×

හිත හොඳ කිම්ගේ බිම්මල් කෑමට සුදුසුයි! – දකුණු කොරියාව තීන්දු කරයි.

කිම් ජොන් උන්ගේ බිම් මල් කෑමට හොඳයි! - මේ උතුරු කොරියානු නායකයා විසින් දකුණු කොරියාවට තෑගි ලෙස යැවූ බිම්මල්, විකිරණවලින් තොර බව දකුණු කොරියාව විසින් සනාථ කරමින් පැවසූ දෙයයි.


ඉතාම මිල අධික පයින් මෂ්රූම් වර්ගයේ බිම්මල් ටොන් 2 ක් කිම් ජොන් උන් විසින් හොඳ හිතෙන් යුතුව ‘නීල මන්දිරය‘ එනම්, නිල් පැහැ ටයිල් සහිත පැවීලියන් එක‘ වෙත තෑගි ලෙස යැව්වේ මෙයට මාසයකටත් වැඩි කාලයකට පෙර ය. නීල මන්දිරය (Blue House – literally “pavilion of blue tiles”) යනුවෙන් හඳුන්වන්නේ දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නිල නිවසයි.

එතැන් පටන් මේ දක්වා ඒවා දැඩි සේ පරීක්ෂාවට ලක් කරන්නට දකුණු කොරියාව පියවර ගත්තේ, කිම් ජොන් උන් ව එකවරම විශ්වාස කිරීමටත් ලේසි නැති නිසා විය යුතුය.

ටෆල්ස් නමැති මිල අධික ආහාරයට සමාන මෙම පයින් වර්ගයේ බිම් මල් ටොන් 2 හි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 1.83 කි. ඒවායේ ආහාරවල තිබිය හැකි අනතුරුදායක නොවන මට්ටමේ විකිරණ ප්‍රමාණය වන 0.034 μsv ට වඩා බෙහෙවින් අඩු විකිරණ ප්‍රමාණයක් පමණක් අන්තර්ගත බව අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් ප්‍රකාශ කරනු ලැබ තිබේ.

දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් (Moon Jae-in) හට කිම් ජොන් උන් මේ හතු තොගය යවනු ලැබුවේ පසුගිය සැප්තැම්බරයේ පයොන්ගියැන්ග් හිදී පවත්වන ලද ඔවුන්ගේ තුන්වැනි හමුවීමේදී ය. උතුරු කොරියානු නායකයා සිය න්‍යෂ්ටික මිසයිල වැඩසටහන අන්තර්ජාතික නිරීක්ෂකයන් වෙත විවෘත කිරීමට සූදානම් බව පැවසුවේ ද එයින් පසුව ය.

ඒ අනුව කිම් ජොන් උන් විසින් මේ හතු තොගය යවා තිබෙන්නේ හොඳ හිතින් බවත් ‘සාමයේ සංකේතයක්‘ (“peace token”) ලෙස බවත් පැහැදිලි වේ. ඒ හතු, සැබවින්ම යවනු ලැබුවේ දකුණු කොරියානු ජනපතිවරයාගේ කෑම මේසයට නොවේ. 1953 වසරේ කොරියානු යුද්ධයෙන් වෙන් කළ දකුණු කොරියානුවන් 4000 ක් හෝ ඊට වඩා වැඩි පිරිසකගේ පවුල්වල අය අතර බෙදා දීම සඳහා ය.

තෑගි ලෙසට දුන් දඩ බල්ලෝ

පයොන්ගියැන්ග් පාලනය, එසේත් නැතිනම් උතුරු කොරියානු පාලනය, මේ වනවිට සිය හොඳ හිත දක්වන තෑගි බෝග කිහිපයක්ම දකුණු කොරියාව වෙත යවා තිබේ. මීට පෙර අවස්ථාවක කිම් ජොන් උන් දකුණු කොරියාව වෙත අනර්ඝ දඩබල්ලන් දෙදෙනෙක් ද තෑගි කළේය. එය, ඔහුගේ පියා වන කිම් ජොන්-ඉල් (Kim Jong-il) විසින් කලක් තිස්සේ සිදුකරන සම්ප්‍රදායක් ඉදිරියට ගෙන යාමකි. වසර 2000 දී මේ හා සමාන ලෙස එවකට දකුණු කොරියානු ජනාධිපති කිම් දේ ජුන්ග් හට ද සුනඛයන් ජෝඩුවක් තෑගි කළේය. ඒ සුනඛයන් අනර්ඝ ජින්ඩෝ වර්ගයේ අය වුහ.

 

ඉහත සිටින්නේ පසුගිය සැප්තැම්බර් මාසයේදී කිම් ජොන් උන් විසින් මූන් ජේ-ඉන් හට තෑගි දුන් සුනඛ ජෝඩුවයි. දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන්, සුනඛ ලෝලියෙකු බව ප්‍රකට ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි