×

මාලදිවයිනට අලුත් නායකයෙක් ?

මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ පෙරමුණේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සොලිහ්ට ජය අත්වන ලකුණු. එය නව දේශපාලනයක ඇරඹුමද?


ඡන්ද පෙට්ටි 472න් 437කම ගණනය කිරීම් කටයුතු අද පෙරවරුව වනවිට අවසන් කර තිබිණ. ඡන්ද ගණනය කිරීම්වලින් 92%ක් නිම වී ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. එම ගණනය කිරීම්වලට අනුව 16%කට ආසන්න වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් සිය ප්‍රතිවාදියා වන වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වඩා ඉදිරියෙන් සිටින්නට ඊබ්‍රහිම් මොහොමඩ්ට හැකියාව ලැබී ඇත. මේ නිසා මාලදිවයින් ජනාධිපතිවරණයේ වැඩි වාසි ඊබ්‍රහිම් දෙසට හැරී ඇති බව ලෝක මාධ්‍ය සේවාවන් වාර්තා කරයි. ඡන්ද ගණනය කිරීම් මුළුමනින්ම අවසන් වී නැති නිසා මාලදිවයින් මැතිවරණ කොමිසම, ජයග්‍රහාකයා කවරකුදැයි කියා නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

Ibrahim Mohamed Solih, the opposition candidate for the presidency, with supporters at his final campaign rally | REUTERS

Ibrahim Mohamed Solih, the opposition candidate for the presidency, with supporters at his final campaign rally | REUTERS

මාලදිවයින් ජනාධිපතිවරණය පැවැත්වුණේ ඊයේ (24දා) දිනයේදී ය. මේ ජනාධිපතිවරණය දෙසට ලොව බලවත් රාජ්‍ය කිහිපයකම අවධානය යොමු වී තිබිණ. එයට හේතුව මාලදිවයිනේ වත්මන් ජනාධිපති යමීන්, චීනයටත් ඒකාබද්ධ විපක්ෂ පෙරමුණේ නායක ඊබ්‍රහිම් ඉන්දියාවටත් පක්ෂපාතීව කටයුතු කරන බව අනාවරණය වීමයි. යමීන් ජනාධිපතිවරයා මාලදිවයින තුළ චීන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන්නට ඉඩ ලබා දී ඇත. දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා එකඟතාවයක් පවත්වාගෙන යන්නටත් ජනාධිපති යමීන් කැමැත්ත පළකර තිබිණ. ඉන්දියන් සාගරය තුළ චීන බලය ව්‍යාප්තවීම ඉන්දියාවේ දැඩි නොසන්සුන්තාවයට හේතුවක් වී තිබේ. බල පෙරළියක් සිදු වුවහොත් තම ආයෝජනයන්ට කුමක් සිදු වේද යන බිය චීන බලධාරීන් තුළ තදින්ම ක්‍රියාත්මක වෙමින් පැවැති බව බී.බී.සී. මාධ්‍ය සේවය පෙන්වා දෙයි. එනිසා මේ ජනාධිපතිවරණය පැවැත් වුණේ යමීන් ජනාධිපතිවරයාට වාසි වන අන්දමට උපරිම බලයක් යොදමින් බව දේශපාලන විශ්ලේෂකයෝ කියා සිටියහ. මාලදිවයිනේ ජනාධිපතිධුරයට පත් වන්නේ කවරකු වුවත් ඔහු එහි ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපනය කර වර්ධනය කළයුතුයැයි ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට අනතුරු අඟවා තිබිණ. එසේ නොවුණොත් සම්බාධක පනවන බවත් දන්වා තිබුණේ ය.

President Abdulla Yameen has voted at a polling station in the capital, Male. Rights groups have accused his government of trying to rig the election. | MALDIVES PRESIDENCY / AFP

President Abdulla Yameen has voted at a polling station in the capital, Male. Rights groups have accused his government of trying to rig the election. | MALDIVES PRESIDENCY / AFP

මාලදිවයින් වේලාවෙන් ඊයේ පෙරවරු 8ට ඇරඹි ඡන්ද විමසීමට ඡන්ද දායකයන් සහභාගී වූයේ මෙවැනි තීරණාත්මක පසුබිමකයි. එසේ වුවත් ඡන්ද දායකයන් ඉතාමත් උද්‍යෝඝයෙන් ඡන්දය ප්‍රකාශ කළ බව ලෝක මාධ්‍ය සේවාවන් පෙන්වා දී තිබිණ.

තම බලය තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගත හැකිවනු ඇති කියන දැඩි විශ්වාසයෙන් යුතුව සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භයේ සිටම ප්‍රබල අන්දමින් ඉදිරියට රැගෙන යන්නට ජනාධිපති යමීන් කටයුතු කළේය. ප්‍රතිඵල නිකුත් වන්නට පටන් ගැනීමත් සමඟම හෙතෙම ඉතා විමසිල්ලෙන් සහ නිහඬව ඒ වෙත අවධානය යොමු කරගෙන සිටින බවක් පෙනෙන්නට තිබිණ. තමන් ජයග්‍රහණය ලබන බව තහවුරු වීමත් සමඟම ඊබ්‍රහිම් සාමකාමී බල මාරුවක් ගැන ප්‍රකාශයක් කළ බව සඳහන් වේ. මේ අතර මාලේ නුවරට රැස්වුණු විපක්ෂ කණ්ඩායම් ප්‍රීති ගෝෂා පවත්වමින් සිය ජයග්‍රහණය සමර බව විදෙස් මාධ්‍ය සේවා වාර්තා කරයි. යමීන් ජනාධිපතිවරයා සාමකාමී ලෙස බලය අත්හැර ඊබ්‍රහිම්ට බලය ලබා නොදෙනු ඇතැයි කියා විපක්ෂ කණ්ඩායම් දැඩි ලෙස විශ්වාස කරති.

Maldivians wait in line to cast their votes| REUTERS

Maldivians wait in line to cast their votes| REUTERS

අතොළු විසි හයකින් සහ දූපත් 1,192කින් සමන්විත මාලදිවයිනෙහි ජනගහනය හාරලක්ෂ විසි හත්දහසක් පමණ වේ. 1978 සිට දශක තුනකට ආසන්න කාලයක් එරට පාලන බලය පැවැතියේ මව්මූන් අබ්දුල් ගයූම් අතයි. ඔහු ගෙන ගියේ ඒකාධිපති පාලනයක් බැව් බොහෝ විචාරකයෝ පෙන්වා දෙති. 2008 වසරේදී පැවැති මැතිවරණයෙන් මොහොමඩ් නෂීඩ් ජයග්‍රහණය කළේය. මොහොමඩ් නෂීඩ්ව 2012දී බලයෙන් පහ කෙරිණ. එතැන් පටන් එරට දේශපාලනය දැඩි අවුල් සහගත තත්ත්වයකට පත්වන්නට පටන් ගත්තේය.

පෙර ලිපිය-

ගිලෙන මාලදිවයින චීනය සමග මද සිනාවක!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි