×

බොරු ෂෝ කොයින්දා- ක්‍රොයේෂියාවේ කොලින්දා (වීඩියෝ)

ලොව සරාගීම ජනපතිනිය වශයෙන් හැඳින්වෙන කොලින්දා ග්‍රැබර්-කිතරොවික් (Kolinda Grabar-Kitarović) ගේ නිහතමානීකම, සරල කම සහ අව්‍යාජ කම විසින් ද ඇගේ සරාගී කම තරමටම පුවත් මවමින් තිබේ.


ලොව සරාගීම ගැහැණුන් සිටින්නේ ක්‍රොයේෂියාවේ වන හෙයින් කොලින්දා ග්‍රැබර්-කිතරොවික් (Kolinda Grabar-Kitarović) ලොව සරාගීම ජනපතිනිය වීම පුදුමයක් නොවේ.

ක්‍රොයේෂියාව රුසියාව පරදවා ඊයේ ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට පිවිසෙන ආකාරය, දඬුවම් පහරවලින් ජයග්‍රහණය තහවුරු කරන අන්දම නරඹන්නට ඇය ගුවනින් ගියේ ඉකොනොමි පන්තියේ ය. එනම් මිලෙන් අඩුම, සාමාන්‍ය ජනතාව ගමන් කරනා මගී පන්තියේ ය.

එසේම ඇය ක්‍රොයේෂියා කණ්ඩායමට සුබ පැතුවේ, හුරේ දැමුවේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන් අතර සිට ය. තරග සංවිධායකයන් ඇය ව හඳුනා ගෙන, අගමැති දිමිත්‍රි මෙද්වදෙව් අසල සිට තරගය නරඹන්නට බල කර VIP ගැලරියේ අසුනක් බලෙන් නොදුන්නා නම් ඇය දිගටම සිටින්නේ සාමාන්‍ය ජනතාව අතර ය. ඒ මදිවාට ඇය VIP ගැලරියේ සිටියේ ද ක්‍රොයේෂියා පාපන්දු කණ්ඩායමේ ටී ෂර්ටය ඇඟලාගෙන ය. VIP කෙනෙකු වීමට සිදුව තිබූ නිසා ටී ෂර්ටයට ඉහළින් රතු පාට කබායක් දමාගන්නට සිදුවීම ගැන ද ඇය සිටියේ කණස්සල්ලෙනි!

Photo: sputniknews.com

ඉන්පසු ඇගේ රටේ කොල්ලන්ට සුබ පතන්නට ඇය ගියේ ඔවුන්ගේ විවේකාගාරයට ය. ජයග්‍රහණයෙන් නොව විඩාවෙන් වෙහෙසට පත්ව සිටි දහඩිය ගඳේ සිටි ක්‍රොයේෂියානු කොල්ලන් ට ඇය සුබ පැතුවේ රටේ ජනාධිපතිනිය ලෙස නොවේ. ළබැඳි හිතවතියක ලෙස ය. බොරු ෂෝ නැත. මවාගත් උඩඟු කම් නැත. වෙනත් වචනවලින් කියන්නේ නම් ඇය ඒ මොහොතේ ජයග්‍රහණයෙන් උදම් වී සිටි ක්‍රොයේෂියානු කෙල්ලක පමණි.

Photo:Youtube

ජනපතිනී කොලින්දා ග්‍රැබර්-කිතරොවික්, වෙහෙසට පත්ව වාඩි වී සිටි, ෆුල් සූට්වලින් කොහෙත්ම නොසිටි ක්‍රීඩකයන් වෙත ගොස් පවා, ඔවුන් ට සතුට පළ කළ අන්දම, නියමයි කොල්ලනේ යැයි කියූ අන්දම මේ වන විට ලොව පුරා වයිරල් වීඩියෝවක් බවට පත් ව තිබේ. ලොක්කන්ට ලොකු තරග නරඹන්නට VIP පුටු අවශ්‍යම වන ලෝකයක, පස්ස තැන්පත් කරන ආසනය පවා ජනපතිට කලින් වෙනම වැඩමවූ ලෝකයක කොලින්දා, ‘මවිතය දනවන වස්තුවක්‘ ලෙස පෙනී යාම කිසිසේත්ම මවිතයට කාරණයක් නොවේ.

[embedyt] https://www.youtube.com/watch?v=-he1B6avnzA[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි