×

ඔහු මගේ හොඳම මිතුරාය…

මම තවත් වසරක් මුලුල්ලේ මගේ සිතිවිලි සැඟවීමි. ඔහු ව ගණන් නොගන්නා බවක් ඇඟවීමි. ඔහු මා හමුවීම අඩු කළේය. අවසානයේ වෙනත් කෙල්ලක සමග හාද විය.


මගේ පළමු ආදරය මා වෙත යම්කිසි මැජික් බලයකින් පැමිණෙනු ඇත යන්න මගේ ළමා කල සිහිනයක් විය. එසේම මගේ සිහින කුමරා කෙසේ විය යුතු යැයි ද මසිතෙහි චිත්‍රයක් ඇඳී තිබිණි. එයට අනුව ඔහු මට වඩා උස, කඩවසම්, සරාගී නමුත් බැරෑරුම් පෙනුමැති, අති දක්ෂ සහ සිත නොරිදා කවට බස් තෙපළන්නෙක් විය යුතු ය. පරිපූර්ණ අයෙක් විය යුතු  ය. අන් කෙල්ලන්ව කිසිසේත්ම ගණන් නොගන්නා අයෙකු විය යුතු ය.
ඔහු මට වඩා වසර පහක් වැඩිමල් වූ අතර මම  ඔහුට වඩා අඟල් පහක් මිටි වූයෙමි. ඔහුට තිබුණේ, වයස දහනවයක ගැටවරයෙකු ට තිබිය යුතු ආකාරයේ ගැඹුරු කටහඬක් සමග කුඩා කැහැටු සිරුරකි. එය කිසිසේත්ම, ලස්සන කෙල්ලක බලාපොරොත්තු වන ආකාරයේ කඩවසම් රූපයක් නොවේ.
අපි වෙරළේදී හමුවීමු. අප දෙදෙනාගේම සුහද මිතුරෙකු අපව එකිනෙකාට හඳුන්වා දුන්නේය. ඔහු වදයක් වන තරමට කවට බස් කියන්නෙකි. සීමාව යාන්තමින් රැක ගනිමින් විහිලු කරන්නෙකි. කෙසේ නමුත් එදා අපේ හමුව අවසන් වූයේ මා සහ මගේ මිතුරිය නිවෙස් වෙත ඇරළවීමට එකඟ වෙමිනි.
ඔහු සිය මෝටර් රථය අප වෙත ගෙන ආවේ එය ට පිටුපසින් තල්ලුවක් දමමිනි. මම ඇස් ගුලි  කරමින් බලා සිටියෙමි. තිරිංග කබල් තත්වයේ පැවති අතර දොර කැඩී තිබිණි. රියැදුරු අසුනේ ඔහු වාඞ්ගත්තේ දුරකථන අංක ලියූ පොතක් මත ය. එය දැක මට මහ හඬින් සිහන නැගෙන්නට ආ විට ඔහු කිසි ගානක් නැතිව එය ඩෑෂ් බෝඩය මතට විසිකර දැමුවේ සුපුරුදු විහිලු කතාව ඉදිරියට ගෙන යමිනි.  කෙසේ නමුත් අපි ඉක්මනින් මිතුරු වීමු. ඔහු ඒ වසරේ පැවති හැලොවින් උත්සවයට මා කැටුව ගියේය. ඒ ඔහුගේ පෙම්වතිය ලෙස ය.
තවත් විහිලුවක්… කෙසේ නමුත් එදින රාත්‍රිය පුරාම ඔහු මගේ රැකවලා මෙන් මා අසලට ම වී සිටියේය. ඔහු හුදෙක් මිතුරෙක් පමණක් නොවේ යැයි එම රාත්‍රියේදී මම වටහාගතිමි. සිරගෙදරින් පැන ආ හොල්මනකගේ විකට ඇඳුමින් සැරසී ඔහු නිර්මාණශීලී හැලොවින් ඇඳුම සඳහා තෑග්ග ද දිනාගත්තේය. ඔහු සිය නිර්මාණශීලී මෝඩ වැඩ හරහා මගේ හදවත සොරකම් කරමින් සිටියේය. ඇත්තෙන්ම වැඞ්කලක් ගත වන්නට මත්තෙන් මම මේ සුන්දර මිත්‍රයා සමග ආදරයෙන් බැඳී ගියෙමි.
දැන් මා ඔහුට මේ බව කිව යුතු ද? අපොයි නැත.. මම ආඩම්බරකාරියක්මි. ඊටත් නොදෙවෙනි මුරණ්ඩුකාරියක්මි. ආදරය කියා පෑම කෙල්ලන් වන අප විසින් කරනා වරදකාරී පාපොච්චාරණයකි. භයානක වරදකි. නමුත් මෙය වෙනස් ය. මෙවර වරදක් වන්නට ඉඩක් නැත. අප දැන් මිතුරන් වී වසරකි. එකිනෙකාගේ සිත් ගැන අපට අවබෝධයක් ඇත. ඔහු මට කැමති බව මම දැනගෙන සිටියෙමි. ඒ බව ඔහු කිහිප වතාවක් මට කියා තිබේ. මම ව්‍යාකූල වීමි. අසිරිමත් මිතුදමක් අහිමිකර ගැනීම ට මට අවැසි නැත.
මම තවත් වසරක් මුලුල්ලේ මගේ සිතිවිලි සැඟවීමි. ඔහු ව ගණන් නොගන්නා බවක් ඇඟවීමි. ඔහු මා හමුවීම අඩු කළේය. අවසානයේ වෙනත් කෙල්ලක සමග හාද විය. අපි දෙපසකට වීමු. වෙනත් පෙම්වතුන් මගේ ජීවිතයට පැමිණීමට උත්සාහ කළ ද එයින් එකක්වත් සාර්ථක වූයේ නැත. මම ඇතුළතින් දැවෙමින් සිටියෙමි. සිතිවිලි සියල්ල සඟවා ගතිමි.
එක දිනයක ඔහු නැවතත් මගේ දෑස් නිලංකාර කළේය. එය ඔහු සිය පෙම්වතියගෙන් වෙන්වූ දිනයයි. ඔහු කෙළින්ම මා සොයා ආවේය. මා සමග කතා කරන්නට උවමනා යැයි කීවේය. “ඔයා කැමති නම් විතරක්…” යැයි ද කීවේය.
අපි කතා කළෙමු. පැය ගණනක් කතා කළෙමු. අප ගැන හැර අන් සෑම දෙයක්ම ගැන… අවසානයේ අපගේ කතාබහට නිහඬතාවයෙන් බාධා සිදුවිය. මම ඔහේ බලා සිටියෙමි. ඔහු සිටියේ මගේ දෑස ට එබීගත්වනම ය. මා ඔහුට කොතරම් ප්‍රේම කළාද යන්නත් එය පැවසීමට මා කෙතරම් බියවීද යන්නත් මම ඔහුට එදා කීවෙමි. ඔහු සිනාසුණේය. මගේ මෝඩකමට තරවටු කළේය. කවට බස් සහ පලක් නැති ආල බස් මැද ගෙවීගිය වසර එකහමාරක පසු අපි සැබෑ ලෙසම පෙම්වතුන් වීමු. මගේ සිහිනයේ කුමරා ද මා පැතූ ඉන්ද්‍රජාලික පෙම්වතා ද මට හමුව තිබිණි. ඔහු මට ආදරය කරන සැටි ද ජීවිතය ද ඉගැන්වීය. අපි අරුමැසි සබඳතාවක් ගෙන ගියෙමු.
සෑම පෙමක ම වියැකී යන ස්වභාවයක් තිබේ යැයි කියමනක් තිබේ. අපට ද එය එසේ විය. කල් යත්ම අපගේ ප්‍රේමයේ උනුසුම අඩු වී ඇතැයි අප දෙදෙනාට ම සිතිණි. ඔහුගේ දෑස්වල තවදුරටත් ආදරය නොවීය. හාදු වෙනස් ව හැඟිණි. අවසන අපි සුහද ව වෙන් වුණෙමු.
අප ඈත්වූවා යැයි මම නොකියමි. අපේ මිතුරුදම තවදුරටත් ශක්තිමත් ව වැඩිණි. මගේ ජීවිතයේ මා ඉල්ලීමක් කළ හැම විටෙකම ඔහු මා අසල සිටියේය. “අපි ඕක කිව්වා… කවදාවත් හොඳම යාලුව එක්ක ආදරයෙන් බැඳෙන්න එපා..” යැයි මිතුරියෝ මට දොස් පැවරූහ. නමුත් සත්‍යය නම්, ඔහු තවමත් මගේ හොඳම මිතුරා ය. නමුත් පුදුම සහගත දෙය එය නොවේ. එයින් තුන් වසරකට පසුවත්-අදටත් අප හොඳම මිතුරන් වීමයි. මේ වන විට ඉන්ද්‍රජාල පෙම්වතා පිළිබඳ මගේ සිහිනය බොඳවී ගොස් තිබේ. මම තවත් එවැන්නෙකු නොසොයමි. පරිපූර්ණ පෙම්වතුන් ඇතැයි විශ්වාස ද නොකරමි. නමුත් මා විශ්වාස කරන එක් දෙයක් තිබේ. එනම්, ගුප්ත සහ සුන්දර ආදරයක් සිතේ කොණක හෝ තවමත් සැඟවී තිබිය හැකි බවයි.
– රෙබෙකා වුල්ෆ් ගේ අත්දැකීමකි.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි