×

මළවුන්ගෙන් සල්ලි ගරන ‘ශීතල ආශාව‘ – නූතන ලෝකයේ අබිරහස් කතා – 7

මුළුමහත් ලෝකයාගේම අවධානයට ලක් වන අන්දමේ නඩු තීන්දුවක්, බ්‍රිතාන්‍ය මහාධිකරණය මඟින් මෙයට වසර දෙකකට පමණ පෙරාතුව ප්‍රකාශයට පත් කෙරිණ. මහාධිකරණය එකී තීරණය ලබා දුන්නේ මරණ මංචකයට වැටී සිටී දැරියකගේ ඉල්ලීම පරිදී ය. ඒ අනුව, නැවත ප්‍රාණය ලබාගැනීමේ අරමුණ ඇතිව දැරියගේ දේහය කල් තබාගැනීමට අධිකරණයෙන් අවසරය ලැබිණ.


මහාධිකරණයක් ලබාදුන් මේ විනිශ්චය ලෝක ජනමාධ්‍ය සේවාවන් හරහා එකල ප්‍රචාරය වූයේ ඇසුරු සැණෙකිනි. අධිකරණ තීන්දුව ගැන කිසිවක් කියන්නට අපි නොයන්නෙමු. එහෙත් විද්‍යාවටවත් ලිහා විසඳුමක් දෙන්නට බැරි, කල්පිතයක් තුළ මිනිසුන් මුලා වී අද්භූත සිතුවිලි තුළ සැරිසරණ සැටි කියන්නට මීට වඩා හොඳ තවත් කතාවක් නැති බව අපි තරයේ විශ්වාස කරන්නෙමු.

Landmark ruling: Mr Justice Peter Jackson has agreed a British child who died of cancer could become the first British child to be cryogenically frozen

Landmark ruling: Mr Justice Peter Jackson has agreed a British child who died of cancer could become the first British child to be cryogenically frozen

අප මේ කියන කතාවේ කතා නායිකාව බ්‍රිතාන්‍ය ජාතික දාහතර හැවිරිදි ගැහැණු ළමයෙකි. ඈ බ්‍රිතාන්‍යයේ කවර පළාතක දැරියක් ද, ඇගේ නම කුමක් ද යන කාරණා සහ ඈ පිළිබඳ අනෙකුත් තොරතුරු කිසිවක් හෙළි නොකරන්නට මාධ්‍ය වග බලාගෙන තිබිණ. ඒ නීතිමය අවශ්‍යතා ප්‍රකාරව ය. දැරිය කලෙක පටන් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිට ඇත. ඈ අසනීපයට ගොදුරු වනවිට ඇගේ දෙමව්පියෝ දික්කසාද වී සිටියහ. දැරිය ජීවත්ව ඇත්තේ සිය මව භාරයේය. මේ නිසා දැරියගේ රෝගී තත්ත්වයන් ගැන වැඩිදුර තොරතුරු කිසිවක් පියා දැන සිට නැත. දැරිය අසාධ්‍ය තත්ත්වයේ සිටියදී අධිකරණය වෙත ලිපියක් ලියා තිබේ. එකී ලිපියෙන් ඈ ඉල්ලා ඇත්තේ තමන් මියගිය දිනයෙක තමන්ගේ දේහය කල් තබා ගන්නට තමන්ගේ මවට ඉඩ සලසා දෙන මෙනි. දේහය කල් තබාගැනීමෙන් ඈ බලාපොරොත්තු වී තිබෙන්නේ අනාගතයේ කෙදිනක හෝ නැවත ප්‍රාණය ලබාගැනීමයි. එනම්, ඈ පෙළෙන පිළිකා රෝගයට ප්‍රතිකාරයක් සොයාගත් දිනයෙක, පිළිකා තත්ත්වය තම සිරුරෙන් බැහැර කරගැනීමේ ප්‍රතිකාරයන්ට බඳුන් වී යළි පණ ලබාගැනීමේ අයිතියයි. එකී අයිතිය ඉල්ලා ඈ ලියූ ලිපියේ මෙලෙස සටහන්ව තිබිණ.
“…. ඔබ මගෙන් අහයි, ඇයි මේ අසාමාන්‍ය දෙය කරගැනීමේ අවශ්‍යතාව ඇතිවුණේ කියලා.

මම වයස අවුරුදු දාහතරක කෙනෙක්. මට මැරෙන්න වුවමණාවක් නැහැ; නමුත් මම දන්නවා, මම ඉක්මනින්ම මිය යන බව.

ශීතජනක ශිල්ප ක්‍රමය භාවිතයෙන් මගේ දේහය කල් තබාගතහොත් රෝගයෙන් මිදීමේ අවස්ථාව මට හිමිවෙයි කියලා මම හිතනවා; ඒ වගේම ඊට වසර සිය ගණනක් ගෙවුණත්, නැවත අවධිවීමට මට හැකිවෙයි කියලත් මම හිතනවා.

පොළොව යට මිහිදන් වෙන්න මට වුවමණාවක් නැහැ.

මට ජීවත්වෙන්න අවශ්‍යයි. දිගු කලක් ජීවත් වෙන්න අවශ්‍යයයි. මා පෙළන පිළිකා රෝගයෙන් මිනිසුන්ව සුව කරන්න පුළුවන් මඟක් ඉදිරි අනාගතයේදී විද්‍යාඥයන් සොයා ගනීවි කියලා මම හිතනවා. එදාට මට නැවත අවධි වෙන්න පුළුවන්.

මට ඒ අවස්ථාව ලබාගන්න වුවමණයි. එය මගේ ප්‍රාර්ථනයයි. …”

දැරිය අධීකරණය වෙත ලියූ සටහන

දැරිය අධීකරණය වෙත ලියූ සටහන

බ්‍රිතාන්‍ය මහාධිකරණයකට මෙම ලිපිය ඉදිරිපත් කරන ලදී. මහාධිකරණ විනිසුරු පීටර් ජැක්සන්, මේ ලිපියේ අඩංගු කාරණා විභාග කිරීම ඇරඹුවේය. දැරිය 2016 වසරේ ඔක්තෝම්බර් 17වැනිදා ජීවිතක්ෂයට පත් වූ අතර එයට දින කිහිපයකට පළමුව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන්නට විනිසුරුවරයාට හැකි විණ. දැරියගේ ඉල්ලීම පරිදී ශීතජනක තාක්ෂණය භාවිතයෙන් දේහය කල් තබාගැනීම සඳහා අවසරය ලබාදෙන බැව් විනිසුරුවරයාගේ තීන්දුවේ සටහන්ව තිබිණ. මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නට පළමුව විනිසුරුවරයා දැරිය බලන්නට රෝහලට ගිය බවක් ද බ්‍රිතාන්‍යයේ “ඩේලි මේල්” පුවත් පත විටෙක වාර්තා කර තිබුණේය.

තීන්දුව දෙස බලන විට, මේ තරම් මහා මිත්‍යාවකට බ්‍රිතාන්‍යය මහාධිකරණය ඉඩ දුන්නාදැයි කියා ඔබ දැන් මොහොතකටවත් සිතනවා ඇත. එසේ වුවත් නීති විශාරදයන් පවසන්නේ දැරියගේ ඉල්ලීම ඉවත දමන්නටවත්, ඒ කියන ශීතජනක තාක්ෂණය භාවිතයෙන් මෘත දේහ කල් තබාගැනීම තහනම් කරන්නටවත් නීතියෙන් ඉඩක් නැති බවකි.

මේ ප්‍රවෘත්තියත් සමඟම ශීතජනක තාක්ෂණයෙන් මෘත දේහ කල් තබාගැනීම වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු විණ. එය බොහෝදෙනෙකු නොදන්නා තාක්ෂණික ක්‍රමවේදයකි. ඒ තාක්ෂණය යටතේ සංරක්ෂණය කෙරුණාටම, මියගිය කෙනෙකුට නැවත ජීවයක් ලද හැකිද යන ගැටලුවට උත්තරයක් දෙන්නට අද මේ වනතුරුත් විද්‍යාව සමත්ව නැත.

ශීතජනක තාක්ෂණය භාවිතයට ගනිමින් මෘත දේහ කල් තබාගැනීම “ශීත මමිකරණය” හැටියට හැඳින් වේ. මෙහිදී කෙරෙන්නේ මෘත දේහයක පටක, ඉතාමත් පහළ උෂ්ණත්වය අගයකට පමුණුවමින් පටක නරක් නොවන තැනට පත් කිරීමයි. එය හුදෙක් එක් අදියරක් යටතේ පහසුවෙන් සිදු කළ හැකි දෙයක් නොවේ. පළමු අදියර ඇරඹිය යුත්තේ කෙනෙකු නිත්‍යානුකූලව මියගිය බව තහවුරු කරගන්නා තැනෙනි. කොහොම වුණත් ඒ සඳහා වැඩි කාලයක් ගත කරන්නට ඉඩක් ලැබෙන්නේ නැත. හෘදයේ ක්‍රියාකාරීත්වය නැවතී මිනිත්තු දෙකක් යනවිට කල් තබාගැනීමේ ක්‍රමය ඇරඹිය යුතුව තිබේ. එපමණ ඉක්මනින් පළමු අදියර අරඹන්නට බැරි වුවහොත් අඩු තරමින් මිනිත්තු 15ක් ඇතුළතවත් එය ආරම්භ කළ යුතු බව දැක්වේ. පළමු අදියරයේදී කෙරෙන්නේ මෘත දේහය අයිස්වල බහා තැබීම සහ රුධිරය කැටි ගැසීම අවම කිරීමයි. රුධිරය කැටි ගැසීම අවම කරන්නේ රසායනික ද්‍රව්‍යය මෘත දේහයට එන්නත් කිරීමෙනි.

මෘත දේහය තවදුරටත් සිසිල් කිරීම දෙවැනි අදියරයේදී ඇරඹේ. සෙන්ටිග්‍රේඩ් අංශක බිංදුවට වඩා අඩු උෂ්ණත්වයකට පැමිණවීම එහිදී සිදුකෙරේ. ඒ සමඟම රුධිරය, දේහයෙන් බැහැර කර ඒ වෙනුවට වෙනත් ද්‍රාවණයක් එන්නත් කරනු ලැබේ. දේහ අවයව කල් තබාගැනීමට මෙමඟින් ඉඩ සැලසේ. දේහ අවයව සහ පටක තුළ හිම ස්ඵටික ඇතිවීම නවත්වන්නට තවත් ද්‍රාවණයක් ශරීර ගත කරන්නට සිදුවන්නේ තෙවැනි අදියරයේදීය. ඉන්පසු මෘත දේහය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 130කට සිසිල් කරනු ලැබේ. සිව්වන අදියරයේදී මෘත දේහය ද්‍රව නයිට්‍රජන් සහිත ටැංකියකට මාරු කෙරෙනු ඇත. එහිදී මෘත දේහය තබා ගැනෙන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 196ක උෂ්ණත්වයක් යටතේය. අවසන් අදියරයේදී කෙරෙන්නේ, මෘත දේහය සහිත ද්‍රව නයිට්‍රජන් ටැංකිය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 196ක උෂ්ණත්වයේ දිගින් දිගටම තබාගැනීමේ කාර්යයයි. මේ අන්දමට සංරක්ෂණය කෙරෙන දේහයක සෛල හානියට පත්වීමක් සිදු නොවන බව තහවුරුව ඇත.

ශීතජනක තාක්ෂණය භාවිතයෙන් මෘත දේහයක් මෙලෙස සංරක්ෂණය කිරීමට මිනිසුන් පෙළඹෙන්නේ අනාගතයේ දිනයෙක තාක්ෂණය මෙයට වඩා දියුණු වී මියගිය අයට නැවත ප්‍රාණය ලබාගන්නට හැකිවනු ඇතැයි කියන විශ්වාසය මතය. එවැනි තාක්ෂණ දියුණුවක් යටතේ මියගිය අයගේ දේහ පටක නැවත පිළිසකර කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹෙනු ඇති බව බොහෝදෙනාගේ පිළිගැනීමයි. එතුළින් නැවත මෘත දේහයට ප්‍රාණය ලබාදීමට හැකිවෙතැයි කියන බලාපොරොත්තුවක් ඇත.

මෙය ඇත්තටම යතාර්ථයක් බවට පත් කරගත හැකි ද?

Bodies and heads are held in tanks like these and will be kept at -196˚ C in the hope one day they can be 'woken up'

Bodies and heads are held in tanks like these and will be kept at -196˚ C in the hope one day they can be ‘woken up’

සදාකාලිකව හිම යට පැවැති සත්ත්ව මෘත දේහ මේ වනවිට විද්‍යාඥයන් අතට පත්ව තිබේ. මේ සත්ත්ව මෘත දේහවල ඩී.එන්.ඒ. කොටස් යම් ආකාරයක ජීව ගුණයක් සහිත බව අනාවරණය වී ඇත. එසේ වුවත් ඒ සතුන්ට ජීවය දිය හැකි බවක් මෙතෙක් බිහිවී ඇති විද්‍යාව තුළ කොතැනකවත් නොකියැවේ. ශීතජනක තාක්ෂණය සහ තවත් ක්‍රමවේද භාවිතයට ගනිමින් මිනිස් ශුක්‍රාණු සහ මිනිස් කළල යම් කාලයක් තබාගත හැකි බව සත්‍යයකි. එසේ වුවත් ඒවායෙහි ජීව ගුණය පවත්වාගැනීම සම්බන්ධයෙන් වුව ගැටලුකාරී තැන් නැතිවාම නොවේ. මෙවැනි තත්ත්වයක් යටතේ මෘත දේහයකට ප්‍රාණය ලබාදීම ගැන සිතීම අතිශයින්ම දුෂ්කරය. මෘත දේහයක් සංරක්ෂණය කිරීමේ අරමුණෙන් අධික ලෙස ශීත කිරීම නිසාම සෛලවලට හානි පැමිණෙන බව වෛද්‍යවරු පවසති. ඒ ආකාරයට හානියට පත් සෛල ජීවය සහිත පටක බවට පෙරළා ගැනීම කෙසේ කරන්නදැයි කියා ඔවුහු ප්‍රශ්න කරති.

සත්‍ය තත්ත්වය මෙය වුවත්, ශීතජනක තාක්ෂණය භාවිතයට ගනිමින් මෘතදේහ කල් තබාගැනීමේ සේවාව සපයන සමාගම් අද බිහිවී ඇත. එවැනි සමාගම් ඇමෙරිකා එක්සත් ජනපදයේත්, රුසියාවෙත් අප්‍රකටව පවත්වාගෙන යන බව කියැවේ. මේ සමාගම් මෘත දේහ කොපමණ ප්‍රමාණයක් කල් තබාගෙන සිටින්නේ ද යන්න කිසිවකුට දැන ගන්නට මඟක් නැත. වාර්තාවන්හි දැක්වෙන අන්දමට පළමුව කී බ්‍රිතාන්‍යය ජාතික දැරියගේ මෘතදේහය ඇමෙරිකා එක්සත් ජනපදයේ, මිචිගන්හි පිහිටි “ක්‍රියොනික්ස් ඉන්ස්ටිටුට්” නමින් හැඳින්වෙන ආයතනයකට රැගෙන ගොස් තිබේ. ඇමෙරිකාවේ එම ආයතනයට දේහය ලැබී තිබෙන්නේ දැරිය මිය යෑමෙන් දින අටකට පසුවය. ඈ මියගිය අවස්ථාවේ සිට එතෙක් ඇගේ දේහය කල් තබාගැනීම සම්බන්ධ සියලු කටයුතු සිදුකර තිබෙන්නේ “ක්‍රියොනික්ස් යූකේ” නැමැති සමාගමකි. ඇගේ දේහය ප්‍රමාදයකින් තොරව ශීතජනක තාක්ෂණය යටතේ කල් තබාගැනීමට පහසුකම් මේ නිසා සැලසී ඇත. කොහොමවුණත් ඇගේ දේහය අදාල සමාගම වෙත ලබාදී තිබෙන්නේ “143 වන රෝගියා” වශයෙන් ලේබල් කිරීමෙන් අනතුරුවයි. “රෝගියා” යන වදන ඊට භාවිත කිරීම තුළම තිබෙන්නේ ඈ මියගිය කෙනෙකු හැටියට නොසලකන බවය. එමෙන්ම මෙයින් හැඟී යන අනෙක් කාරණය, මේ කියන ගණයේ තවත් “රෝගීන්” 142දෙනෙකු ඇයට පෙර මේ තාක්ෂණය යටතේ කල් තබා ගැනෙන්නේය යන්නය. එක් දේහයක් කල් තබාගන්නට “ක්‍රියොනික්ස් ඉන්ස්ටිටුට්” ආයතනය අමෙරිකා ඩොලර් 35,000ක මුදලක් අයකරන බව දැක්වේ. නමුත් බ්‍රිතාන්‍යය ජාතික දැරියගේ භාරකාරයින්ගෙන් අමෙරිකා ඩොලර් 37,000ක පමණ මුදලක් ලබාගෙන ඇති බව කියැවේ. මේ තාක්ෂණ පහසුකම සපයන වෙනත් ඇමෙරිකා සමාගම් ඇමෙරිකා ඩොලර් ලක්ෂ දෙකක පමණ මුදලක් අය කරන බව මාධ්‍යය වාර්තා පෙන්වා දෙයි.

ක්‍රියොනික්ස් තාක්ෂණය හඳුන්වා දුන් රොබට් ඉන්ටිගර්

ක්‍රියොනික්ස් තාක්ෂණය හඳුන්වා දුන් රොබට් ඉන්ටිගර්

මෘත දේහ මේ ආකාරයට කල් තබාගැනීමේ තාක්ෂණය ලෝකයට හඳුන්වා දුන්නේ අමෙරිකා ජාතික රොබර්ට් ඉටින්ගර් නැමැති භෞතික විද්‍යා ගුරුවරයෙකි. මේ වනවිට ඔහුගේ දේහයත්, ඔහුගේ බිරියන් දෙදෙනෙකුගේ දේහයන් සමඟ සංරක්ෂණය කෙරේ. රොබර්ට් ඉටින්ගර් ලෝකයට දායාද කළේ බෙහෙවින්ම නරක දෙයක්දැයි කියන සැකය මතුවීම වැළක්විය විය නොහැකි දෙයකි. අනාගතයේදී බිහිවන තාක්ෂණයක් ගැන සිතමින් ලෝකයා, නිකරුණේ සම්පත් වනසා ගන්නා සැටි දකින විට එසේ නොසිතෙන්නේ නම් එය පුදුමයකි. අනෙක් අතට, මෘතදේහ කල් තබාගන්නා සමාගම්වලට කොපමණ දේහ ප්‍රමාණයක් මේ විධියට කොපමණ කාලයක් පුරා කල් තබාගත හැකිද යන්න ගැටලුවකි. ඒ වගේම, හැම කෙනෙකුම තමන්ගේ දේහ කල් තබාගන්නා ලෙස ඉල්ලා අධිකරණ තීන්දු මත ක්‍රියා කරන්නට ඥාතීන්ට උපදෙස් දුන්හොත් ලෝකයේ මිය යන අයගෙන් වැඩි දෙනෙකුගේ දේහ මෙහිම පවතිනු ඇත. අනාගත පරම්පරාවලට අවශ්‍ය සම්පත් හිඟයක් එතුළින් මතුවන බව අමුතුවෙන් නොකිව යුතු මනාය. පළමුව අප සඳහන් කළ බ්‍රිතාන්‍යය ජාතික දැරියගේ දේහයට තවත් වසර දෙසීයකින් පමණ ප්‍රාණය ලබාදෙන්නට හැකි වුණේයැයි කියා සිතන්න. එවිට ඈ පළමුව පය තබනු ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේය. ඈ ගැන දන්නා කියන කිසිවකු එදාට එහි නොසිටිනවාට කිසිම සැකයක් නැත. අනෙකක් තබා ඇයව හඳුනා ගත හැකි කිසිවකු බ්‍රිතාන්‍යයයේවත් නොසිටිනවා යැයි කියා අනුමානයෙන් තොරව සිතන්නට පුළුවන. එවිට ඈ මේ මිහිපිට කාත් කවුරුවත් නැති අනාත දැරියක බවට පත්වනු ඇත. තාක්ෂණයේ අවසන් අදියර එතැනදැයි කියා ඉදින් කිසිවකු ප්‍රශ්න කළහොත්, එය කොහෙත්ම අසාධාරණ පැනයක් ද නොවන්නේය.

පෙර ලිපිය: අද්භූත බවෙන් පිරිපුන් සහරාවේ ඇස 

නූතන ලෝකයේ අබිරහස් කතා මාලාවේ පෙර ලිපි සියල්ල සඳහා මෙම සබැඳිය ක්ලික් කරන්න. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි