගුවට ගැනුණේ සිය මව සහ දරුවන් බැලීම සඳහා ඇමෙරිකාව බලා පිටත්වන්නට දින කිහිපයක් තිබියදීය. ඇයව අත් අඩංගුවට ගැනීම මෙන්ම ඇයට පැනවුණු දඬුවම කෙරෙහිත් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංගමය සහ මානව හිමිකම් සංවිධාන අදහස් පළ කරන්නට පටන් ගත්තේය. වියට්නාම බලධාරීන් කිසිදු හේතුවක් නොදක්වාම මදර් මෂ්රූම්ව නිදහස් කළ බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ශ්‍රී ලංකාව

ආසියානු මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිබඳ කලාපීය වැඩමුළුවක් ශ්‍රී ලංකවෙහිදී පසුගිය දා පැවැත්විණ. සාධාරණය සඳහා වූ අයිතිය, සාමය සඳහා වූ අයිතිය සහ සංස්කෘතිය සඳහා වූ අයිතිය සම්බන්ධ නව ප්‍රකාශන ත්‍රිත්වය සාකච්ඡා කිරීමට එය වේදිකාවක් වූයේය.

ඉන්දුනීසියාව

ඉන්දුනීසියා ජනාධිපති ජොකො විඩොඩෝ බලයට පත්ව වසර හතරක් පිරීම සමරනු ලැබුවේ පසුගිය සතියේදීය. ඔහුගේ පාලන සාමය තුළදී සිදුවුණු මානව හිමිකම් කඩවීම් සම්බන්ධ නිසි සොයා බැලීමක් මේ වනතුරු සිදුව නැත. එහිලා වඩාත්ම අවධානය යොමු වන්නේ දූෂණ මුලිනුපුටා දැමීමේ කොමිසමේ ජ්‍යෙෂ්ඨ විමර්ශක නොවෙල් බස්වෙඩන්ට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලවීම වෙතය. මේ විපතට පත් වූ නොවෙල් සහ ඔහුගේ පවුලේ උදවිය ජනාධිපති මන්දිරය ඉදිරිපිට “කළු බ්‍රහස්පතින්දා ” පෙළපාලිවලට තවමත් එක් වෙති. ඒ අන් කිසිවක් නිසා නොව නොවෙල් බස්වෙඩන් සිද්ධිය මඟහැර යෑමට ජොකො විඩොඩෝ රජය කටයුතු කර තිබීම නිසයි.

  • Asain Human Rights Commission (AHRC) හි ‘‘Just Asia‘‘ බුලටිනය ඇසුරෙනි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි