×

මතකය මරා දැමිය හැකිය. එහෙත් ආදරය මරාදැමිය නොහැක

ඒ සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන පිළිතුරු දීමට ඇය කොහෙන් පුරුදු වුනාද මම දන්නෙ නෑ


ඇඩම් සහ රේචල් යුවළ වසර පහක් තිස්සේ එකිනෙකාට ආදරයෙන්  ගතකළ අතර දරුවන්ද හොින් බලාගනිමින් ජීවත් වූ ආදර්ශවත් පවුලක් විය. එහෙත් එක් දිනයකදී මේ සියල්ල කණ පිට පෙරළුනේ උදෑසන අවදිවූ ඇඩම්ට රේචල් යනු කවුරුන්ද යන්න හුනාගත නොහැකිවීමත් සමගයි.  ඇය සමග විවාහ වී සිටි බව ප්‍රතික්ෂේප කළ ඇඩම් රේචල්ගේ  වගකීම් සහගත භාර්යා ධූරය එක් දිනකින් සුනු විසුණු කර දැමුවේය. එහෙත් රේචල් ඉටාගත්තේ මම ඔබව කෙසේ හෝ යළිත් දිනාගන්නා බවයි.  මේ රේචල් හා ඇඩම්ගේ මතකයන් අමතකවීමේ කතාවයි.

සැප්තැම්බර් මාසයේ එක් උදෑසනක මුළුතැන්ගෙයි වැඩකරමින් සිටි මම මගේ සැමියා අවදිවී ඇත්දැයි බැලීමට නිදන කාමරයට ගියෙමි. ඔහු එහි නොසිටි අතර විසිත්ත කාමරයේ පුටුවකට වී බලාගත් අතේ බලාගෙන ඔහු සිටිනු දුටුවෙමි.  මම ඔහුගේ නම කියා ඇමතුවෙමි. එහෙත් ඔහු විස්ම ජනක ඇස්වලින් හා ප්‍රශ්නාර්ථ සහිත ඉරියව්වෙන් මා දෙස බලා සිටියේය.

ඔබ දන්නවාද ඔබ ඉන්නෙ කොහේද කියලා? ඔබ දන්නවාද මේ වසර මොකක්ද කියලා? ඔබ දන්නවාද මගේ නම මොකක්ද කියලා?  ” ඒ සියල්ලට ඔහු පැවසූයේ “මම දන්නෙ නෑ” යන්න පමණයි.  මම ඔහුගෙන් ප්‍රශ්න පිට ප්‍රශ්න ඇසූවෙමි. අපේ ජීවිතය ගැන, අපේ දරුවන් ගැන, අපේ රසබර මතකයන් ගැන… එහෙත් ඒ කිසිවක් ඔහු දැන සිටියේ නැත. මේ ඔබගේ ගෙදර, මම ඔබගේ භාර්යාව, අපිට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා පවසනවාත් සමගම ඔහු හැඞීමට පටන්ගත්තේය. මම ඉක්මනින්ම ඔහුව රෝහලට රැගෙන ගියා. මම හිතුවා ඔහුගේ මොළයේ රුධිර සංසරණයේ යම් වෙනසක් හෝ නහර පිපිරීමක් හෝ වෙලා ඇති කියලා.

රෝහලට යාමට සූදානම් වෙත්දී ඇඩම් රේචල්ගෙන් අසා සිටියේ ඔහුගේ ටයි පටි හා කබාය කොහේද යන්නයි. ඔහු කබා පළඳින්නෙක් නොව බවත් රැකියාව වශයෙන් ශාරීරික චිකිත්සක කෙනෙකු ලෙස වැඩකළ බවත් තේරුම් කර දීමට රේචල් බොහෝ වෙලාවක් ගතවිය. එහෙත් ඇඩම්ට මීට පෙර අවස්ථාවකදීද මේ ආකාරයෙන්ම මතකය නැතිවී යාමේ සිදුවීමක් වී ඇති බව රේචල් දැන සිටියාය. ඒ එක් කාන්තාවක්  විසින් ඔහුව මරා දමන්නට තැත් කළ අවස්ථාවකදීය. ඒ නිසාම ඇය බොහෝ ඉවසිලිවන්ත වූනා පමණක් නොව මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් පසුවූවාය.  2011 වර්ෂයේදී ඔහුගේ පළමු විවාහය අසාර්ථක වූ පසු  මහා විනාශයකින් අවසන් වූ තවත් සම්බන්ධයක් ඔහු ආරම්භ කළේය. එය අවසන් වූයේ එම කාන්තාව විසින් යකඩ පොල්ලකින් ඔහුට පහර දී,  ඔහු ඇද වැටුණු පසු කණුවකට හේත්තුකර බැඳ දමා මිය යාමට ඉඩ හැරීමෙනි. වාසනාවකට ඔහු යමෙකුගේ ඇස ගැටුන අතර රෝහලට ගෙන එනවිට කිහිප වතාවක්ම ඔහුගේ හෘද ස්පන්දනය නතරවී තිබුණි. මාස හතරක් පුරා ඔහු සිටියේ කෝමා තත්ත්වයෙනි. මේ පිළිබඳව ඇඩම් පවසන්නේ මෙවැන්නකි.

“මට සිහිය එනවිට මම කවුද කියලා දැනගෙන හිටියේ නැහැ. මම විවාහකව සිට පසුව දික්කසාද වී දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බව දැන සිටියේ නැහැ. ”

ඇඩම්ට වසරක් පුරා රෝහලේ  සිට ඇවිදීම, කතා කිරීම යනාදිය නැවත ප්‍රගුණ කිරීමට සිදුවූ අතර ඔහුගේ පෙර මතකය නැවත පැමිණියේ නැත.  මාසයක පමණ කාලයකට පසුව ඇඩම්ට ඔහුගේ දරුවන් දෙදෙනා  හඳුන්වා දුන් පසු ඔහු  පවසන්නේ අමුතු හැඟීමක් ඇති වූ බවයි. එමෙන්ම තමන්ගේ ලේ වලින්ම ජාතක වූ දරුවන් අමතක වූයේ කෙසේද යන්න පිළිබඳ කණස්සළු සහගත හැගීමක් ඇති වූ බවයි.  ඔහු නිවසට පැමිණි පසු ඔහු ලැබූ ජයග්‍රහණ, කුසලාන, ඡායාරූප යනාදියෙන් නිවස පිරී තිබුණ නමුත් ඒ කිසිවක් එහුගේ මතකයේ තිබුනේ නැත. ඔහුට පෙර කළ රැකියාව කිරීමට මතකයක් නොතිබූ අතර, කුමන පාසලට ගියේද, කුමන විශ්වවිද්‍යාලයට ගියේද යන්න මතකයේ තිබුණේ නැත. සරලවම පැවසුවහොත් ඔහුට ඔහුගේ ජීවන විලාසය පවා අමතකව ගොස් තිබුණි. ඔහු ගමන් ජීවත්වන ප්‍රදේශය අතහැර ගොස් වෙනත් ප්‍රදේශයක රැකියාවක් සොයාගෙන ජීවත්වන අවධියේදී රේචල් හමුවිය. 2012 වර්ෂයේදී ඔවුන් දෙදෙනා හමුවූ අතර  සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ ඔවුන් තුළ ඇති වූ මිතුදම කෙමෙන් කෙමෙන් ආදර සම්බන්ධතාවක් බවට පරිවර්තනය විය. එකිනෙකා දැන හඳුනාගැනීම, එකිනෙකාව තේරුම් ගැනීම හා එකිනෙකා තුළ විශ්වාසයක් ගොඩනගා ගැනීම සම්බන්ධතාවයක අත්‍යවශ්‍යම කාරණාව බව තේරුම් ගත් මේ  යුවළ වසර තුනක් තිස්සේ එකිනෙකා පිළිබඳ අධ්‍යයනය කළහ. ඔහුගේ කඩවසම්භාවය, කතාකරන ඇස්, කතා කරනවිට වළ ගැසෙන ඇයගේ කම්මුල්, දිලිසෙන ඇස් මේ සියල්ල ඔවුනොවුන් තව තවත් එකිනෙකාව සමීප කළේය. අවසානයේ 2015 වර්ෂ‍යේදී ඔවුන විවාහ වන අතර ඇඩම්ගේ පෙර විවාහයේ දරුවන් දෙදෙනාට මවක වීමට තරම් රේචල් කාරුණික වූවාය.  වසර දෙකක පමණ ඔවුන්ගේ පවුල් ජීවිතයට කණකොකා හැඞුවේ ඉහතින් සඳහන් කළ ආකාරයට නැවත වතාවක් ඇඩම්ගේ මතකය අහිමිවීමත් සමගය. රෝහලේ  විවිධාකාර පර්යේෂණ හා සැත්කම්වලින් හෙම්බත්ව සිටි ඇඩම් එකම එක තැනැත්තියක් විශ්වාස කළාය. ඒ ඔහුගේ මවයි.  ඔහු මවගෙන් අසා සිටියේ ඇත්තටම මේ ගැහැණු මනුස්සයාව මම කසාද බැදලා හිටියාද යන්නයි. ඔහුගේ මව පිළිතුරු දෙමින් පැවසූවේ ඔව් ඇය ඔබව කසාද බැන්දා. ඇය ඔබට බොහෝ සෙයින් ආදරය කළා. ඔබ දෙදෙනාගේ විවාහයට මම ආශිර්වාද කළා යනුවෙනි.

“ මම ටිකෙන් ටික ඇයව විශ්වාස කිරීමට පටන්ගත්තා. ඇයගෙන් විවිධ ප්‍රශ්න අසමින්, ඇයව විඩාවට පත්කරමින් හැසිරුණා. ඒත් ඒ සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන පිළිතුරු දීමට ඇය කොහෙන් පුරුදු වුනාද මම දන්නෙ නෑ. සමහර දේවල් සම්බන්ධ ඡායාමාත්‍රයන් මට දැනෙන්නට පටන්ගත්තා. මේ අපූරු ගැහැණිය, මේ ඉවසිලිවන්ත ගැහැණිය සම්බන්ධ ඇල්මක්, මට දැනෙන්නට ගත්තා” යනුවෙන් ඇඩම් පවසන්නේය. ඔවුන් නැවත වතාවක් එකිනෙකාව හඳුනාගැනීමේ හා එකිනෙකා තේරුම්ගැනීමේ කාර්යයට අත ගැසුවේය. ඔවුන් විසින් ගතකළ සුන්දර ජීවිතයේ මතක සටහන් රේචල්ගේ ජංගද දුරකථනයේ ඡායාරූප වශයෙන් සටහන්ව තිබිණි. ඇය ඒවා ඔහුට පෙන්වුවාය.  මහපාරවල්වල ඇවිදිමින්, කෝපි ශාලාවල කෝපි බොමින් ඔවුහු කාලය ගත කළහ. ඔවුන්ගේ විවාහ සහතිකය ඇයගේ අත් බෑගයේ තිබුණි. ඇඩම්ගේ වාසගමට තමන්ගේ නම ඈදාගැනීමේ ලිපි ලේඛනද ඇයගේ අත් බෑගයේ තිබී හමුවිය. මේ සියල්ල ඇඩම් තුළ රේචල් සම්බන්ධයෙන් විශ්වාසය ඇතිකිරීමට හේතුවූ අතර එහෙත් ඇය පිළිබඳ ආදරයක් ඇතිකිරීමට අපොහොසත් විය.

“සමාවෙන්න. මට ඔබ සම්බන්ධ හැඟීමක් ඇතිවන්නේ නැහැ”. ඇඩම් පැවසුවේය.

“කමක් නැහැ. ඒ ඔබගේ කැමැත්ත. මම ඔබට බාධා කරන්නේ නෑ. ඔබ තවමත් ඔබේ දරුවන් විශ්වාස කරනවානම් අපිත් සමග ගෙදර යන්න එන්න.” ඇය පැවසුවාය. 

වසරක් පමණ රෝහලේ ගත කළ ඇඩම් ඇයත් සමග නිවෙසට ගියේය. රේචල් පවසන ආකාරයට ඇයගේ නොවන එහෙත් තමන්ගේ වන දරුවන්ට ඇය සලකන ආකාරය, ගේ දොර කටයුතු බුහුටි ආකාරයෙන් සිදුකරන ආකාරය සියල්ල ඔහු පරිස්සමෙන් බලා සිටියේය.  තමන් කවුරුන්ද යන්නවත් නොදන්නා මිනිසසෙකුට ආකරය කිරීම කොතරම් අපහසු වුවත් රේචල් ඔහු වෙනුවෙන්ම පාරමී පිරුවාය. හොඳින් ආහාර පිසගැනීමට හැකියාව තිබූ ඇඩම්ට ආහාර පිළියෙල කරගන්නා ආකාරය ඉගැන්වුවාය. කාලය දින, සති, මාස ගණන් ගෙවී යමින් තිබුණි. රේචල්ගේ හා දරුවන්ගේ පිළිගැනීම හා සත්කාරය නොමඳව භුක්ති විඳි ඇඩම්ට ඔවුන්ට ආදරය කිරීමට, ඔවුන්ට ළංවීමට අපහසු විය. එහෙත්, රෝහලෙන් පැමිණ මාස තුනකට පසුව එක් දෙසැම්බර් මාසයක උදෑසනක පුරුදු ළෙන්ගතු කටහඩින් ඇඩම් තමාව අමතනු රේචල්ට ඇසුණි.

“ඔබ දන්නවාද මම කවුද කියලා?” රේචල් ඇසුවාය.

“දෙවියනේ මේ මොනවද අහන්නේ? ඔයා මගේ ආදරණීය රේචල්නෙ”.

“අනේ ඒ ගැන ඔයාට කියන්න ගොඩාක් දේවල් තියෙනවා”. ඇය පැවසුවාය.

මතකය මරා දැමිය හැකිය. එහෙත් ආදරය මරාදැමිය නොහැක. රේචල්ගේ අපමණ කැපකිරීම හා ආදරණීය පරිත්‍යාගය අපට කියාදෙන සත්‍යය එයයි.

තුෂාර මනෝජ්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි