×

ගමේ ජනගහනය 1යි – මේ ඇයයි

ඈ මොනොවිහි අවසන් කෙවිලියයි! හොල්මන් නගරයේ නගරාධිපතිනිය යනුවෙන් ඇයව හඳුන්වන අය ද සිටිති. නමුත් මේ සිටින්නේ හුදෙකලාවට පෙම් බැඳි කතකි.


ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රෙස්කා ප්‍රාන්තයේ දකුණු ඩකෝටාවෙහි සිට මයිල පහක් පමණ ගිය තැන ඉතා දුෂ්කර ගමක් හමුවේ. මේ ගම හැඳින්වෙන්නේ මොනොවි යන නමිනි. තණ බිම් සහ තිරිඟු ඉඩම් මැදින් වැටුණු පටු මාර්ගය, ගමට යන්නට තිබෙන එකම එක මඟය. එය හැමදාම වගේ දූලින් පිරී ඇත. ගමෙහි එක් තැනෙක දැකිය හැකි වන්නේ අත්හැර දමන ලද පල්ලියයි. ට්‍රැක්ටරවලින් ගලවා ඉවත් කරන ලද පරණ ටයර් ගොඩක් ඒ තුළ ගල් කර ඇත. වල් කැළෑවෙන් සහ බ්‍රෝමේ තණකොළ පත් හේතුවෙන් කරදර විඳිමින් ගරා වැටෙන නිවාස රැසක් ගමේ තැනින් තැන ඇත.

BBC

BBC

සුද ආලේපිත නොඋස් බිත්තිවලින් සමන්විත තැබෑරුම මොනොවිහි ඇති එක් සජීවී තැනෙකි. බැදපු ඌරු මස් මුහුකොට කටගැස්මක් සකසන 84 හැවිරිදි එල්සී ඊලර් මේ ගොඩනැඟිල්ල තුළ නිතරම දැකිය හැකිය. කට ගැස්ම සැකසීමෙන් පසු එල්සීගේ අත දිව යන්නේ බීර බෝතල් පැත්තට ය. ඈ මේ සියල්ල කරන්නේ “ Wellcome To The World Famous Monowi Tavern … Cooldest Beer In Town” කියා සඳහන් වුණු පුවරුව යට හිඳගෙනය. එල්සිගේ බීර තැබෑරුම මොනොවිහි ඇති එකම එක බීර තැබෑරුමයි.

BBC

BBC

එල්සිගේ සැමියා – රූඩී 2004 අවුරුද්දේදී නොඑන ගමන් ගියේ මේ තැබෑරුම පමණක් නොව ඊට අදාල නීතිමය කටයුතුත් එල්සි මත බලයෙන්ම වාගේ පටවමිනි. ඇමෙරිකා එක්සත් ජනපද සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2010 වසරේ වාර්තාවන්ට අනුව මොනොවිහි ජනගහනය 1කි. ඒ අනුව 2004 වසරේ සිට එහි වසන එකම එක පුරවැසියා එල්සීය. තැබෑරුම පවත්වාගෙන යනවාට අමතරව මොනොවිහි පුරවසියාත්, පුරපතිත්, ලිපිකරුවාත්, භාණ්ඩාගාරික තැනත්, පුස්තකාලයාධිපති තැනත් ආදී වශයෙන් තනතුරු රැසක විශාල වගකීම් ප්‍රමාණයක් එල්සී වෙත පැවරී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය තරම් සුවිසල් රටක එකම එක පුරවැසියකු වෙසෙන කුඩා නගරයක් ගැන මේ සියවසේදී සිතා ගැනීම පවා අසීරු ය.

මොනොවි ගම්මානයේ ප්‍රධානියා හෙවත් නගරාධිපතිවරයා තනතුරට තරග වැද එක් ඡන්දයක් ලබමින් ජයග්‍රහණය කරන්නේ එල්සී මිස අනෙකකු නොවේ. තනතුරට තරග වදින ඇයට නිතැතින්ම ලැබෙන්නේ ද ඇයගේම ඡන්දය පමණි. නගරයේ විදුලි පහන් කණු තුන සහ ජල පහසුකම් පවත්වා ගන්නට අවශ්‍ය ඇමෙරිකා ඩොලර් 500ක අරමුදල තර කිරීම ඈ මත පැටවෙන ඊළඟ භාරධූරම කාර්යයි. ගම්මානයේ එකම ගම්වැසියා හැටියට එල්සීට තවත් බොහෝ පුදුම සහගත වැඩවලට මුහුණ දෙන්නට සිදු වේ.

BBC

BBC

“… මධ්‍යසාර සහ දුම්කොළවලට බලපත්‍රය ගන්න සෑම වසරකම මා අයදුම් කළ යුතුයි. ඒ ලියකියවිලි ඔවුන් එවන්නේ ගමේ ලේකම්වරයා වෙත. … ඉතින් ලේකම් හැටියට ඒවා ලැබෙන්නෙත් මට. ලිපිකරු හැටියට ඒවාට අත්සන් කරන්නෙත් මම. තැබෑරුමේ අයිතිකාරිය ලෙස අන්තිමට ඒවා මගේ අතටම පත් වෙනවා. …”

දිරාපත්ව දුර්වල වී යන නිවාසවල ලැයිස්තුවක් සකසා තබාගන්නටත් එල්සි කරදර වන්නීය. ඒ අනෙකක් නිසා නොව කොයි මොහොතක හෝ එහි ජනගහනය දෙක දක්වා වැඩිවන්නට ඉඩ ඇති බැවිනි. එවැනි අවස්ථාවකදී ගමට අලුතෙන් එන සාමාජිකයාට ලැබෙන්නේ එල්සී සතු පළමු ලැයිස්තුවේ ඇති නිවෙසකි.

මොනොවි ගම්මානය අද ජනශූන්‍ය තත්ත්වයක තිබුණත් එක්දහස් නවසිය තිස් ගණන්වලදී එය මේ මිහිමත පැවැති සමෘද්ධිමත් තැනක් විණ. එල්ක්හෝර්න් දුම්රිය මඟ වැටී තිබුණේ ගම්මානය ආසන්නයෙනි. එවක ගම්මානයේ පුද්ගලයෝ 150දෙනෙක් පමණ විසූහ. ග්‍රොසරි සාප්පු, ආපන ශාලා පමණක් නොව සිපිරි ගෙයකුත් එහි වී යැයි එල්සී පවසන්නීය. එල්සි හැදුණේ වැඩුණේ නගරයෙන් සැතපුම් භාගයක් පමණ එහායින් තිබුණු ගොවිපොළක ය. මොනොවිහි එක් පන්ති කාමරයකින් සමන්විත පාසලට යද්දී – එද්දී එල්සීට රූඩිව මුණ ගැසිණ. එයින් වසර කිහිපයකට පසු රූඩි ඇමෙරිකා ගුවන් හමුදාවට බැඳුණේය. කොරියා යුධය පැවැති අවස්ථාවේදී ඔහුට ප්‍රංශයට ගොස් සේවය කරන්නට සිදු විණ. මේ කාලයේදී එල්සී කැන්සාසා නගරයට පැමිණ ගුවන් සේවිකාව වන්නට සිහින මැව්වාය. එල්සි දහ නව හැවිරිදි වියට පා තබද්දී ඇයට රූබි සමඟ සරණ යන්නට සිදු විණ. අවට ඉන්ධන හල් වෙත ඉන්ධන ප්‍රවාහන කිරීම සහ තවත් විවිධ රැකියාවන්හි නිරත වුණු මේ යුවළ තැබෑරුම ආරම්භ කළයුතුයැයි සිතුවේ 1971 වසරේදී ය. එල්සිගේ පියා තැබෑරුමේ මුල් අයිතිකරු විණ. එසේ වුවත් එක්දහස් නවසිය හැත්තෑ ගණන් ආරම්භ වන විට තැබෑරුම වසා දමා තිබුණේය.

එල්සී සහ සැමියා තැබෑරුම ආරම්භ කරන්නට සිතන සමය වනවිට මොහොවි ගම්මානයේ කටයුතු සියල්ලක්ම වගේ අඩපණ වෙමින් පැවැතිණ. එහි ගොවිපොළවල තත්ත්වය බෙහෙවින් නරක අතට හැරෙමින් තිබිණ. දෙවන ලෝක යුධය හේතුවෙන් ග්‍රාමීය ආර්ථිකයන් බිඳ වැටී තිබුණු අතර මොනොවිත් ඒ ඉරණමට ගොදුරුවී දිය වී යමින් පැවතියේය. දැවවලින් කරන ලද පල්ලියෙහි අවසන් වරට දේව මෙහෙයක් පැවැත් වුණේ 1960 වසරේදී ය. ඒ, එල්සීගේ පියාගේ ආදාහනය වෙනුවෙනි. ගමේ තැපැල් කාර්යාලය සහ අවසන් ග්‍රොසරි සාප්පු තුන 1967ත් 1970ත් අතර කාලයේදී වසා දමන ලදී. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වන විට ගම්මානයේ රැකියා තිබුණේ නැත. මේ නිසා දරුවන් ද සමඟ මේ යුවළ වෙනත් පළාතක පදිංචියට ගියහ. 1980 වනවිට මොනොවිහි ජනගහනය 18 දක්වා පහළ වැටී තිබිණ. එයින් වසර විස්සක් ගත වූ කල්හි මොනොවිහි දැකිය හැකි වුණේ එල්සී සහ ඇගේ සැමියා රූබි පමණි.

එල්සී අද හුදකලා වියපත් ගැහැනියෙකි. සඳුදා හැර සතියේ සෑම දවසකම පෙරවරු 9 වනවිට ඈ තැබෑරුම විවෘත කරන්නීය. සඳුදා ඇගේ නිවාඩු දිනයයි. සැතපුම් විස්සක තිහක පමණ දුර මඟ ගෙවාගෙන බොහෝ වැඩිදෙනෙක් තැබෑරුමට පැමිණෙති. සැතපුම් 200ක් තරමේ දුරක් ගෙවාගෙන වුව එහි ළඟාවන ගනුදෙනුකරුවන් ද නැතිව නොවේ.

“… සමහර පවුල්වල උදවිය මෙහි පැමිණෙන්නේ පරම්පරා හතරක හෝ පහක හෝ සිටයි. එදා අත දරුවන් සමයේදී මා දුටු සමහර අය අද මෙහි එන්නේ ඔවුන්ගේ අත දරුවන්ද කැටුවයි. ඒ වගේ අය දකිද්දී මට හරි සතුටක් දැනෙනවා. …”

ගනුදෙනුකරුවන්ට අවශ්‍ය හැම්බර්ගර්, හොට් ඩෝග්ස්, ගිසාර්ඩ්ස් ආදිය පිළියෙළ කරන්නේ එල්සීය. එල්සි ඒවා සකසන තුරු ගනුදෙනුකරුවෝ ඔවුන්ගේ පෞද්ගලික සැමරුම්වල හෝ උත්සවවල හෝ දැනුම්දීම් තැබෑරුමේ දැන්වීම් පුවරුවේ අලවති. ඒ එහි යන එන උනුන්ගේ මිතුරන්ගේ දැන ගැනීම පිණිසය. මේ කාරණය සැලකිල්ලට ගත්විට මොනොවි තැබෑරුම යනු ප්‍රජාවට එකතු වන්නට සැලසුම් කෙරුණු හුරුබුහුටි කාමරයක් බඳුය. සැතපුම් ගණන් දුර බැහැර ගෙවාගෙන සෑම ශනිදා සැන්දෑවකම එහි ළඟාවන පිරිසක් ද වෙති. ඔවුන් එහි පැමිණෙන්නේම කාඩ් සෙල්ලමේ නිරත වන්නට ය. එහෙව් දවසට රෑ දෙගොඩහරි යාමයේ සියල්ලන්ම නික්ම ගොස් කිසිදු හැලහොල්මනක් නැති වනතුරුම එල්සී තැබෑරුම වසන්නේ නැත.

එල්සිගේ තැබෑරුමට ආසන්නයෙන් රූබීගේ පුස්තකාලය නමින් හැඳින්වෙන පුස්තකාලයක් දැකිය හැකිය. එල්සිගේ සැමියා – රූබි හොඳ කියවන්නෙකු විණ. ඔහු මියගියේ පොත්පත් සහ සඟරා 5000කට අධික ප්‍රමාණයක හිමිකරුවකු හැටියටයි. මේ පොත් පත් සහ සඟරා එකතුවෙන් පුස්තකාලයක් ආරම්භ කළයුතුයැයි රූබි ජීවත්ව සිටි කාලයේදී කල්පනා කළේය. එහෙත් මිය යන අවස්ථාව එළඹෙන තුරුම ඔහුට ඒ සිහිනය සැබෑ කරගන්නට නොහැකි විණ. රූබිගේ මරණින් පසු පුස්තකාලය ඉදිකිරීමේ වැඩ කටයුතු අවසන් කරන්නට එල්සිට හැකි වුණේ තම දරු මුණුබුරන්ගේද සහය ඇතිවයි. එක්දහස් නවසිය පනස් ගණන් මැද භාගයේ ලියැවුණු පොත පත් සහ සඟරා රැසක් අද එහි තැන්පත් කර ඇත. ඕනෑම කෙනෙකුට ඒවා පරිහරණය කරන්නට අවකාශය තිබේ.

එල්සිගේ දරු මුණුබුරන් ජීවත් වන්නේ මොනොවිහි සිට බොහෝ ඈතිනි. ඇතැමුන් නෙදර්ලන්තයේ ය. ඒ කිසිවකු නැතැයි කියා එල්සිට පාළුවක් සහ දුකක් දැනෙන්නේ ද නැත. “… මම, හැම වෙලාවේම මගේ දරුවන්ට සමීපයි. අවශ්‍ය වෙලාවට මම ඔවුන් සමඟ ජීවත් වෙනවා. එසේ වුවත් මම තව තවත් මිත්‍රයන් හදා ගත යුතුයි. … මට මෙහි ජීවත් විය හැකි තාක් කල් මම මෙහෙ ජීවත් වෙනවා. මෙහෙට වෙලා ඉන්න තමයි මට ඇත්තටම ඕනෑ. මම හිතනවා; ඔබ වයසට යන්න යන්න ඔබේ හැසිරීම් වෙනස් වෙන්නේ හරිම අඩුවෙන් කියලා. …” යැයි එල්සි පවසන්නීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි