×

කාශ්මීරයේ පොලිස් පවුල්වලට ගරිල්ලන්ගෙන් ජීවිත තර්ජන

ජම්මු කාශ්මීරයේ දකුණුකරයේ ගරිල්ලන් මර්දනය කෙරෙහි කාශ්මීර පොලිසියේ අවධානය යොමු වෙද්දී ගරිල්ලන් විසින් එකට එක කිරීමක් ලෙස එම පවුල්වල අය පැහැරගැනීමට පටන් ගෙන තිබේ.


ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තවල පදිංචි ව සිටින පොලිස් සාමාජිකයන්ගේ පවුල්වල අය ගතවූ කාලය තුළ විශාල ජීවිත තර්ජනයකට මුහුණ දී ඇති බව නවතම වාර්තාවල දැක්වේ.

කාශ්මීර ගරිල්ලන්ට එරෙහිව දියත් කර ඇති ප්‍රහාර ප්‍රමාණය ඉහළ යාමත් සමග ඔවුන් විසින් පළිගැනීම සඳහා මේ පියවර වෙත යොමු වී ඇති බව විශ්වාස කෙරේ.

ජම්මු කාශ්මීරයේ පොලිස් පවුල්වල සාමාජිකයන් හෝ ඥාතීන් 11 දෙනෙක් ගතවූ පැය 48 ක කාලය තුළ පැහැරගැනීම්වලට ලක්ව ඇති අතර, මේ නිසා ප්‍රදේශවාසීන්ගේ ජීවිත පිළිබඳ දැඩි සෝදිසියකින් පසුවීමට බලධාරීන්ට සිදුව ඇත. කුල්ගම් දිස්ත්‍රික්කයෙන් පමණක් මෙවැනි පැහැරගැනීම් 5 ක් පමණ වාර්තා විය. ඒ අතර පොලිස් නිලධාරීන්ගේ පුතුන් හා සහෝදරයන් වේ.

ජම්මු කාශ්මීර ගරිල්ලා නායකයන් දෙදෙනෙක් වන ජායිෂ් ඊ සංවිධානයේ දිස්ත්‍රික් අණ දෙන්නා වූ ෂාජහාන් සහ, හිස්බුල් මුජහිදීන් සංවිධානයේ අණ දෙන්නා වූ සයිඩ් නවීඩ්ගේ නිවාසවලට කාශ්මීර පොලිසිය විසින් වෙඩි තැබීම් සිදුකර තිබෙන අතර, මෙම පැහැරගැනීම් මාලාව සඳහා ආසන්නතම හේතුව එය බවට සැලකේ.

මේ අතර මෙම වෙඩි තැබීම් සිදුවූ ෂොපියන් පළාතේදී පොලිසියෙන් පළි ගැනීමක් ලෙස එදිනම පොලිස් නිලධාරීන් 4 දෙනෙක් මරා දැමීම ද සිදුවිය. දකුණුදිග කාශ්මීරයෙන් ඊද් දිනය දා ද පොලිස් පරීක්ෂකවරයෙකු කාශ්මීර ගරිල්ලන් විසින් ඝාතනය කර තිබිණි. කාශ්මීර ගරිල්ලකෙු යැයි සැක කෙරෙන පුද්ගලයෙකුගේ 70 හැවිරිදි පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම, මෙම ගරිල්ලන් විසින් හඳුනාගෙන තිබුණේ ඔවුන්ට හිංසා කිරීමක් සහ නින්දා කිරීමක් ලෙසය.

උද්ගතව ඇති තත්වය තුළ කාශ්මීර පොලිස් නිළධාරීන් සිය පවුල්වල අය බැලීමට පැමිණෙන්නේ, හදිසියේම නොදන්වා සහ ඉතා කෙටි වේලාවකට පමණක් වන බව ද ඒෂියා ටයිම්ස් වාර්තා කරයි. කාශ්මීර පොලිස්පතිවරයා ද මේ බව සනාථ කර තිබේ. මේ අනුව පුල්වාමා, ෂොපියන් සහ කුල්ගාම් යන දිස්ත්‍රික්කවල පොලිස් භටයන්ට සිය පවුලේ සාමාජිකයන්ගේ ජීවිත අවදානම විශාල අවධානයකින් පසුවීමට සිදුව තිබේ.

මේ අතර පොලිස් භටයෙකුගේ පැහැරගත් පුතෙකු විසින් තමන්ව නිදහස් කරන ලෙසට කරනු ලබන බැගෑපත් ඉල්ලීමක් ද මේ වන විට ඉන්දීය සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වෙමින් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි