×

කුරුල්ලන්ට අහසේ පියාසර කරන්න ඉඩ දෙන්න! – ඉන්දීය අධිකරණය 2015 වසරේදී ලබාදුන් ඓතිහාසික තීන්දුව

‘‘පක්ෂීන්ට ද අභිමානයෙන් යුතුව ජීවත් වීම සඳහා මූලික අයිතිවාසිකමක් තිබේ‘‘ 2015 වසරේදී එසේ පැවසුවේ ඉන්දියාවේ දිල්ලි මහාධිකරණයයි.


“live with dignity” and fly in the sky without being kept in cages or subjected to cruelty,

‘‘අභිමානයෙන් යුතුව ජීවත් වීමටත්, කූඩුකර තැබීමෙන් හෝ කෘෘරකම්වලට ලක්වීමෙන් තොරව අහස පුරා පියාසර කිරීමටත් නිදහස තිබේ‘‘ යන මේ ඓතිහාසික තීන්දුව දිල්ලි මහාධිකරණය විසින් පසුගියදා ලබාදුන්නේ ඒ අනුව කුරුල්ලන් කූඩු කර තබමින් උන්ව වෙළඳාම් කිරීම උන්ගේ ‘අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව‘‘ට තීන්දු කරමිනි.

ඉන්දීය මහාධිකරණ විනිසුරු මන්මෝහන් සිං සිය තීන්දුවේදී තවදුරටත් පවසන්නේ එසේ කූඩුකර තබාගන්නා පක්ෂීන් නීතිවිරෝධී ලෙස විදෙස් රටවලට යවන බවත්, උන්ට ආහාර හෝ ඖෂධ පවා නිසි ලෙස ලබා නොදෙන බවත් ය.

ම්ඩ් මොහසිම් නමැති පක්ෂි වෙළෙන්දෙකුට එරෙහිව NGO People for Animals නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් මීට පෙර නඩුවක් පවරා තිබූ අතර, එහිදී ලැබුණු තීන්දුව ප්‍රකාරව එම පක්ෂීන් නිදහස් කිරීමට කටයුතු කර තිබිණි. එවිට මොහාසිම් නමැති එම පක්ෂි වෙළෙන්දා අධිකරණය හමුවට ගොස් තිබුණේ එසේ නිදහස් කිරීම නීතිවිරෝධී බව පවසමිනි.

විනිසුරු මන්මෝහන් සිං මෙසේ ද පැවසීය.

‘‘සියලු කුරුල්ලන්ට අහසේ පියාසර කිරීමට මූලික අයිතිවාසිකමක් තිබෙන බව පැහැදිලියි. ඒ වගේම කිසිම මනුෂ්‍යෙයකුට ඔවුන්ව වෙළඳාම හෝ වෙනත් කාර්යයක් සඳහා කූඩුවල තබාගැනීමට කිසිදු අයිතියක් නැහැ“

ඉන්දීය විනිසුරු මන්මෝහන් සිං, ඉන්දියාවේ සිටින ප්‍රකට නීති විශාරදයෙකි. ඔහු මේ වන විට මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් විශ්‍රාම ගොස් සිටියි.

පේටන්ට් නීතිය සහ බුද්ධිමය දේපළ නීතිය පිළිබඳ හසළ විශාරදයෙකු වූ විනිසුරු මන් මෝහන් සිං මේ තීන්දුව ලබාදෙන්නේ 2015 වසරේදී ය.

මෙම තීන්දුවෙන් පසු ඉන්දියාවේ කුරුළු වෙළඳාම නතර වුණේ නැත. අද වන විටද පෙටා වැනි සංවිධාන මේ සංවිධානාත්මක ජාවාරමට එරෙහිව විශාල වැඩ කොටසක් කරමින් සිටියි. නමුත් විශ්‍රාමලත් විනිසුරු මන් මෝහන් සිං විසින් එදා ලබාදුන් අධිකරණමය ආදර්ශය ඔවුන්ගේ අරගලය සඳහා සවියකි.

එසේම ඉන්දියාවේ දිල්ලි මහාධිකරණය සහ සමස්තයක් ලෙස ගත් විට ඉන්දියාවේ අධිකරණ පද්ධතිය, පාලකයන්ගේ චින්තනයෙන් ඔබ්බට ගොස් අතිශය ප්‍රගතිශීලී නීති නිර්මාණය කරන ආයතනයක් වශයෙන් දිගින් දිගටම සිය ස්ථාවරත්වය තහවුරු කර ගත්තේය.

අවසානයේ 2018 දෙසැම්බරයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සමරිසි හැසිරීම් සාපරාධී නොවන බව ට ඓතිහාසික තීන්දුව ලබාදෙන්නේ ද මේ අධිකරණමය නිදහස, පොදු ජන නිදහස සමග සමපාත කරමිනි. මෙයට අතීතාදර්ශ සපයා තිබුණේ ද දිල්ලි මහාධිකරණය විසින්ම වීම විශේෂත්වයකි. ඒ, සුප්‍රසිද්ධ නෑෂ් ෆවුන්ඩේෂන් නඩු සමූහය හරහා ය.

කෙසේ නමුත් අවසාන විග්‍රහයේදී ඉන්දියාව, පක්ෂීන්ට පවා ජීවත් වීම සඳහා මූලික අයිතිවාසිකමක් ඇති රටක් බවට පත්විය. සැබවින්ම සමරිසි හැසිරීම් සාපරාධී නොවන බව තීන්දු කිරීම හරහා අවසානයේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කළේ, ‘‘පක්ෂීන්ට නිදහසේ අහස පුරා පියාසර කළ හැකි බව‘‘ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් නීතිගත කිරීම යැයි ද යමෙකුට කිව හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි