×

පැරිසියේ තට්ටු නිවසක සිංහ පැටියෙක්!

ප්‍රංශයේ පැරිස් අගනුවර තට්ටු නිවාසයක සිංහ පැටවෙක් සිටියදී හමුවිය.


ඒ සමගම එම නිවසේ හිමිකරු ලෙස සැලකෙන 30 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීම ද සිදුවිය.

පැරිස් පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා විසින් ගැහැණු සතෙකු වූ මෙම සිංහ පැටවාව, පවුම් 10,000කට විකිණමට උත්සාහ කරමින් සිටි බවයි.

ඇගේ වයස මාස හයක් පමණක් වන බව ද වාර්තා වේ.

පොලිසිය පරීක්ෂා කර බලන විට සිංහ පැටික්කිය සිටියේ ළමුන්ට වෙන් කර තිබූ ඇඳක ය. පොලිසිය පැමිණීමත් සමග බියට පත් වූ නිවසේ හිමිකරු, අසල්වැසි නිවසේ කාඩ්බෝඩ් පෙට්ටියක් තුළ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණි.

ඔහු මීට පෙර සොරකම සඳහා චෝදනා ලබා සිටි අයෙකි.

නිරෝගී තත්වයෙන් පසුවූ සිංහ පැටවා මේ වන විට වනජීවී බලධාරීන් වෙත භාරකර ඇත.

විශාල බිළාලයන් (big cats) ගෘහස්ථ සුරතලුන් ලෙස ඇතිදැඩි කිරීම නීතියෙන් දඬුවම් දිය හැකි වරදකි.

පැරිස් පොලිසිය මීට පෙර පසුගිය වසරේදී ද මෙවැනිම අත්දැකීමකට මුහුණ දී තිබේ.

එනම්, තවත් සිංහ පැටවෙක් පැරිසියේ තට්ටු නිවාසයක සඟවාගෙන සිටියදී පොලිසියට හමුවුණේ 2017 ය.

එම අවස්ථාව වන විට සත්වයා දුර්වල තත්වයක පසුවූ අතර, ඒ වන විට තට්ටු නිවාසය හිස්ව පැවති බව ද වාර්තා වේ.

පසුව 2017 අගෝස්තු මාසයේදී, එම සිංහ පැටවාව ගෙනැවිත් තිබූ දකුණු අප්‍රිකාව වෙතම යවා, එම කතාවට සතුටුදායක අවසානයක් ලබාදීමට පැරිස් නිලධාරීහු කටයුතු කළහ.

පසුව හෙළි වූ පරිදි, මේ සිංහ පැටවාව එහි රඳවාගෙන තබාගෙන තිබෙන්නේ සෙල්ෆි ගැනීම සඳහා ය!.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි