×

ලාංකේය වැඩ කරන ජනතාවට මැයි දිනය අහිමි වුණේ අද පමණද?

මාක්ස්ගේ අර්ථයෙන් වන කම්කරු පන්තියක් ඇත්තේ වතුකරයේ පමණි. නමුත් ඔවුන් “වහල්” තත්වයේ සිට “කම්කරු” තත්වයට තවම පත්වී නොමැත.


ලංකාව මැයි දිනය සමරනු ලබන්නේ ගෝලීය ත්‍රස්තවාදයේ නවතම ගොදුරක් ලෙසය. ලංකාවට ත්‍රස්තවාදය ගෝලීයව හා දේශීයව පැන නැගී ඇත. එය වැලක්වීම සදහා දැවන්ත ශ්‍රමයක් මේ රට තුළ ක්‍රියාකාරී වී ඇත. කර්මාන්තයක් වශයෙන් යුද කර්මාන්තය ස්ථාපිත නොවී යුධමය ශ්‍රම වැගිරීම් පමණක් නිසා ලංකාවේ ශ්‍රම බලකායෙන් සැලකිය යුතු ශ්‍රම ප්‍රමාණයක් නිකරුනේ විනාශ විය. පසුගිය දශකයක් තුළ හමුදාවේ ශ්‍රම බලකාය නිකංම නිකං සිට සතියක සිට යළි ක්‍රියාකාරී වී ඇත.

ලංකාවේ ශ්‍රම බලකායෙන් ලක්ෂ කිහිපයක් වැඩ කරන්නේ ආර්කෂ අංශ වලය. මෙම ආරක්ෂක අංශ වලට ගෙවන්නේ මහජන බදු මුදල් ය. මහජන මුදලින් ඔවුන් රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රමය හා ජීවිතය වගුරුවයි. අද දිනය වන විටත් ලංකාවේ උත්කර්ෂයට පත්ව ඇත්තේ ත්‍රස්තවාදය හා එය වැලක්වීම වැනි මාතෘකාය. ලංකාවේ කිසිදු දිනයක කාර්මීකරණය හෝ ශ්‍රම ඵලචායීත්වාය හෝ ගැන කතා කරන ලද දවස් තිබුණේ නැත.

ලංකාවේ කර්මාන්ත වර්ගීකරණය සලකා බලන විට එහි ඇත්තේ බාගයකට වඩා රාජ්‍ය අංශයේ හා සේවාමය සැපයීම් පමණි. සේවා බලකායෙන් බාගයක් පමණ රාජ්‍ය අංශයේ සේවය කරයි. නමුත් ඔවුන්ගෙන් නිෂ්පාදකතාවයට බලපෑමක් එල්ල වන්නේ නැත. පුද්ගලික අංශය යනු ලාංකීය ආර්ථිකයේ ඇති බයින් ඇන්ඩ් සෙලින් වර්ගයේ ආයතන නඩත්තු කරන ආයතන සමූහයක් බවට පත්වේ.

ඔවුන් විසින් සිදු කරනු ලබන්නේ චීනයේ හෝ ඉන්දියාවේ නිෂ්පාදිතයන් ලංකාවට ගෙන්වා විකිනීමයි. ලංකාව නිෂ්පාදනය කරනු ලබන්නේ කඩල ටේස්ට්, මුරුක්කු හා කටුකම්බි වැනි භාණ්ඩ කීපයක් පමණි. ඒ නයින් බලන කල ලංකාවේ කම්කරු පන්තියක් සිටිය නොහැකිය.

මාක්ස්ගේ අර්ථයෙන් වන කම්කරු පන්තියක් ඇත්තේ වතුකරයේ පමණි. නමුත් ඔවුන් “වහල්” තත්වයේ සිට “කම්කරු” තත්වයට තවම පත්වී නොමැත. වැවිලි කර්මාන්තයේ අර්ධ පුහුණු ශ්‍රමිකයින් කම්කරුවන් ලෙස හඳුනා ගැනීම ගැන ගැටළු ද ඇති වන්නට පුලුවන. කිසිදු වාමාංශික කම්කරු ව්‍යාපාරයකට මේ වතු කම්කරුවන් ගොනු කරගැනීමේ හැකියාව නොමැති විය.

පසුගිය කාලසීමාවේ 1000 ව්‍යාපාරය මඟින් මොඩර්න් පන්නයේ නාගරිකයින් විසින් ද ආශ්චර්යයක් මැවීමට උත්සාහ කරන ලදී. ඒ හුදෙක් ෆැන්ටසිමය මැදිහත්වීමක් පමණි. රුපියල් 1000ක අවම වැටුපක් ගෙවීමට මහ සමාගම් කිහිපයට හැකි වුවත් එයින් අමාරුවේ වැටෙන්නේ කුඩා පරිමාණ දිළිඳු වගාකරුවන් ය. එය මේ පිරිස විශ්වාස කරන්නේ නැත. ඔවුන්ට උවමනා වී තිබුනේ “අපි තමයි  වතු කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිය එකම කොට්ඨාශය” බවට පත්වන්නට පමණි.

මෙම දිළිඳු කම්කරුවන් හට අවම රුපියල් 1000 ලබා ගැනීමේ ඉඩ සැලසිය හැකි ආකාරය කෙසේ ද? දැන් වතුකරයේ තරුණ කම්කරුවන් බහුතරය සේවය කරන්නේ කොළඹය. ඔවුන්ට දිනකට රුපියල් 2000කට වඩා වැඩි වැට්පක් ලැබේ. කොළඹ දෛනික ආහාර සම්පාදනයෙන් වැඩි ප්‍රමාණයකට හවුල් වන්නේ මේ වතුකර ප්‍රජාවයි. මේ කොළඹ කම්කරුවන් යනු 1000 ඉල්ලන කම්කරු වැඩිහිටියන්ගේ දරුවන් ය.  කොළඹ ඔවුන් ගැන කතා කරන පිරිසක් නැත. නමුත් ඔවුන් වැඩ කරන කඩවල් වලින් මෙකී සමාජවාදී කණ්ඩායම් කෑම කති.

කම්කරු දිනය ලංකාව විසින් දශක ගණනාවක් තිස්සේ සමරමින් සිටිති. මේ සමස්ත සැමරුම් සියල්ල යුටෝපියානු සැමරුම්ය. ඒ ෆැන්ටසි වල දින කිහිපයක් ජීවත්වීමට ජවිපෙ ඇතුළු පිරිස ඉඩ සලසයි. කොළඹ නොදැක ඇති කම්කරුවන් නොවන ගැමියන් යූඑන්පිය හා මහින්දලා විසින් කොළඹට ඇද බත් පැකට් එකක් හා අරක්කු කාලක් ලබාදෙමින් ආතල් එකක් ලබාදීම මෙරට මෑත කම්කරු දින සැමරුම් බවට පත්ව ඇත.

ලංකාවේ ශ්‍රමය හෝ ශ්‍රමය භාවිතා කිරීම ගැන නොදන්නා කළමනාකරුවන් හා කම්කරුවන් සිටින රටකි. එම නිසාම කිසිදු විටෙක ලංකාවේ පොදු කම්කරුවන් හට විවේකය හෝ නිවාඩුව අත්දකින්නට නොහැකිව ඇත. “කම්කරු හැසිරීම” යන්න මාධ්‍ය වලින් ගල් කැඩීම හා කුණු ඇදීම දක්වා පැත්තකට තල්ලු කර ඇත. එතැනින් එහා ශ්‍රමය හෙලන අය වාච්‍යමය ලෙස කම්කරුවන්ගෙන් බැහැර කොට “හිමිකාරත්වයේ මානසිකත්වයකට” තල්ලු කර ඇත.

පෙර පැවැති කර්මාන්තශාලාමය පාලනය වෙනුවට අලෙවිකරණමය පාලනයක් (වෙළඳපල) දක්වා කම්කරුවාගේ විෂයය ව්‍යාප්ත වී ඇත. ඔවුන් මට කර්මාන්තශාලාවේදී ලැබෙන සූරාකෑමට වඩා වැඩි සූරාකෑමක් අත් වන්නේ වෙළදපල පාරිභෝජන රටාව තුළය. මෙම රටාව සමස්ත ලොව පුරා ඉතා සියළු ආකාර පීඩිතයින්ගේ අන්තිම රීරි මාංශය දක්වා උරා ගැනීම සිදු කරනු ලබයි. ඔවුන්ගේ ආත්මය පසාරු කරමින් හැඟීම් හා මානුෂ සම්බන්ධතා පවා භාවිතා කරයි.

මෙම භාවිතය “අලෙවිකරණ ශිල්ප ක්‍රම” මගින් මුළුමනින්ම වසා දමයි. තම ආත්මය හා ශරීරය සූරාකෑම වසන් කිරීම සදහා මාධ්‍ය හා මත්ද්‍රව්‍ය, ආගම වැනි සාධක පාවිච්චි කරමින් තනි තනි කොට අත්‍යන්ත රීරි සූරාකෑමක් දක්වා තත්වය ගෙන ඒ. මේ කිසිවෙකුට වේදනාවක් දැනෙන්නේ නැත. වේදනාව වසන් කිරීම සදහා ඉන්දියානු ටෙලිනාට්‍ය, දේශපාලන සාකච්ඡා, පිරිත් හා බණ ඇතුලත්ව “වේදනානාශක” ගොන්නක් සපයනු ලැබේ. සමාජ මාධ්‍ය මගින් මේ වේදනාව ඇතුලත පැසවන තුවාලයක් මෙන් වේදනා විරහිත ෆැන්ටසිමය ගත කිරීමක් අත් කරදේ.

සෙක්ස් හා ආගම විසින් මේ වේදනාවට ප්‍රති කර්ම යොදා ඇත. නමුත් දෛනිකව ගැටළුව උත්සන්න වේ. අන්තගාමීන් හා දුර්වලයින් ආසියාතික පැරණි ක්‍රම වල පිහිට පතති. ඉගෙනීමෙහි දක්ෂ තරුණයින් අසපු, අල්කයිඩා, යොහෝවා වලට බැදෙන්නේ ඕනෑම ජීවිතයකට අවශ්‍ය “පරම නිෂ්ඨාව” වෙනුවෙනි. ඔවුන්ගේ පරම නිෂ්ඨාව එලියට එන්නේ අන්තවාදය හා ත්‍රස්තවාදය ලෙස නාමකරණය වෙමින් සමාජය වනසමිනි.

අද කොළඹ මැයි දින නොමැති කලාපයක් බවට පත්කර ඇත්තේ ලංකාව හසුවී ඇති මේ ශ්‍රම ක්‍රියාකාරිත්වය නිසාය. මේ තත්වය ඇති කරන්නේ හා පිලියම් ලබාදෙන්නේ වෙළදපල විසිනි. මේ වන විට වෙළඳපල විසින් අන්තවාදී ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය හා ආගම්වාදය, ජාතිවාදය ඇති කරමින් මේ එරෙහි වන්නේ මිනිසාගේ ජීවිතයටය.

මේ වන විට ලංකාවේ ගැහණියට, මිනිසාට සිය ශ්‍රමය ට ගෙවීමක්වත්, ජීවිතයට අර්ථයක් හෝ අනාගතයට අදහසක් නැතිව තිබේ. තව දුරටත් මැයි දිනයක් සම්ප්‍රදායික ශ්‍රම අර්ථයෙන් භාවිතා වන්නේ නැත. එයද කානිවල්කරනය වී වෙළදපලට හසුව තිබේ. මාක්ස්ගේ, ලෙනින්ගේ පින්තුර ගසා හෝ මහින්දගේ රනිල්ගේ මුහුණු ගසා අද දින මැයිදිනය පවත්වන්නට නොහැකි කර තිබෙන බලවේගය කුමක්ද? ඉස්ලාමික හා අනෙකුත් සියළු ආගමික අන්තවාදයන් නිර්මානයේ “කම්හල” කුමක්ද? මැයි දිනයේ සිතිය යුතු කරුණු ගොඩකි.
,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි