×

සිරගත වූ බෙගම් ඛලීඩා ෂියා, තවත් හත් අවුරුද්දක් හිරේට!

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී බෙගම් ඛලීඩා ෂියා, දෙවන දූෂණ නඩුවෙන් ද වරදකාරිය වී නැවත වරක් සිරගෙට නියම වෙයි.


ඇගේ මියගිය සැමියාගේ නමින් පිහිටුවාගෙන ඇති පුණ්‍ය අරමුදල හරහා මිලියන ගණනක් ගසා කෑ බව මෙම නඩුවේදී ඔප්පු විය. එහි නම Zia Charitable Trust ය.

බෙගම් ඛලීඩා ෂියාගේ සැමියා - බංග්ලාදේශයේ 7 වන ජනපති | Wikipedia

බෙගම් ඛලීඩා ෂියාගේ සැමියා – බංග්ලාදේශයේ 7 වන ජනපති | Wikipedia

73 හැවිරිදි හිටපු බංග්ලාදේශ නායිකාව 2018 පෙබරවාරි මාසයේ සිට බන්ධනාගාර ගත කර සිටියි. ඒ, ඇගේ සැමියා වන හිටපු ජනාධිපති සයුර් රහ්මන් (Ziaur Rahman) (බංග්ලාදේශයේ 7 වන ජනපති) ගේ නමින් නම් කළ අනාථ නිවාසයක් හරහා ජනතා මුදල් මංකොල්ල කෑ බව සනාථ වීමත් සමග ය. ඇය සමග තවත් තිදෙනෙක්, මෙම ඇමරිකානු ඩොලර් 375,000 ක දූෂණ වරද සඳහා වරදකරු කෙරිණි. එම නඩුවේදී එම මුදල් ලැබුණු ආකාරය පැහැදිලිව පෙන්වීමට ඇය අසමත් වූවාය.

අලුත් නඩු තීන්දුව ලබාදීම සඳහා ඩකා අගනුවර නසීමාඩීන් පාරේ පැරණි මධ්‍යම බන්ධනාගාරය අසල තාවකාලික අධිකරණ පරිශ්‍රයක් පවත්වාගැනීමට සිදුවිය. නඩුවේ අවසන් කාර්යපටිපාටීන් ඛලීඩා ෂියා නොමැතිව ඉදිරියට පවත්වාගෙන යාමට සිදුව තිබුණේ, ඇය අධිකරණයට පැමිණීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි. ඒ සඳහා හේතු ලෙස ඇය දක්වා තිබුණේ සිය රෝගී තත්වයකි. තමන්ගේ එක් අතක් සහ පාදයක් අප්‍රාණික වෙමින් පවතින බව ඇය විසින් කියා තිබිණි.

Zia Charitable Trust දූෂණ නඩුව ගොනු කරනු ලැබුවේ 2011 වසරේදී දූෂණ විරෝධී කොමිෂම විසිනි. මෙම නඩුව පවත්වාගෙන යාමට විරෝධය පළකරමින් ඛලීඩා ෂියාගේ නීතීඥයන් විසින් අභියාචනයක් ද ගොනුකර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසට බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයට, එම දූෂණ විරෝධී අධිකරණයේ කාර්යපටිපාටීන් සඳහා තිබූ බාධක ඉවත් කිරීමට ද සිදුව තිබිණි. පසුගිය සැප්තැම්බර් 20 වැනිදා, ඛලීඩා ෂියා නොමැතිව නඩුව පවත්වාගෙන යාමට අධිකරණය මග හෙළි කර ගත්තේ ඒ අනුව ය.

දිගින් දිගටම රෝගී තත්වයන් ගැන පැමිණිලි කළ, නඩුව මගහැරි බංග්ලාදේශයේ හිටපු නායිකාව මේ වන විට රෝහල්ගත කර තිබේ. නමුත් ඇය සම්බන්ධ ගැටළුවට යුක්තිය ඉටු කිරීමට බංග්ලාදේශ බලධාරීන් මේ කිසිදු කාරණයක් බාධාවක් කර ගත්තේ නැත.

එසේම මෙම අධිකරණ තීන්දුව ලබාදෙනුයේ බංග්ලාදේශ මහ මැතිවරණය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත ව තිබියදී ය.

රට තුළ තවමත් ප්‍රබල දේශපාලන චරිතයක් සේ සැලකෙන ඛලීඩා ෂියාගේ දේශපාලන අභිප්‍රායයන්ට මෙමගින් විශාල බලපෑමක් එල්ල වනු ඇතැයි සැලකේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි