×

ටෙක්සාසයේ ප්‍රාථමික පාසලක බිහිසුණු වෙඩි තැබීමක්! දරුවන් 19 දෙනෙකු මරුට!

උමතු වෙඩික්කරුවකු නිසා කිරිසප්පයන් වන්දි ගෙවූ ටෙක්සාසය..


එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකට කඩා වැදුණු 18 හැවිරිදි පුද්ගලයකු කළ බිහිසුණු වෙඩි තැබීමකින් දරුවන් 19 වත් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අඟහරුවාදා (24) දින ටෙක්සාසයේ ලතින් ඇමරිකානුවන් වැඩි වශයෙන් ජීවත් වන උවල්ඩේ නගරයේ රොබ් එලිමෙන්ටරි ස්කූල් නම් ප්‍රාථමික පාසලේයි මෙම බිහිසුණු වෙඩි තැබීම සිදුව තිබෙන්නේ.

මෙම වෙඩික්කරුවා පන්ති කාමරයෙන් පන්ති කාමරය වෙත යමින් මෙම බිහිසුණු වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. ඔහු පසුව පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව ඇති බව ද සඳහන්.

වෙඩි තැබීමෙන් වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගෙන් එක් අයකු එම පාසලේ ගුරුවරයකු බව ද ප්‍රාන්ත ආණ්ඩුකාර ග්‍රෙග් ඇබොට් සඳහන් කරයි.

මෙම වෙඩි තැබීම එක්සත් ජනපදයේ 2012 දෙසැම්බර් වල කනෙටිකට් ප්‍රාන්තයේ නිව්ටවුන් සමූල ඝාතනයෙන් පසුව සිදුව ඇති බිහිසුණුම වෙඩි තැබීම බව ද වාර්තා වේ. එහිදී නිව්ටවුන් හි සැන්ඩි හුක් එලිමෙන්ටරි ස්කූල් නම් ප්‍රාථමික පාසලේ සිදුවූ වෙඩි තැබීමකින් දරුවන් 20 දෙනෙකු සහ වැඩිහිටියන් සය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබිණි.

The Archbishop of San Antonio, Gustavo Garcia Seller, comforts families outside of the Civic Center following a deadly school shooting at Robb Elementary School in Uvalde, Texas Tuesday, May 24, 2022. (AP Photo/Dario Lopez-Mills)

මෙම සිදුවීම ප්‍රදේශයේ කැළඹීමක් සමඟ යම් නොසන්සුන්තාවයක් ඇති කිරීමට සමත්ව තිබේ. තවමත් තම දරුවන් පිළිබඳ තොරතුරක් වාර්තාවන තුරු කඳුලු සලමින් බලා සිටින දෙමාපියන් ඒ අතර වේ.

මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් උවල්ඩේ අනුස්මරණ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් පොලීසිය විසින් නිල වශයෙන් නිවේදනය කර නැත.

වෙඩි තැබීම සිදුකළ සැල්වඩෝර් රාමෝස් නම් තරුණයා ලතින් ඇමරිකානු ජාතිකයකු වන අතර, ඔහු සැන් ඇන්ටෝනියෝ නගරයෙන් කිලෝමීටර 135 පමණ බටහිරට වන්නට ජීවත් වූ පුද්ගලයකු බවත්, ඔහු තනිවම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් බලධාරීහු පවසති.

රොබ් එලිමෙන්ටරි ස්කූල් ප්‍රාථමික පාසලේ ඉගෙනුම ලබන දරුවන් සංඛ්‍යාව 600 පමණ වන අතර, ඔවුන්ගෙන් බහුතරය ලතින් ජාතිකයන් ය. මෙම වසරේ පාසල් වාරයන් පැවැත්වෙන දිනවල විවිධ තේමා යටතේ උත්සව පැවැත්වීමට නියමිතව තිබී ඇති අතර, එසේ පැවැත්වෙන උත්සවයන් වල අවසාන දින කිහිපයේ ද අඟහරුවාදා දින පැවැත්වෙන “Footloose and Fancy” නම් තේමාව යටතේ දරුවන් විසින් විවිධ ඇඳුම් පැළඳුම් සහ පාවහන් පළඳින දිනයේයි මෙම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ.

Members of the community gather at the City of Uvalde Town Square for a prayer vigil on Tuesday, May 24, in Uvalde, Texas. (Jordan Vonderhaar/Getty Images)

මෙම සමූල ඝාතනය සිදුව තිබෙන්නේ එක්සත් ජනපදයේ නිව් යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ නරගයේ සුපිරි වෙළඳසැලක් වෙත යම් පුද්ගලයන් පිරිසක් විසින් කඩා වැද සිදුකළ වර්ගවාදී ප්‍රහාරයකින් දින දහයකින් අනතුරුව වීම ද විශේෂත්වයක්. මේ අන්දමින් එක්සත් ජනපදයේ විවිධ ප්‍රාන්ත වල පාසල්, පල්ලි හා කඩසාප්පු ඉලක්කකර ගනිමින් සිදුකළ ජන සංහාර ඉකුත් වසර කිහිපය පුරාම හටගෙන තිබෙන අතර, ඒවා හි ඇති පොදු ලක්ෂණය වන්නේ මෙම ප්‍රදේශ ඇමරිකාවේ සුළු ජනකණ්ඩායම් බහුල ප්‍රදේශ වීමයි.

ඒ අනුව මෙම ප්‍රහාරයන් වාර්ගිකත්වය ඉලක්කකරගනිමින් සිදුවන බවට සැක පහලවෙමින් පවතී. කෙසේවෙතත්, ඉහත සිදුවීමේ දී වෙඩිතැබීම සිදුකළ තරුණයා ලතින් ඇමරිකානුවකු වීම ද විශේෂත්වයක්.

ඇමරිකාවට පිවිසෙන පුද්ගලයන් වෙඩි ප්‍රහාර පිළිබඳව සැලකිලිමත් විය යුතු බවට උත්ප්‍රාසය දනවමින් සිත්තම්කළ චිත්‍ර කතාවක්. මූලාශ්‍රය: ඉකොනොමිස්ට්

එක්සත් ජනපදයේ ගිනිඅවි නියාමනය පිළිබඳ විවාදය දශක ගණනාවක් පුරාවට පැවති දෙයකි. ගිනිඅවි නියාමනයේ ඇති බාල ස්වභාවය මෙවන් සිදුවීම් වලින් පිළිඹිමු වන අතර, ගිනිඅවි නියාමනයේ ඇති බාල ස්වභාවය වාර්ගික ප්‍රහාර ඇතුළු විවිධ බිහිසුණු සිදුවීම් සඳහා මුලපුරන බවට පැවසේ.

ගිනිඅවි විකුණන වෙළඳසැල් වලින් නිකුත්කරන ගිනිඅවි සඳහා අදාළ පාරිභෝගිකයන්ගේ පසුබිම් විමසීමට අදාළ විවිධ පනත් රජය විසින් සම්මත කරගෙන තිබුණ මුත්, එම නීතීන් වල ඵලදායීතාවයක් තිබෙනවා ද යන්න සැකසහිතය. ගිනිඅවි නියාමනය පිළිබඳ දැඩි තීන්දු ගන්නා බවට එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් මහතා ද ප්‍රතිඥා දී ඇති පසුබිමක තවමත් මෙවන් සිදුවීම් ඇමරිකාවෙන් වාර්තා වීම ඛේදවාචකයකි.

ගිනිඅවි නියාමනයේ ඇති දුර්වලතාව මත උමතු වෙඩික්කරුවකුගේ රඟදැක්වීමෙන් අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූයේ අනාගතය භාරගැනීමට සිටින කුඩා දරුපැටවුන්ට බව රොබ් එලිමෙන්ටරි ස්කූල් ප්‍රාථමික පාසල සාක්ෂි දරයි.

Photos: The Guardian / AP / GETTY Images / Economist



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි