×

නවසීලන්ත වෙරළේ තල්මසුන් 140 කගේ මළ කඳන්

පයිලට් වර්ගයේ තල්මසුන් 140 දෙනෙක් නවසීලන්ත වෙරළේ මිය ගිහින්


නවසීලන්තයටඅයත් ස්ටුවට් දූපත් වෙරළේ තල්මස් මළකඳන් 140 කට අධික ප්‍රමාණයක් වැතිරී තිබේ. එය, නවසීලන්තයෙන් පසුගිය දිනවලදී වාර්තා වූ පයිලට් වර්ගයේ තල්මසුන් පිළිබඳ අසන්නට ලැබෙන දුක්බර පුවත් මාලාවේ අලුත්ම පරිච්ඡේදයයි.

ස්ටුවට් දූපතට අයත් මේසන් බොක්ක තුළට සාගරයේ සිට පැමිණි මේ දැවැන්තයන්, ඉන්පසු එහිම සිර සිටි බව නවසීලන්ත බලධාරීහු පවසති. සාමාන්‍යෙයන් මෙසේ වු විට කළ හැකි එකම දෙය වන්නේ ඔවුන්ව නැවතත් සාගරය වෙතටම තල්ලු කර යැවීමයි. නමුත් මේ වතාවේ එය සාර්ථක වුයේ නැත. ‘‘ඔවුන්ව සාර්ථක ලෙස ආපසු මුහුදටම හරවා යැවීමේ ඉඩකඩ අතිශයින් සීමා වුණා. උන්ගේ තත්වය එන්න එන්නම පිරිහෙන්න පටන් ගත්තා. ඒ නිසා අපට කළ හැකි මානුෂීයම දෙය වුණේ, උන්ට සුඛ මරණයක් (euthanise) ලබාදීමයි.‘‘

මේ අනුව වෙනත් කළ හැකි දෙයක් නොවූ තැන, එම තල්මසුන්ට අවසන් හුස්ම හෙළීම පහසු කරමින් උන්ට මිනිස් දෑතින් මරණය ළඟා කර දීම සිදුවිය. ‘‘එය ඉතාම වේදනාකාරී තීරණයක්‘ යැයි ද නවසීලන්ත බලධාරීහු කියති.

The Guardian

The Guardian

මේ වන විට ස්ටුවට් දූපතේ ජීවත් වන ස්වදේශික මාඕරි ගෝත්‍රිකයන් කණ්ඩායමක් වන න්ගායි තාහු (Māori, tribe, Ngāi Tahu) මෙම තල්මස් කඳන් වළලා දැමීමට කටයුතු කරමින් සිටිති.

නවසීලන්තයම ඇයි?

කුමන හෝ හේතුවක් නිසා නවසීලන්තය සැලකෙන්නේ තල්මසුන් මුහුදේ සිට ගොඩ ගසන, මුහුදු බොක්ක තුළ සිරවන කලාපයක් ලෙස ය. සාමාන්‍යෙයන් වසරකට නවසීලන්තයෙන් තල්මසුන් ගොඩට ගැසීමේ සිද්ධි 85 ක් පමණ වාර්තා වේ. නමුත් එසේ ගොඩගසන්නේ බොහෝ දුරට තනි තල්මසුන් ය. ඒ හැර, තල්මසුන් සිය ගණන් මේ අන්දමින් ඛේදනීය ලෙස ‘තොගපිටින්‘ මිය ගිය අවස්ථා හෝ වෙරළට ගොඩ ගැසූ අවස්ථා අසන්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි.

වසර 1840 සිට මේ දක්වා නවසීලන්ත වෙරළ ආශ්‍රිතව තල්මසුන් 5000 කට වඩා ගොඩ ගසා ඇති බව ඉතිහාසයේ සඳහන් ය.

මේ සඳහා නිශ්චිත හේතුවක් නොදනිතත්, විශ්වාස කෙරෙන්නේ රෝගී වීම, පිහිනීමේදී දිශාව වැරදීම, භූගෝලීය ලක්ෂණ, වේගවත් උදම් රළ, අධික ලෙස අයහපත් කාලගුණය හෝ විලෝපිකයන් විසින් එළවාගෙන යාම නිසා මෙවැනි දේ සිදුවන බවයි.

මේ නිසාම නවසීලන්තය තුළ තල්මසුන් බේරාගැනීම සඳහාම කැප වූ සංවිධාන ද රාශියක් දැකගත හැක. ප්‍රොජෙක්ට් ජෝනා හෙවත් ජෝනාහ් ව්‍යාපෘතිය එවැන්නකි. ඔවුන් පවසන ආකාරයට තල්මසුන් පමණක් නොව ඩොල්ෆින් මසුන් ද වසරකට 300 ක් පමණ මේ අන්දමින් නවසීලන්ත වෙරළ වෙත ගසා ගෙන එනු ලැබේ.

මේ අතර ගතවූ සති අන්තය තුළ මෙවැනි සිදුවීම ඉහළ ගොස් ඇති බව ද අලුත්ම වාර්තාවල දැක්වේ.

නවසීලන්තයේම නෝත්ලන්ඩ් වෙරළට පිග්මි වර්ගයේ තල්මසුන් 8 දෙනෙක්ද ඩවුට්ෆුල් සවුන්ඩ් හි වෙරළට මීටර 15 ක් දිග ස්පර්ම් වර්ගයේ තල්මසෙක්ද, පිග්මි ස්පර්ම් වර්ගයේ ගැහැණු තල්මසෙක්ද ගතවු සති අන්තය තුළ ගොඩ ගසා තිබේ.

කෙසේ නමුත් නවසීලන්ත වෙරළට තල්මසුන් වැඩිම සංඛ්‍යාවක් ගොඩ ගැසූ අවස්ථාව මෙය නොවේ. 2017 වසරේදී පයිලට් වර්ගයේ තල්මසුන් 400කට අධික සංඛ්‍යාවක් ගෝල්ඩන් බේ වෙත එකවර ගොඩ ගසා තිබිණි. ඔවුන් බේරාගැනීම සඳහා මිනිසුන් සිය ගණනක් ද සහභාගි වූ නමුත්, ඔවුන් අතරින් සාර්ථක ලෙස මුහුදට තල්ලු කරගත හැකි වූයේ තල්මසුන් 100 දෙනෙක් පමණි. ඉතිරි සියල්ලෝම දැවැන්ත අසරණයන් ලෙස වෙරළ තීරයේ ගන හිරු රැස යට අවසන් ගමන් ගියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි