×

ඈ මගේ පෙම්වතා…!

එ් නිහඬ ප්‍රේමයකි-දළුලන හද වසාලූ-එකිනෙකා සුසුමින්-සිපගත් -දෙනෙතින් පවසමින් ගල් ගැසී උන් ආදරේ


හැළහැප්පීම් දහසකුත් මැද ජීවිතය ගෙවා දමමින් සිටියෙමි. අහිමි වීම්ද හිමිවීම්ද විසින් උරුම කළ ජීවිතය අවබෝධ කර ගනිමින් සිටියෙමි. නොගැළපීම් ගැළපීම් මැද සිත සතුටද දුකද දරා ගනිමින් සිටියෙමි.

දවසක් හිටි හැටියේම ඇය මට හමු විය.

මට මතක විදියට ඒ හමුවීමෙන් පසු දිනපතාම පාහේ අප හමුවුවද දවස් ගණනාවක් ගෙවෙන තුරු මා ඈ නෙත් දෙස නොබලා සිටියෙමි. හේතුව කුමක්ද?

සිහිල් වලාකුළු කන්දක්
ගත සීතලට හරවමින් උන් කල්පයක්
ඈ මදෙස බලමින්
නැහැ
ඈ දෙනෙත් මා දෙස බලමින්
මම දිය වෙමින් උන්නෙමි…

දිනපතා ඇයද මමද හමුවූයේ අප දෙදෙනාටම සේවය කරන්නට සිදුවූයේ එකම ස්ථානයක බැවිනි . තේ පානයේදී ද දහවල් ආහාරයේදී ද උදෑසන පැවති රැස්වීම් වලදී ද අප හමුවී මොනවා කතා කරන්නට ඇත්දැයි මට අමතකය… වැරදීමකින් හෝ මම ඒ නෙත් දෙස නොබැලීමි.

ඈ… ගැඹුරුය‍
නිශ්චලය
ඒ ගැඹුරු මුහුදය.
අසලින් ඒ මෙහේ යන විට‍
සුසුම් මා වතෙහි දැවටෙනු
දැනී නොදැනී
මම ගල් ගැසෙමි

” රහසින් ආදරෙන් ජීවිතය බෙදා ගන්නට සපථ වී උන් නමුත් මහ මග හිටි හැටියේ මම ඈ සිප ගතිමි… අතින් අල්ලා දොඩමළු වූවෙමි… බදා වැළඳ ගතිමි.. සුසුමද සිනහවද හුවමාරු කර ගතිමි…. නිවුනෙමි…. තර්ජන-සිත් රිදුම්-කඳුළු නැති සුමට ආදරයක් මත සීරුවෙන් දිග ගමනක් යමින් ..මම ආදරය කරමි. ”

නිතර අසනීප වන සිත මෙන්ම ගතද වෙහෙස වී කිසිවක් නොකොට ඔහේ බලා සිටින මා අසලට ඇය පැමිණෙයි … බෙහෙත් හේත් දෙමින් වෙහෙ‍ෙසමින් මා සුවපත් කළාය ඈ

ඇයි මේ
නොඅසාම මම ඈට ඉඩ දුනිමි …
නිවුණෙමි … අලුත් වැස්සක්
වහින හැඩ මට දැනෙයි
සීරුවෙන් මග බලමි
ඈ නොආ දවසට
කලබලව සෙවූයෙමි

සති අන්තයේ නිවාඩුවට ගෙදර යාම මගේ පුරුද්ද විය . හවස් වන තුරු සේවය කර හවස් ජාමයේ ගෙදර යද්දිත් පසුදා උදෑසන ගෙදරින් එද්දිත් මට දැන් අලුත් ආරම්මණයකි. ඈ මා එන තෙක් මග බලා ඉනු ඇතැයි…

මම නිවෙමි
මග බලන ඈ සොයමි

එ් නිහඬ ප්‍රේමයකි
දළුලන හද වසාලූ
එකිනෙකා සුසුමින්
සිපගත්
දෙනෙතින්
පවසමින්
ගල් ගැසී උන් ආදරේ

ඈ මා වෙත පැමිණ …. ඈ මට ආදරෙන් බැදුණ බව නොකියාම මොන මොනවදෝ අසන විට ..
හදින් නිවු‍ණෙමි

පටන් ගන්නට මත්තෙන් එතැන් සිට අපේ ආදර කථාව … දෙනෙත් ඇර බලන විට ලෝකය දෙස …, උන් සිටියේ ගල් මුල් අමෝරාගෙන ය.. මේ ගැහැණු පිරිමි එකිනෙකාට පමණක් ආදරය කළ යුතු යැයි සිතන ලෝකයකි..

රහසින් ආදරෙන් ජීවිතය බෙදා ගන්නට සපථ වී උන් නමුත් මහ මග හිටි හැටියේ මම ඈ සිප ගතිමි… අතින් අල්ලා දොඩමළු වූවෙමි… බදා වැළඳ ගතිමි.. සුසුමද සිනහවද හුවමාරු කර ගතිමි.

නිවුනෙමි.

තර්ජන-සිත් රිදුම්-කඳුළු නැති සුමට ආදරයක් මත සීරුවෙන් දිග ගමනක් යමින් ..මම ආදරය කරමි.

ඔව්… ඈ මගේ පෙම්වතා…!

රීඩර්ස් ඩයිජස්ට් ඇසුරෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි