×

බලහත්කාරයෙන් සිදුකරන විවාහ සහ ලිංගික ප්‍රචණ්ඩත්වයට මොරොක්කෝව වැට බැඳීමට යයි.

මොරොක්කෝව කාන්තා ප්‍රචණ්ඩත්වයෙන් නිදහස් වීමට ගන්නා මෑත ඉතිහාසයේ සාධනීයම පියවර වශයෙන් මෙය ඉතිහාසයට එක් වනු ඇත. ලබන මාර්තු මාසයේදී මෙයට අදාළ නීති සම්මත කර ගැනීමට නියමිත ය.


නව නීති අනුව කාන්තාවන් බලහත්කාරයෙන් විවාහ කරදීම, පොදු ස්ථානවලදී කාන්තාවන්ට ලිංගික හිංසනයන් සිදු කිරීම සහ කන්තාවන්ව නොයෙක් අන්දමේ දණ්ඩනයන්ට යටත් කිරීම අපරාධ වැරදි ලෙස සලකුනු ලැබේ. එරට රජය මේ තීරණයට එළඹ තිබෙන්නේ රජයේ මූලිකත්වයෙන් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වුණු තොරතුරු ද සැලකිල්ලට ගනිමිනි. එම සමීක්ෂණයට අනුව වයස අවුරුදු 18ත් 65 අතර වයස් ඛණ්ඩයේ පසුවන එරට කාන්තාවන්ගෙන් 63%ට ආසන්න ප්‍රමාණයක් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන් ය.

පොදු ස්ථානවලදී හෝ මහ මඟදී හෝ කාන්තාවකට ලිංගික හිංසනයක් සිදු කිරීමට වරදකරුවකු වන පුද්ගලයකුට, මාසයත් හය මාසයත් අතර කාලයක සිර දඬුවමක් සහ ඇමෙරිකා ඩොලර් 500ක දඩයක් නියම කිරීමට නව නීතියෙන් ප්‍රතිපාදන සැලසේ.

මෙම කාන්තාව පවසන්නේ තමන්ගේ අත සිගරට් කොටවලින් පුළුස්සා, පච්චා කොටා ගැනීමට ද බල කළ බවයි. | GETTY IMAGES

මෙම කාන්තාව පවසන්නේ තමන්ගේ අත සිගරට් කොටවලින් පුළුස්සා, පච්චා කොටා ගැනීමට ද බල කළ බවයි. | GETTY IMAGES

කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක වන සමීරා රයිස් පවසන්නේ නව නීතිය, කාන්තාවන්ට ලැබුණු වත්කමක් බවයි. එසේ වුවත් එහි අඬුලුහුඬුකම් රැසක් ඇති බව ඈ පෙන්වා දෙන්නීය. එම අඬුලුහුඬුකම් මඟහරවා ගැනීමට මෙතැන් සිට ඉදිරියට කටයුතු කරන බවත් සමීරා රයිස් මාධ්‍යට පවසා තිබිණ.

වෛවාහික දූෂණය සම්බන්ධයෙන් හෝ විවාහය තුළදී කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා සම්බන්ධයෙන් හෝ පැහැදලි කිරීමක් නව නීතියෙහි සඳහන් නොවේ. ගෘහස්ත හිංසනය, කාන්තාවන් අනතුරෙහි හෙලමින් අත්හැර යෑම වැනි තත්ත්ව සම්බන්ධයෙන් ද නව නීතියෙහි සඳහනක් නැත. හිංසනයන් නිසා අගතිගාමීත්වයට පත්වන කාන්තාවන්ට මූල්‍යමය වශයෙන් සහනාධාරය සැලසීමක් ගැන පැහැදිලි කිරීමකුත් නව නීතියෙහි සඳහන් නොවේ. අගතියට පත් කාන්තවන් සම්බන්ධයෙන් රජයේ භූමිකාව ගැනත් කරුණු අනාවරණය විය යුතු බව “හියුමන් රයිට්ස් වොච්” සංවිධානයේ නිළධාරීහු පවසති.

නව නීතියෙහි පවත්නා අඩුපාඩු, අනාගතයේදී සංශෝධනයන්ට ලක්වන බව, නව නීතිය කෙටුම්පත් කිරීමට කටයුතු කළ පාර්ලිමේන්තු කොමිටියේ සාමාජික බොවුතායිනා කරොවුරි පවසයි.

“… මෙහි කාර්යය සාධකත්වය රඳා පවතින්නේ පොලිසිය සහ අධිකරණය මත. එය ක්‍රියාකාරී මට්ටමට පැමිණෙන විට එහි ඇති අඬුලුහුඬුකම් හෙළිදරව් වීම සාමාන්‍ය දෙයක්. ඒ අඬුලුහුඬුකම් සංශෝධනය කරන්න අපි ඉදිරියේදී පියවර ගන්නවා. …” යනුවෙන් හෙතෙම අදහස් දක්වා තිබිණ.

නව නීතිය හැඳින්වෙන්නේ හක්කාඔයු නීතිය යනුවෙනි. කාන්තා කටයුතු පිළිබද ඇමතිනී බිස්සීමා හක්කාඔයු මෙම නීතිය මෙයට පස් වසරකට පළමුව කෙටුම්පත් කළ නිසා එය එනමින් හැඳින්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

නව නීති ගෙන ඒමට මුල් වන කාන්තා ඇමතිනිය | GETTY IMAGES

නව නීති ගෙන ඒමට මුල් වන කාන්තා ඇමතිනිය | GETTY IMAGES



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි