×

ලෝකයම විස්මිත කරන –  සිය ගණන් හඬ මවන අනර්ඝ මිනිසා

ඔහුගෙ නම Genadi Tkachenko. ‘තනි මිනිසාගේ වාද්‍ය වෘන්දය‘ කියාත් මේ සෝවියට් ජාතිකයාට කියනවා.


ඔහුගේ කටහඬින් ඔහුට තවත් කටහඬ සහ පරිසරයේ ශබ්ද සිය ගණනක් මවන්නට පුළුවන්. මේ අරුම පුදුම හැකියාව ගැන ලෝකය දැනගත්තේ Genadi Tkachenko, ‘ගොට් ටැලන්ට් ජෝර්ජියා‘ තරගයට 2016 වසරේදී ඉදිරිපත් වීමෙන් පසුවයි. විනිශ්චය මණ්ඩලය ඔහුගේ දක්ෂතාවය අසා විස්මයෙන් ගල් ගැසෙනවා. ඇතැමුන් කඳුළු සළනවා. ඔහුගේ හැකියාව ඒ තරම් අද්වීතියයි. ඒක අරුම පුදුම ප්‍රතිභාවක්. ඔහු පරිසරයේ විවිධ ශබ්ද, මිහිතලයේ වැළපීම පවා ප්‍රතිනිර්මාණය කිරීමට/අනුකරණය කිරීමට අති දක්ෂයෙක්.

මේ තරගයේදී විනිසුරු මණ්ඩලය ගෝල්ඩන් බසරය දල්වමින් ඔහුව ඉදිරියටම ගෙන යනවා. නමුත් කිසියම් හේතුවක් නිසා ඔහු අවසන් මහා තරගයෙන් ජයගන්නේ නැහැ.

1964 වසරේ සෝවියට් දේශයේ ඉපදී, ළමා කාලයෙන් වැඩි කොටස වත්මන් යුක්රේනයේ ගත කළ ගෙනාදි, මේ වන විට වැඩි වශයෙන්ම ජීවත් වන්නේ රුසියාවේ මොස්කව් සහ ජර්මනියේ බර්ලින් නුවරයි. ඔහු සාන්ත පීටර්ස්බර්ග් නුවර රාජ්‍ය නාට්‍ය කලා ඇකඩමියේ සිව් වසරක් කලාව හැදෑරූ විද්‍යාර්ථියෙක්. ඔහු දක්ෂ නළුවෙකු ද වනවා. ජෝර්ජියාවට පැමිණ ගොට් ටැලන්ට් තරගය හරහා එක රැයකින් ලෝක ප්‍රසිද්ධියට පත් වුණත් ඒ වන විටත් ඔහුට ලෝකයෙන් සෑහෙන ඉල්ලුමක් තිබුණා. අද වන විට ඔහු වඩා වැඩි ජවයකින් තමන්ගේ විස්මය ජනක හැකියාවෙන් ලෝකය පුදුමය පත් කරවමින්, ලොව පුරා සංචාරය කරනවා. ප්‍රසංග පවත්වනවා. ඔහු ලෝකයේ වැඩිම ඉල්ලුමක් තිබෙන ප්‍රසාංගික ශිල්පියෙක්.

ලංකාවේ ද පවතින ඇතැම් මතයකට අනුව, හඬ අනුකරණය කරන ශිල්පීන්ට රියැලිටි තරගවලදී වැඩි ඉඩක් ලැබෙන්නේ නැහැ. ‘ස්වභාවික හඬ‘ සඳහා ඊට වඩා වැඩි පිළිගැනීමක් ලැබෙනවා. නමුත් ගෙනාදිගේ මේ දක්ෂතාවය දැක්වෙන වීඩියෝව එක වතාවක් නරඹන්න. ඔහුගේ ස්වභාවික හඬ වෙන් කරගන්න ඔබට පුළුවන්ද? ගෙනාදි, නූතන ලෝකයේ රියැලිටි කලාව තුළ හඳුන්වා දිය යුත්තේ හඬ අනුකරණ ශිල්පියෙක් ලෙසද, නැතිනම් වෙනත් ආකාරයකටද? ඔහු ‘ඉමිටේට් කිරීම‘ එහෙමත් නැතිනම් අනුකරණය කිරීම ගැන සමාජයේ තිබෙන සම්මත සීමාවන් අභියෝගයට ලක් කරනවා. ඒ වගේම මේ දස්කම අනුකරණයක් නම්, ඔහු එය කරන්නේ කිසිම පූර්වාදර්ශයකින් තොරව බවත් අමතක කරන්න එපා.

ඔහුගේ අලුත්ම හැකියාවන්, දස්කම් සහ විස්කම් ගැන දැනගන්න https://www.facebook.com/gennady.tkachenkopapizh මගින් ඔහු සමග ෆේස්බුක් හරහා සම්බන්ධ වෙන්න ඔබට පුළුවන්.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි