උතුරු කොරියාව සහ දකුණු කොරියාවේ නායකයන් දෙපළ, උතුරු කොරියාවේ පයොන්ගියැන්ග් නගරයේදී පැවති ද්විපාර්ශවික සාකච්ඡා සාර්ථක ලෙස අවසන් කළේය.
දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් (Moon Jae-in) ගේ උතුරු කොරියානු සංචාරයේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සඳහන් කළේ ‘පයොන්ගියැන්ග් සමුළුවේදී ඇති කර ගත් එකඟතා සාමයේත් සෞභාග්‍යයේත් නව යුගයක් කොරියාවට උදා කරාවි‘ කියා ය.
එම සාකච්ඡාවෙන් අනතුරුව කොරියානු කලාපය න්‍යෂ්ටික අවිවලින් මුක්ත කිරීමේ ඒකාබද්ධ ප්‍රකාශනයකට ද දෙරට නායකයෝ අත්සන් තැබූහ.
දෙරට ආරක්ෂක අමාත්‍යවරුන් විසින් හමුදාමය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙයට සමාන්තරව සිදුවිය.
මෙම හමුදා ගිවිසුම අනුව මේ දෙරට, නොවැම්බර් 1 වැනිදා පටන් දේශසීමාවන්හි පවත්වන හමුදා සන්දර්ශන නතර කරනු ඇත.
එසේම සීමා නිර්ණය රේඛාව (දෙරට බෙදා වෙන් කරන දේශසීමාව ආශ්‍රිත කලාපය හෙවත් demarcation line) ආශ්‍රිතව ගුවන් හමුදා පියාසැරි නතර කිරීමට ද එමගින් ප්‍රතිඥා දීම සිදුවිය. කහමුහුදේ හමුදා සන්දර්ශන පැවැත්වීම ද නතර කිරීමට මේ අනුව නියමිත ය.
සුහද විශ්වාසය මත පදනම්ව දෙරට අතර පිහිටා තිබෙන හමුදා මුක්ත කලාපයෙන් (demilitarized zone) සොල්දාදුවන් ඉවත් කිරීමට ද යෝජිත ය. පනමුන්ජොම් මායිම් ගම්මානයේ මුර කටයුතුවල යෙදී සිටින භටයන් එයින් ඉවත් කිරීම ද මෙහිදී සිදුවනු ඇත.
වසර 2018 වන විට දේශසීමා ආරක්ෂක මුරපොළ 18 ක් වසා දැමීමට ද දෙරට එකඟ වී ඇත.
තවද මෙම එකඟතාවයන් නිත්‍ය පදනමකින් ඇති කර ගන්නේ කෙසේදැයි තහවුරු කර ගැනීම සඳහා ‘හවුල් හමුදා කමිටුවක්‘ ද පත් කිරීමට යෝජනා වී තිබේ.
මේ වසර මුල පැවැත්වූ ඔලිම්පික් සාම හුවමාරුව යටතේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මේ වන විට තෙවතාවත් දකුණු කොරියාව බලා ගොස් තිබේ. නමුත් මෙම හමුදාමය එකඟතාවයෙන් පසුව සිව්වැනි වතාවටත් ‘හැකි ඉක්මනින්‘ දකුණු කොරියාව බලා යාමට කිම් ජොන් උන් අදහස් කරයි.
කලාපයේ තිරසාර සාමයක් ඇති කර ගැනීමේ අරමුණින් 2020 වසරේදී ජපානයේ තෝකියෝ නුවර පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙල සඳහා උතුරු-දකුණු කොරියාව විසින් ඉදිරිපත් කරනු ඇත්තේ තනි කණ්ඩායමකි.
එපමණක් නොව, 2032 වසරේදී ඔලිම්පික් උළෙල කොරියාවේ පැවැත්වීම වෙත ද ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.
1950-53 කොරියානු යුද්ධයෙන් පසු උතුරු දකුණු කොරියානු දෙරට අතර මෙතරම් සාධනීය සාම වැඩපිළිවෙළක් ඇති වූ ප්‍රථම වතාව මෙයයි.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය මාසයේ උතුරු කොරියාවේ පයොන්ගියැන්ග් නගරයට පැමිණීමට සිටියත් ඔහු ඒ ගමන අවලංගු කළේ උතුරු කොරියාවේ කැපවීම මදි බව කියමිනි. කෙසේ නමුත් ඇමරිකාව ද මේ වන විට උතුරු කොරියාව සම්බන්ධයෙන් නැවතත් ධනාත්මක ප්‍රවේශයක් අනුගමනය කරමින් සිටියි.
මෙවර පැවැත්වුණු පයොන්ගියැන්ග් සමුළුවේ දැකිය හැකි එක් ප්‍රධානතම ජයග්‍රහණයක් වූයේ ‘මිසයිල වැඩසටහන නිත්‍ය ලෙස අවසන් කිරීම සඳහා‘ ගත යුතු පියවර සහ කළ යුතු දේවල් පිළිබඳ විමසීමට අන්තර්ජාතික පරීක්ෂකයන්ට උතුරු කොරියාව විසින් කැමැත්ත ලබාදීමයි. මෙය ද උතුරු කොරියාවේ න්‍යෂ්ටික නිරවිකරණ වැඩපිළිවෙළේ වැදගත් සන්ධිස්ථානයකි. සිය ප්‍රධානතම න්‍යෂ්ටික බලාගාරය වන යොන්බියොන්ග් (Yongbyon) වසා දැමීමට ද කිම් ජොන් උන් විසින් කැමැත්ත පළ කර තිබේ. කොරියානු අර්ධද්වීපය ‘න්‍යෂ්ටික ආයුධ සහ න්‍යෂ්ටික තර්ජනවලින් තොර සාමයේ භූමියක් ‘ බවට පත්කිරීමට උතුරු කොරියානු නායකයා මේ වන විට කැමැත්ත පළ කර ඇත.