×

ලූලාට බෑ! – බ්‍රසීල අධිකරණය ලූලාගේ ජනපති සිහිනයට තිත තබයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ ජනතාවට තමන් කැමති නායකයෙක් තෝරාපත් කරගැනීමට ඇති අයිතියයි.


සිරගත ව සිටියදී මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාම යෝජනා භාරදුන් බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ඩි සිල්වා හට ඒ සඳහා ඉදිරිපත් වීම තහනම් කරමින් මැතිවරණ කටයුතු පිළිබඳ රටේ ඉහළම අධිකරණය අද (සැප්.01) තීන්දුව ලබාදුන්නේය.

එසේම මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සඳහා පෙනීසිටීම ද අධිකරණය විසින් ඔහුට තහනම් කරන ලදී.

දූෂණ සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට වරදකරු වී වසර 12 ක කාලයක් සඳහා සිරගත ව සිටියද බ්‍රසීලය තුළ හිටපු ජනපති ලූලා අතිශය ජනප්‍රිය ය. ඔහුගේ නාමයෝජනාව ද මැතිවරණ කොමිසම විසින් භාරගෙන තිබූ අතර, බොහෝ විචාරකයන් පවසා තිබුණේ ඔහු නිසක වශයෙන්ම ජයගනු ඇති බවයි.

ඉනාෂියෝ ලූලා ඩි සිල්වා, බ්‍රසීලයේ ජනපති පදවිය දෙවරක් හෙබවූ වාමාංශික නායකයෙකි.

ඡන්දාධිකරණය විසින් ලබාදුන් මෙම තීන්දුව, ලූලාගේ ප්‍රතිපාක්ෂිකයා වූ දක්ෂිණාංශික අපේක්ෂක ජයර් බොල්සොනාරෝ (Jair Bolsonaro) හට අතිශය වාසිදායක වනු ඇතැයි පැවසේ.

ලුලාගේ නීතීඥවරුන් පවසන්නේ මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කිරීමට තමන් සූදානම් බව ය.

බ්‍රසීලයේ මීළඟ ජනාධිපතිවරණය ලබන මාසයේ, එනම් ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත ය.

ජගත් මානව හිමිකම් කොමිසමට පයින් ගැසීමක්!

මෙම නඩු තීන්දුව ලබාදුන් විනිසුරු ලුයිස් බරාස්සෝ (Luís Barroso) ගේ ප්‍රකාශය ඓතිහාසික ය. ‘‘මට මෙය කරන්නට කිසිදා අවශ්‍ය වුණේ නැහැ. නමුත් මේ තීන්දුව ප්‍රකාශ කළ යුතුව තිබෙන්නේ මා විසින් නම් ඒ දෛවය මට වළක්වාගත නොහැකියි..“

සත් දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලේ බහුතරය බරාස්සෝගේ තීන්දුවට එකඟ වූහ. ඔවුන් එහිදී තර්ක කර සිටියේ එක්සත් ජාතීන්ගේ නිර්දේශවලට ‘The clean slate law‘ ඉක්මවා යා නොහැකි බවයි. බ්‍රසීල නීතිය අනුව බරපතළ අපරාධ, දූෂණ හෝ විශ්වාසභංගයට ලක් වූ නායකයෙකු හට නැවත වරක් ජනාධිපති අපේක්ෂකයෙකු වීමට නොහැකි ය. මෙම නීතිය හඳුන්වා දුන්නේ ද ලූලා විසින්ම සිය 2 වන ජනපති ධුර කාලය තුළ 2010 වසරේදී වීම දෛවයේ සරදමකි.

මෙම තීන්දුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලූලාගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් අගෝස්තු මාසයේ කළ නිර්දේශයට සපුරා පටහැණි ය. එහිදී ජගත් සංවිධානය පවසා තිබුණේ ‘‘ලූලාගේ අයිතිය සුරැකීම සඳහා ලබන වසරේදී ඔවුන් විසින් නඩුවක් පැවරීමට සූදානම් වන බව‘‘ ය.

ලුලාට පළමු වටයේදී අති දැවැන්ත ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි අනාවැකි පළවී තිබිණි. | Pressenza

ලුලාට පළමු වටයේදී අති දැවැන්ත ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි අනාවැකි පළවී තිබිණි. | Pressenza

මේ අනුව මෙහිදී සිදුවන්නේ දේශීය නීතිය සහ අන්තර්ජාතික නීතිය අතර ගැටුමකි. මෙම ගැටුමේ ප්‍රතිඵලය කුමක් වේදැයි කීමට තවම කල් වැඩි නමුත් බ්‍රසීලය වියවුල් ජාලයක් බවට පත්වීමට මේ නිසා ඉඩ තිබේ. ලූලා ව බ්‍රසීල ජනතාව හඳුන්වන්නේ ‘මතක ඇති කාලයක බිහි වූ ජනප්‍රියම නායකයා‘ යනුවෙනි. ඔහුගේ වාමාංශික කම්කරු පක්ෂය මෙම තීන්දුවෙන් මහත් සේ නොසන්සුන් වී සිටියි.

‘‘අපි මහ පාරේදී ලූලාව රැකගන්නෙමු‘ යනුවෙන් මේ වන විටත් ලූලාගේ වාමාංශික කම්කරු පක්ෂය ලූලාව කෙසේ හෝ ජනපති තරගයට ඉදිරිපත් කරන බව කියමින් සිටියි. ‘‘මේක අධිකරණ ලැජ්ජාවට පත් කරන සතියක් වේවි“ යැයි එම පක්ෂයේ සභාපති ග්ලෙයිසි හොෆ්මන් පවසයි. ඔවුන් තර්ක කර සිටින්නේ ‘පිරිසිදු දෑතින් අපේක්ෂකයන් පැමිණිය යුතුය‘ යන නීතිය මගින් අපේක්ෂකයන් වළක්වන්නේ සියලුම අභියාචනා අවස්ථා අවසන් වූ පසුව පමණක් වන බවයි. ලූලාගේ අභියාචන ගණනාවක් මේ වන විට බ්‍රසීලයේ ඉහළ අධිකරණවල විභාගයට ගැනෙමින් පවතින නිසා ඡන්දාධිකරණයේ මෙම තීන්දුව නීතියට පටහැණි බව ඔවුන්ගේ තර්කයයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම වන්නේ ජනතාවට තමන් කැමති නායකයෙක් තෝරාපත් කරගැනීමට ඇති අයිතියයි. එම අවස්ථාව බ්‍රසීලයේ ජනතාවට අහිමි වීමට යන්නේද?

පෙර ලිපි

‍ලූලා සිර ගෙට ගිය හැටි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි