×

වඳුරෙක් බසයක් පදවලා!

වඳුරකු පැදවූ බස් රථයක රියදුරාට වැඩ වරදී!


ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බස් රථයක සුක්කානම මතට ගොඩ වැදී බස් රථය පදවාගෙන යන වඳුරකු පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල හරහා පසුගිය දා ප්‍රකට වන්නට පටන් ගත්තේය. වඳුරා සුක්කානම කරකවද්දී රියදුරා තම අසුනේ සිට එක් අතක් පමණක් සුක්කාම මත තබාගෙන හිඳිනු එමඟින් පැහැදිලි විණ. වඳුරා හැසිරවීම රියදුරා කර ඇත්තේ අනෙක් අතිනි.

මඟීන් තිස්දෙනෙකු රැගත් බසය රථය මෙසේ ධාවනය වූයේ කර්ණාටක ප්‍රාන්තයේ කාර්යය බහුල මඟක් ඔස්සේ බව සඳහන් වේ. බස් රථය ධාවනය කෙරෙන අතර තුර රියදුරා මහා මඟ යනෙන සෙසු වාහන ගැන සැලකිල්ලෙන් පසුවන බවක් දක්නට පුළුවන. එහෙත් බස් රථයේ පැති කණ්ණාඩිවලින් ලැබෙන ප්‍රතිබිම්බ ගැන ඔහු සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ.

බස් රථය පදවා තිබෙන්නේ කර්ණාටක ප්‍රාන්ත මාර්ගස්ථ ප්‍රවාහන සංස්ථාවෙහි සේවයේ නියුතු එම්. ප්‍රකාශ් නමැති රියදුරෙකි.

වීඩියෝව ව්‍යාප්ත වීමත් සමඟම බස් රථයේ රියදුරු ප්‍රකාශ්ගේ වැඩ තහනම් කෙරිණ. ප්‍රකාශ්ට වැඩ වැරදී ඇත්තේ මඟීන්ගේ ජීවිත ගැන නොසලකා අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙනි.

මේ සිද්ධිය පසුගිය සඳුදා සිදුව ඇතත් බස් රථයේ ගිය කිසිවකු රියදුරාගේ ක්‍රියා කලාපය ගැන මේ වනතුරුත් පැමිණිල්ලක් යොමු කර නැත. සිද්ධිය සිදුවන අවස්ථාවේදීත් මඟීන් කිසිවකු එයට විරෝධය නොපෑම බොහෝදෙනෙකුගේ විමතියට හේතු වී ඇත.

වඳුරා බස් රථය තුළට රැගෙන ඇවිත් තිබෙන්නේ එහි ගමන් ගන්නට පැමිණි මඟියෙකි. එම මඟියා වඳුරාත් රැගෙන අසුන්ගෙන තිබෙන්නේ රියදුරු අසුනට ආසන්නයෙහි වූ අසුනක ය. තම ස්වාමියා ගමනාන්තයට ළඟා වනතුරු වඳුරා බස් රථය ධාවනය කළ බව සඳහන් වේ. ගමනාන්තයට පැමිණි පසු ඌ බසයේ සුක්කානම ප්‍රකාශ් රියදුරු තැනට භාරදී අයිතිකරු සමඟ බසයෙන් බැස ගොස් ඇත.

[embedyt] https://www.youtube.com/watch?v=kij5c1L5zko[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි