×

ලිංගික අනන්‍යතාවය වෘත්තියට අදාළ නැත!

සමරිසි ඇතුළු විවිධ ලිංගික අනන්‍යතාවලට අයත් ගුරුවරුන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකු තම අනන්‍යතාවය නිසා හිරිහැරයට හා අපහාසයට ලක් වන බව සමීක්ෂණයකින් සොයාගනී.


සමරිසියන් යනු මිනිසුන්ය. මිනිසා විවිධ සමාජ තලයන් නියෝජනය කරන අතර, විවිධ සංස්කෘතීන්ගෙන් හා සමාජ කණ්ඩායම්වලින් පැමිණි අයෙකු වේ. ඔවුන් වෛද්‍යවරුන් විය හැකිය, ඉංජිනේරුවරුන්, නීතිඥයින්, ගුරුවරුන්, ව්‍යපාරිකයින් යනාදී විවිධ වෘත්තීන්හි නියැලෙන අය විය හැකිය. ඔවුන්ගේ ලිංගික දිශානතිය කිසිසේත්ම ඔවුන්ගේ වෘත්තියට අදාළ නොවේ.

ලිංගික දිශානතිය යනු පුද්ගලයාට අතිශය පෞද්ගලික කායික, මානසික හා ආධ්‍යාත්මික දෙයක් වන අතර, වෘත්තිය යනු එම පුද්ගලයාගේ නිපුණතාව හා කුසලතාව සමග සම්බන්ධ වන දෙයක් වේ. එහෙත් සමාජය පුරුදුව සිටින්නේ පුද්ගලයාගේ රැකියාව හා සමාජ තත්ත්වය ඔහුගේ හෝ ඇයගේ ලිංගික දිශානතිය සමග සම්බන්ධ කරමින් ඇගයීමට ලක් කිරීමටය. විශේෂයෙන් වැඩ කරන පරිසරය තුළ විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන්ට වෙනස්කොට සැලකීම, උසස්වීම් ලබා නොදීම, හිරිහැර කිරීම, අපහාසයට පත්කිරීම යනාදිය නිරන්තරව සිදුකරයි. මේ නිසා සමරිසි පුද්ගලයින් හා සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් බොහෝ අවස්ථාවලදී කොතරම් සුදුසුකම් තිබුණත්, නිපුණතාව පැවතුනද, රැකියා වෙළෙඳපොළෙන් ප්‍රතික්ෂේප වන අවස්ථා ඇත. විශේෂයෙන් සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය බාහිරට පෙනෙන නිසා රැකියාවක් සොයාගැනීමට හා රැකියාවක් කිරීමට පවතින හැකියාව ඉතා අඩුය. මේනිසා ඔවුන් නිරන්තර ශ්‍රම වෙළෙඳපොළෙන් බහිෂ්කරණයට ලක්වන අතර අපහසුවෙන් වුවද රැකියාවක් සොයාගන්නා අයද ඉතා ඉක්මණින් රැකියා වෙළෙඳපොළ අතහැර යති.

බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් බෙකට් විශ්වවිද්‍යාලයයේ සිදුකළ සමීක්ෂණයක් මගින් මෙම කරුණු සොයාගෙන ඇති අතර, මෙම පර්යේෂණයට විවිධ ලිංගික අනන්‍යතා කණ්ඩායම්වලට අයත්වන ගුරුවරුන් 650 දෙනෙකු හා විදුහල්පතිවරුන් 250 දෙනෙකු සහභාගී වී ඇත. බ්‍රිතාන්‍යය තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සමරිසි අනන්‍යතාව හා වෙනත් අනන්‍යතාවන් ඇතුළත් කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කරගැනීම සඳහා මෙම සමීක්ෂණය ක්‍රියාත්මක විය. මෙම සමීක්ෂණයට සහභාගී වූ ගුරුවරුන් 650 දෙනා අතුරින් 30%ක් දෙනා ප්‍රකාශ කළේ පාසලේදී හා ඉගැන්වීමේදී ඔවුන් දරුණු ගණයේ වෙනස්කොට සැලකීම්වලට භාජනය වන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙසට පාසල් පැමිණීමට හා ඉගැන්වීමේ කටයුතුවලට සක්‍රීයව සහභාගී වීමට තරම් යහපත් මානසිකත්වයක් නොමැති බවයි. එමෙන්ම 40% දෙනාට අනුව ඔවුන් උගන්වමින් සිටින පාසල් සමරිසි ප්‍රජාවට ගරු කරන පරිසරයක් සකස් කරාවි යැයි ඔවුන් විශ්වාස කරන්නේ නැත. එමෙන්ම 40% දෙනාට අනුව ඔවුන් තම අනන්‍යතාවය සඟවාගෙන ජීවත්වන අතර, තමන් කවුරුන්ද යන්න පාසලේදී නිරාවරණය කළේ නැත. එසේ කිරීමට වුවමනාවක්ද නොමැත.

මෙම සමීක්ෂණය සිදුකළ මහාචාර්ය ජොනතන් ග්ලැසාර්ඩ් පවසන්නේ ‘පාසලක ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙක් වීම තුළම යම් ආකාරයක ආතතිමය ස්වභාවයක් පවතින බවයි. ශිෂ්‍යයින් කළමනාකරණය කිරීම, විෂය නිර්දේශ ආවරණය කිරීම යනාදිය මගින් ඇතිකරන ආතතිමය ස්වභාවය නිසා ඔවුන් විවිධාකාරයේ මානසික ප්‍රශ්නවලින් පිඩා විඳිය හැකිය. මෙම පීඩාවට පත්වීම තවත් වැඩිකරන ආකාරයේ මාතෘකාවක් වන්නේ ඔවුන්ගේ ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවයයි. ඔබ වැඩ කරන පාසල හෝ සේවා ස්ථානය ඔබගේ ලිංගික අනන්‍යතාවයට අපහාස කරනවා නම්, ඔබව විවිධාකාරයෙන් හිරිහැරයට ලක්කරනවා නම් එය ඉතා තදින් සලකා බැලිය යුත්තකි. එමගින් පෙන්නුම් කරන්නේ ඔබට පහසු ආකාරයෙන් එම ස්ථානයේ රාජකාරිය කරන්නට බැරි වීම පමණක් නොවෙයි. එයින් පැහැදිලි කරනවා ඔබ වැඩ කරන්නේ කොයිතරම් නම් නරක, භීතිකාවන්ගෙන් පෙළෙන පරිසරයකද කියලා. එය අනෙකුත් කාර්ය මණ්ඩලයට මෙන්ම ශිෂ්‍යයින් තුළද ඇතිකරන්නේ වැරදි හා අදුරු ප්‍රතිරූපයක්’ යනුවෙනි. බ්‍රිතාන්‍යය තුළ සමරිසිභාවය නීතිගත කර තිබියදීත් තවමත් සමරිසි පුද්ගලයින් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට හිරිහැර වීම සලකා බැලිය යුතු කරුණක් ලෙස ඔවුන් මෙම පර්යේෂණ දත්ත ඇසුරින් ප්‍රකාශ කර සිටී. මෙම පර්යේෂණයට අදහස් දැක්වූ සමහර ගුරුවරුන්ට අනුව ගුරු විවේක කාමර තුළදී අනෙකුත් ගුරුවරුන්ගෙන්ද, පාසලේ වෙනත් ස්ථානවලදී , පන්ති කාමරවලට ඇවිද යන මාර්ගයේදී සමහර ශිෂ්‍යයින් සැඟවී සිට විවිධ නම් පට බැඳිම් සිදුකිරීම් හා හා වෙනස්කොට සැලකීම්වලට ඔවුන් ලක්වන බවයි. මේ නිසා සමහර ගුරුවරුන් ගුරු වෘත්තිය හැරදා යමින් සිටින අතර තමත් අය සියදිවි නසාගැනීමට තරම් බරපතල මානසික ව්‍යාධි තත්ත්වයෙන් ජීවත්වන බවයි.

Credit: clipart.com

තවත් පාසල් ගුරුවරියකට අනුව ඇය මැක්ඩොනල්ඩ් අවන්හලේදී තමන් උගන්වන පාසලේම ශිෂ්‍යයින් අතින් විවිධ හිරිහැරවලට භාජනය වී තිබේ. ප්‍රසිද්ධ ස්ථානයක් තුළදී කෙනෙක් තවත් පුද්ගලයෙකුලේ ලිංගික අනන්‍යතාව සම්බන්ධ කරගනිමින් උසුළු විසුළු කරන්නේ හා අපහාස කරන්නේ කෙබඳු මානසිකත්වයකින් දැයි තමන්ට නොතේරෙන බව ඇය පවසයි. ඇය පවසන ආකාරයට දරුවන් තුළ කුඩා කාලයේ සිටම පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ දැනුම ඇති නොකිරීම මෙයට බලපාන ප්‍රධානතම හේතුව වී තිබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධව පවතින විවිධත්වය තේරුම් ගනිමින් එකිනෙකාට ගරුකරන සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය වර්තමානයේදී වඩාත් තදින් දැනෙන්නට පටන්ගෙන තිබේ. පර්යේෂණය සිදුකරන මහාචාර්යවරයාට අනුව පාසල තුළ ගුරුවරුන් මෙවැනි ආකාරයෙන් හිරිහැරයට, ශාරීරික හා මානසික බිඳවැටීමට ලක්වන්නේ නම්, පාසල් තුළ ඉගෙන ගනිමින් සිටින සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත දරුවන් සම්බන්ධ තත්ත්වය සිතා ගැනීමටත් අපහසු විය හැකිය. වෙනත් ලිංගික අනන්‍යතාවක් සම්බන්ධයෙන් ගරුකිරීමට ඉගෙන නැති ශිෂ්‍ය පරම්පරාව අනාගතයේදී සමාජය සමග ගනුදෙනු කිරීමේදී කෙසේ නම් හැසිරේද යන්න සිතාගත නොහැකිය.

2018 වර්ෂය ආරම්භයේදී බ්‍රිතාන්‍ය අගමැතිනී තේරේසා මේ පැවසූයේ “ සියලුම දරුවන්ට පාසල තුළ නිදහසේ හා සතුටින් යුතුව ජීවත්වීමේ අයිතිය පැවතිය යුතු බවයි. එහෙත් විවිධ සමාජ පසුබිම් වල සිට පැමිණෙන දරුවන් ඔවුන්ගේ දෙමව්පියන්ගේ හා සමාජයේ පවතින ආකල්ප සමග පාසලට පැමිණෙන හෙයින් ඒවා වෙනස්කිරීමට අපහසු බවයි. මෙයට පිළියම් වශයෙන් ඇය යෝජනා කරන්නේ විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව අතර සිටින දක්ෂ, නිර්මාණශීලී, ජනප්‍රිය චරිත ආදර්ශයට ගනිමින් ඔවුන් තම ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාව නිසා ඇතිවූ සමාජ පීඩනය නොතකා ඉහළට ගිය ආකාරය හා සමාජය තුළ තරු බවට පත් වූ ආකාරය පාසල් දරුවන්ට ඉගැන්විය යුතු බවයි. එමගින් පාසල් තුළ සිටින සමරිසියන් ඇතුළු වෙනත් ලිංගික අනන්‍යතා සහිත දරුවන් හා ගුරුවරුන් සම්බන්ධයෙන් පවතින වැරදි ආකල්ප වෙනස්කර ඔවුන්ට සතුටින් ඉගෙනගැනීමට හා උගැන්වීමට හැකි පරිසරයක් සකස් කළ හැකි වනු ඇති බවයි”

ශ්‍රී ලංකාවේද පසුගිය කාලය පුරාම විවිධ ලිංගික අනන්‍යතාවන්ගෙන් යුත් දරුවන් පාසල තුළ හිරිහැරයට හා අවමානයට පත්වීමේ උදාහරණ දක්නට ලැබුණි. බොහෝ දරුවන් පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම හා අධ්‍යාපනය අතරමග කඩාකප්පල් කරගනු දැකිය හැකි විය. සමහර දරුවන්ට අනුව පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සේම ගුරුවරුන්ගෙන්ද ඔවුන් විවිධ අපහාසන්ට හා හිරිහැරවලට භාජනය වී තිබේ. මෙම තත්ත්වය වඩාත් බලපාන්නේ සංක්‍රාන්ති සමාජභාවීය දරුවන්ට වන අතර, ඔවුන් ගේ බාහිර පෙනුම, හැසිරීම්, කතා විලාසය යනාදිය මත පදනම්ව විවිධ නම්පට බැඳීම හා පාසල තුළ ඉන් පිටතදී අඩත්තේට්ටම් සිදුකිරීම සම්බන්ධ සිදුවීම් වාර්තා විය. මේ සියලු වෙනස්කම් තුරන් කිරීමට නම් පාසල තුළ හා ඉන් පිටත සමාජය තුළදී දරුවන්ට ලිංගිකත්වය යනු කුමක්ද, විවිධ ලිංගික අනන්‍යතා යනු මොනවාද, සියලුම මිනිසුන් ගෞරවණීය ආකාරයෙන් ඉපදී ඇති නිසා ඔවුන්ට ගෞරවයෙන් ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බව ඉගැන්විය යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි