×

අද්භූත බවෙන් පිරිපුන් ‘සහරාවේ ඇස‘

අවුට්බවුන්ඩ් ටුඩේ වෙතින් ඔබ වෙත ගෙන එන නූතන ලෝකයේ අබිරහස් මාලාවේ 6 වැනි කතාන්දරය


අප්‍රිකාවේ සහරා කාන්තාරය පිළිබඳව කියැවෙන කතා කෙතෙක් ඇසුවත් “සහරාවේ ඇස” ගැන ඔබ අසා නැතිවා වන්නට පුළුවන. අද කතාවට ප්‍රස්තුතය “සහරාවේ ඇස” එහෙමත් නැත්නම් “රිචැට් ව්‍යුහය” යනුවෙන් හැඳින්වෙන සුවිශේෂ සහ අද්භූත භූ ලක්ෂණයයි.

සහරාවේ ඇස යන පදයෙන් කියැවෙන්නාක් පරිද්දෙන්ම මේ කියන භූ ලක්ෂණය තිබෙන්නේ සහරා කාන්තාරයෙහිය. වඩාත් නිශ්චිතවම කිවහොත් එය තිබෙන්නේ මොරිටානියා රාජ්‍යයේ මධ්‍යම පෙදෙසට වන්නට ඇති අවුඩනේ (Ouadane) නැමැති කුඩා නගරයට ආසන්නයෙනි. “සහරාවේ ඇස” කිලෝමීටර 40ක පමණ විශ්කම්භයක් යුතු අඩු වැඩි වශයෙන් වෘත්තාකාර හැඩයක් ගන්නා භූ ලක්ෂණයකි.

කිලෝ මීටර 40 විෂ්කම්භයකට යටත් සරියක් යනු සුළු කොට සැලකිය හැකි පෙදෙසක් නොවේ. එසේ වුවත් ඒ ආසන්නයට ගොස් රිචැට් ව්‍යුහයේ හැඩතල සහ අවශේෂ ලක්ෂණ දැක බලාගන්නට නොහැකි වීම ඇස් උඩ හිඳුවන විශේෂත්වයයි. රිචැට් ව්‍යුහය දැකගත හැකි වන්නේ ගුවනේදී ය. ගුවනේදී යැයි කියා සඳහන් කළත්, වෙසෙසින්ම එය හොඳින්ම සහ හරියටම දැකගන්නට ලැබෙන්නේ අභ්‍යාවකාශයේදී ම පමණි. අභ්‍යාවකාශයට ඉතා හොඳින් දර්ශනය වන නිසා රිචැට් ව්‍යුහය වඩාත් හොඳින් දන්නෝ සහ දකින්නෝ අභ්‍යාවකාශගාමීහුය. මිනිසා අභ්‍යාවකාශයට පිවිසි මුල් අවධිවල සිටම මේ කියන භූ ව්‍යූහය ඔහුගේ ඇස ගැටී ඇතැයි කියා වාර්තාවල තොරතුරු පළව තිබේ. එනිසා අභ්‍යාවකාශගාමීහු එය මඟ සලකුණක් හැටියටත් සලකති. මේ ගුප්ත සහ යෝධ භූ ලක්ෂණය ගැන පළමුවෙන්ම තොරතුරු අනාවරණය වුණෙත් අභ්‍යාවකාශගාමීන් හරහා බව කියැවේ.

රිචැට් ව්‍යුහයට යටත් පෙදෙසේ පාෂාණ කොටස් වෙනස්ම ස්වරූපයක් ගන්නා බව ඒ අසලට නිතර ආ ගිය පුද්ගලයෝ අතීතයේ සිටම දැන සිටියහ. එසේ වුවත් වෙනස් ස්වරූපයක් ගන්නා එම පාෂාණ කොටස් නිසා අමුතු සහ යෝධ භූ ලක්ෂණයක් නිර්මාණය වී තිබෙන වග ඒ කිසිවකු දැන සිටියේ නැත. ඒ ගැන දැනගන්නට ප්‍රමාණවත් වන තරමේ සාක්ෂි පියවි ඇසින් දැකගන්නට ඒ කිසිකෙනෙකුට කිසිදිනෙක ඉඩක් ලැබුණේ ද නැත.

රිචැට් ව්‍යුහය හෙවත් සහරාවේ ඇස ගැන සවිස්තරාත්මක අධ්‍යනයකට මං පෑදුණේ චන්ද්‍රිකා තාක්ෂණය දියුණු වද්දී ය. රිචැට් ව්‍යුහය, චන්ද්‍රිකා ආධාරයෙන් විස්තරාත්මකව ඡායාරූපයට නැඟීම සිදු කෙරිණ. එසේ ලබා ගත් චන්ද්‍රකා ඡායාරූපවලින් දැක්වෙන අන්දමට සහරාවේ ඇස ඉතා අලංකාරය. එම ඡායාරූපවලට අනුව එය, නිල් සහ සුදු පැහැ පාෂාණවලින් නිර්මිත ව්‍යුහයකි. ඒ හැරුණුවිට දුඹුරු සහ කොළ පැහැයන් ඉතා කලාත්මක ආකාරයකට නිල් සහ සුදු පැහැයන් අතර මුසුව ඇත. දුඹුරු පැහැයෙන් දිස්වන්නේ යටි පාෂාණ ස්ථරයක් බව කියැවේ. සුදු සහ සුදු වර්ණයට සමීප කහ වර්ණයන්ගෙන් පෙනෙන්නේ වැලි තලාවන් ය. විද්‍යාඥයන් පවසන අන්දමට මේ වැලි තලාවන් පවතින්නේ වැලි කඳු හැටියටය. එවැනි වැලි කඳු බහුල ලෙස තිබෙන්නේ රිචැට් ව්‍යුහයේ දක්ෂිණ ප්‍රදේශවලට වන්නටයි. නිල් වර්ණයෙන් දිස් වන්නේ අවසාදිත පාෂාණ යැයි කියා හඳුනාගෙන තිබේ. කොළ පැහැය සහිත ප්‍රදේශ, ගස් සහ පඳුරු සහිත පෙදෙස් බව අනාවරණය වී ඇත. කොහොම වුණත් රිචැට් ව්‍යුහය ආසන්නයේ කොළ වර්ණය දකින්නට ලැබෙන්නේ ඉතා සීමිත වශයෙනි. වෙනත් විධියකින් කිවහොත් කොළ පැහැය මුහුව ඇත්තේ ඉතා සියුම් තිත් වශයෙනි. කාන්තාරයේ ගහ කොළ හිඟවීම එයට හේතුවයි.

රිචැට් ව්‍යුහය නිරූපණය කෙරෙන චන්ද්‍රිකා ඡායාරූපයක් වඩාත් විමසිල්ලෙන් පරික්ෂා කර බැලුවහොත් ඒ ආසන්නයේ ගංගා වැනි භූ ලක්ෂණ තිබෙන බවක් කෙනෙකුට අවබෝධ වන්නට පුළුවන. සත්‍ය වශයෙන්ම ඒවා දිය පිරූ අගල් වැනි තැන් මිස ගංඟාවක් හැටියට අර්ථ දක්වන භූ ලක්ෂණ නොවේ. එවැනි දිය අගල් හැරුණුවිට තාවකාලික විල් ද සහරාවේ ඇස වටා අදටත් දැකිය හැකිය. විල් මෙන්ම කලින් සඳහන් කළ ගංඟා හා සමාන භූ ලක්ෂණ දියෙන් පිරෙන්නේ වැසි කාලවලදී පමණි. වැසි සමය අවසන් වී සති කිහිපයක් ගෙවී යෑමත් සමඟම ඒවායේ ජලය සිඳී යයි. එනිසා එකී භූ ලක්ෂණ වසරෙන් සෑහෙන කාලයක් පවතින්නේ වියළි තත්ත්වයෙන් බව විද්‍යඥයෝ පවසති.

රිචැට් ව්‍යුහය කෙසේ සම්භවය වී ද ගැටලුව විද්‍යාඥයන්ට අදටත් විසඳා ගන්නට බැරිව ගොස් ඇත. අන් අයුරකින් දැක්වුව හොත් විසඳා ගන්නට බැරිව ගොස් තිබෙන්නේ රිචැට් ව්‍යුහය මේ මහා පොළොව මත පළමුවෙන්ම කෙසේ ඇතිවීද යන ගැටලුවයි. උල්කාපාතයක බලපෑමකින් ඇතිවුණු තත්ත්වයක් හැටියට රිචැට් ව්‍යුහය ඇතිවී යැයි කියා සමහර විද්‍යාඥයෝ කාලයක් ප්‍රකාශ කළහ. නමුත් මේ මතය වැඩි කාලයක් නොගොස් බිඳ වැටිණ. ඒ මතය බිඳ වැටෙන විට තවත් විද්‍යාඥයන් පිරිසක් කියා සිටියේ ආග්නේය පාෂාණවල බලපෑමක් නිසා හෝ ගිනිකඳු පිපිරීමක් නිසා හෝ මෙවැනි භූ ව්‍යුහයක් ඇතිවන්නට ඇතැයි කියාය. මේ විද්වතුන් දෙපිරිසටම අමතරව තවත් විද්වත්හු පිරිසක් එයට හාත්පසින්ම වෙනස්, වෙනත් මතයක් ඉදිරිපත් කළහ. එනිසා ආග්නේය පාෂාණවල බලපෑමක් නිසා හෝ ගිනිකඳු පිපිරීමක් නිසා හෝ රිචැට් ව්‍යුහය ඇතිවුණි යැයි කියන මතය වැඩි කාලයක් දරන්නට විද්‍යාඥයන්ට ඉඩක් ලැබුණේ නැත. එයට තවත් හේතුවක් වූයේ ආග්නේය පාෂාණවල බලපෑමක් නිසා හෝ ගිනිකඳු පිපිරීමක් නිසා රිචැට් ව්‍යුහය ඇති වී යැයි කියා තහවුරු කර දක්වන්නට අවශ්‍යය සාක්ෂි සොයාගන්නට ඒ මතය ඉදිරිපත් කළ විද්වතුන් අපොහොසත්වීමය. යට කී නව මතය ඉදිරිපත් කළ විද්වතුන් පෙන්වා දුන්නේ භූ කම්පනයක් නිසා ඇතිවුණු පාෂාණමය ව්‍යුහයක් දිගින් දිගටම පාංශු ඛාදනයට ලක්වීම නිසා රිචැට් ව්‍යුහය ඇති වුණු බවකි. පාංශු ඛාදනය සිදුව තිබෙන්නේ සුළඟ සහ ජලය යන සාධක හේතුවෙන් බවත් ඒ විද්‍යාඥයෝ පෙන්වා දුන්හ.

The prominent circular feature in the Sahara desert of Mauritania | Nasa

The prominent circular feature in the Sahara desert of Mauritania | Nasa

මේ අතර සහරාවේ ඇස ගැන දිගින් දිගටම පර්යේෂණ පැවැත් වූ පර්යේෂකයෝ පිරිසක් එහි ඇති පාෂාණ කවර කාලයකට අයත්දැයි කියා තීරණයකට එළඹියෝය. ඔවුන් පෙන්වා දෙන පරිදී රිචැට් ව්‍යුහයේ ශිඛරය කොටසේ ඇති අවසාදිත පාෂාණ ප්‍රොටෙරොසොයික් (Proterozoic) නමින් හැඳින්වෙන භූ විද්‍යාත්මක කාල පරිච්චේදයේ පසු භාගයට අයත් වේ. පශ්චාද් ප්‍රොටෙරොසොයික් යුගය යනු මෙයට වසර බිලියන 2.5කට පමණ පළමු කාලයයි. රිචැට් ව්‍යුහයේ පරිධියේ දාරය දෙසට වන්නට ඇත්තේ ඔර්ඩොවිසියන් (Ordovician) යුගයට අයත් වැලි ගල් බවත් මේ පිරිස පෙන්වා දුන්හ. ඔර්ඩොවිසියන් යනු යනු මෙයට වසර මිලියන 480කට පමණ ඉහත යුගයයි. මේ කාල නිර්ණය අනුව පෙනෙන්නේ අදින් වසර මිලියන සිය ගණනකට පෙර සිට රිචැට් ව්‍යුහය කොටස් වශයෙන් ඇතිවුණු බවකි. ඒ වගේම වසර මිලියන සිය ගණනක් තිස්සේ එය පාංශු ඛාදනයන්ට ද ලක්වී ඇති වී බව තහවුරු වේ. මේ මතය වුව විවිධ තර්කයන්ට ලක් වන බව මෙහිලා අපි අමතක නොකළ යුතුවෙමු. ඊට එරෙහිව නැඟෙන ප්‍රධානම තර්කය නම්, මේ කියන භූ ලක්ෂණයට, ආසන්න වශයෙන් වෘත්තාකාර ස්වරූපයක් හිමිවුණේ කෙසේද යන්නයි. නැත්නම්, එවැනි හැඩයක් මතුවන තුරු වසර මිලියන ගණනක් තිස්සේ පාංශු ඛාදන ක්‍රියාවලිය සිදුවුණේ කුමන කාරණයක් මුල්කරගෙන ද යන්නයි.

වර්ග කිලෝමීටර ලක්ෂ 94 ක් විශාල සහරාව ගැන අධ්‍යයනය නොකර මේ ව්‍යුහය ගැන පමණක් අධ්‍යයනය කරන්නට පුළුවන්කමක් නැති බව තවත් සමහර විද්වතුන්ගේ මතයයි. ඔවුන් කියන ආකාරයට කලින් කලට සහරාවේ භූ ලක්ෂණ වෙනස් වී ඇත. එවැනි වෙනස්කම් ඇති වී තිබෙන්නේ සහරාවට බලපෑ දේශගුණ තත්ත්ව කරණ කොට ගෙනයි. වසර හතළිස් දහසකට පළමුව සහරාවේ ඉතා විශාල විල් තිබුණ බව ඔවුහූ එහිදී නිදසුන් සමඟ ගෙනහැර දක්වති. වැඩි දුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ රිචැට් ව්‍යුහයට දකුණෙන් සහ නැගෙනහිර දෙසින් ද එවැනි විල් තිබුණ බවට සලකුණු ඇතැයි කියාය. නමුත් ඒ විල් අද අපට දක්නට ලැබෙන්නේ නැත. දේශගුණ විපර්යාස නිසා භූ ලක්ෂණ ඇතිවීම සහ නත්විම සිදු වී නම් රිචට් ව්‍යුහයට ඇතිවන්නට ඇත්තේත් එවැනි විපර්යාස දාමයක මූලිකත්වයෙන් බව ඔවුහූ පෙන්වා දෙති.

රිචැට් ව්‍යුහය සම්බන්ධයෙන් තිබෙන විද්‍යාත්මක මත වගේම සාමාන්‍යය ජනයා ඒ ගැන දරණ මතත් මෙහිලා වැදගත්වේ. ඇතැම් පිරිස් සඳහන් කරන ආකාරයට රිචැට් ව්‍යුහය පිටසක්වල ජීවීන්ගේ වැඩකි. සහරා කතරේ මෙවැනි ව්‍යුහයක් සකසන්නට පෙළඹී තිබෙන්නේ සීබා නැමැති ග්‍රහලෝකයට (Planet Zeeba) අයත් ජීවීන් පිරිසක් බව මේ මතය දරණ පිරිස් කියා සිටිති. සීබා නමින් හැඳින්වෙන ග්‍රහලෝකය කෙබඳු ආකාරයේ එකක්ද? එය පිහිටියේ කොහිද?. එහි ජීවින් සිටින බව විද්‍යාත්මකව තහවුරු වී තිබේද?. මෙහි පැමිණ රිචැට් ව්‍යුහය තැනීම වැනි කාර්යයක් කරන්නට ඒ ජීවීන් තාක්ෂණය අතින් පොහොසත්ද?. ජීවීන් එහි සිටින බව තහවුරුව ඇත්නම් ඒ ජීවීන්ම සහරාවට පැමිණ රිචැට් ව්‍යුහය තනන්නට ඇතැයි කියා කියන්නේ කෙසේද? ඒ වගේම ඔවුන් මේ ව්‍යුහය තනන්නට ඇත්තේ කවර ආකාරයේ ලාභයක්, ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන්ද? යනාදී ගැටළු රැසක් මතුවේ. මේ එක ගැටළුවකටවත් හරියාකාර උත්තරයක් නැත. ඒ තබා රිචැට් ව්‍යුහය හෙවත් සහරාවේ ඇස ගැන නැඟෙන ප්‍රශ්නවලටවත් විද්‍යාත්මකව නිසි විවරණයක් නැත.

නූතන ලෝකයේ නොවිසඳුණු අබිරහස් මාලාව – පෙර ලිපි මෙතැනින් කියවන්න..

05- සයිබීරියාවේ තුන්ගුස්කා අබිරහස

04 – පෝලන්තයේ කුදු ගැසුණු පයින් වනයේ අබිරහස

03 – පෙරුම් පිරුවත් යන්න බැරි ‘ක්ලබ් තර්ටි ත්‍රී‘

02- කවදාවත් විවෘත කරන්න බැරි – කොරියාවේ අද්භූත හෝටලය

01- කසකස්ථානයේ නිද්‍රා නිම්නයේ අබිරහස



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි