×

කවදාවත් විවෘත කරන්නට බැරි – කොරියාවේ අද්භූත හෝටලය

තිස් වසරක් තිස්සේ යන එන මං නැතිව සිටින මහේශාක්‍යයකුගේ ඉරණම


විද්‍යාව කෙතරම් දියුණු තැනක තිබුණත් ඒ විද්‍යාව පාවිච්චියට ගෙන ලිහා ගන්නට බැරිවුණු ගැට මේ මහ පොළොව මත, මේ සියවසේදීත් ඕනෑ තරම් ය. එය එක අතකින් විශ්වාස කරන්නට බැරි තරමේ අද්භූත තත්ත්වයකි. අප දැන් මේ කියන්නට යන රයි ගයොන්ග් (Ryu Gyong) එහෙමත් නැත්නම් යූ කියුන්ග් (Yu – Kyung) නමැති උතුරු කොරියා හෝටලයේ කතාව ඔබ ඒ නිසාම කියවිය යුතුව ඇත. විද්‍යාවෙන් ලිහන්න බැරි වුණු ගැටවල තරම එවිට ඔබට ඒත්තු යනු නිසැකය.

උතුරු කොරියාවේ රයි ගයොන්ග් හෝටලය, එසේ මෙසේ ගොඩනැඟිල්ලක් නොව ආසියාවත්, ලෝකයත් හෙල්ලූ ගොඩනැඟිල්ලකි. තට්ටු 105කින් සමන්විත මේ ගොඩනැඟිල්ල පිහිටා තිබෙන්නේ උතුරු කොරියාවේ යොන්ග් යොන්ග් නගර මධ්‍යයෙහිය. රයි ගයොන්ග් ගොඩනැඟිලි සංකීර්ණය හෝටලයක් හැටියට නම් කෙරුණත් එය සත්‍ය වශයෙන්ම නිවාස, හෝටල්, ව්‍යාපාරික ස්ථාන සහ ආපනශාලා යනාදියෙන් සමන්විත කුලුනක් හැටියට හඳුන්වන්නට පුළුවන. අනෙක් අතට එය අහස සූරන ගොඩනැඟිල්ලකි.

රයි ගයොන්ග් ගොඩනැඟිල්ල තැනීමේ මහා ව්‍යාපෘතිය ආරම්භ කරන්නට අත්තිවාරම වැටුණේ 1987 වසරේදීයැයි සඳහන් වේ. උතුරු කොරියා බළධාරීන්ට වුවමණා වුණේ ව්‍යාපෘතිය ඉක්මනින්ම නිම කර විදේශ ආයෝජකයන් බුරුතු පිටින් එයට අද්දවා ගැනීමට ය. අමෙරිකා ඩොලර් මිලියන 230ක විදෙස් ආයෝජනයන් ඉලක්ක කරගෙන ඔවුහූ එකල කටයුතු කළහ. අපේක්ෂිත ආයෝජන ඒ විධියටම ළඟා කරගනු වස් නූතන සමාජයට ගැලපෙන තාලයේ විනෝදාස්වාද වැඩපිළිවෙලක් ගොඩනැඟිල්ල තුළ ඇති කිරීමට ආයෝජකයන්ට දිරිදිය යුතු යැයි උතුරු කොරියා බලධාරීහු කල්පනා කළහ. එහි හෝටල පවත්වාගෙන යන්නට ඉදිරිපත් වන විදේශ ආයෝජකයන් කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කරන්නට සැලසුම් කරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය විණ. මේ සියලු බලාපොරොත්තු ඉස්සර කරෙගෙන අහස සූරන ගොඩනැඟිල්ලේ ඉදි කිරීම් 1987 වසරේදී ආරම්භ වූයේය. ඉඳිකිරීම් භාරව කටයුතු කළේ, ගෘහ නිර්මාණ සහ ඉංජිනේරු කටයුතු සම්බන්ධයෙන් උතුරු කොරියාවේ නමක් දිනාගෙන සිටි “බයික්ඩූසන්” නැමැති සමාගමයි.

ඉඳිකිරීම් අවසන් කළ පසු අහස සූරන මේ ගොඩනැඟිල්ල ඉතාමත් ආකර්ෂණීය පෙනුමකින් යුක්ත එකක් වනවාට කා තුළවත් සැකයක් තිබුණේ නැත. සැලසුමේ හැටියට එය ඉදිවිය යුතුවුණේ පිරමිඩයකට සමාන ස්වරූපයකිනි. මේ ගොඩනැඟිල්ලේ සම්පූර්ණ උස මීටර 330ක් සහ පළල මීටර 18ක් වියයුතු බවටත් නිගමනය කර තිබිණ. ගොඩනැඟිල්ලෙහි මුදුනත ත්‍රිකෝණාකාර කොටස පමණක් මීටර 40ක් උසට ඉදි කළයුතු වූයේය. එමඟින් ගොඩනැඟිල්ලට මනරම් පෙනුමක් ලැබෙනු ඇතැයි කියා ගෘහනිර්මාණ ශිල්පියෝ අපේක්ෂා කළහ. අංශක 75ක ආනතියක් සහිත මේ ගොඩනැඟිල්ලේ ඇතැම් මහල් භ්‍රමණය වන අන්දමට සකස් කරන්නටත් සැලසුම් කර තිබිණ. මෙයට තිස් වසරකට එහා කාලය ගැන සිතන විට එය, ප්‍රශස්ත තාක්ෂණ භාවිතයක් වූවාට සැකයක් නැත.

රයි ගයොන්ග්හි අන්තර්ගත කරන්නට සැලසුම් කළ හෝටල පද්ධතියට අයත් කාමර ප්‍රමාණය 3000කට අධික වූයේය. එහෙත් එය නිශ්චිතවම කොපමණ ප්‍රමාණයක්ද යන්න ගැන නොකියැවේ. 7000 ඉක්මවා යන කාමර ප්‍රමාණයක් තනන්නට සැලසුම් කෙරුණු බවකුත් ඇතැම් තැනෙක සඳහන්ව ඇත. කෙසේ වුවත් මේ කියන සැලසුම ප්‍රකාරව, ඉඳිකිරීම් ආරම්භ කළ කාල සීමාවේදීම ගොඩනැඟිල්ල ඉදිකර මුළුමනින්ම හමාර වූවා නම් එය අහස සූරන ගොඩනැඟිලි ගණයට අයත් මහේශාක්‍ය ගොඩනැඟිල්ලක් වන්නට ඉඩ තිබිණ. ඒ වගේම එකල ලොව උසම හෝටල් සංකීර්ණය ලෙස වාර්තා අතරට එක් විය යුතුව තිබුණේත් එයයි. ඉන් මතු, ලොව උසම ගොඩනැඟිලි අතර හත්වන ස්ථානය ද එයට හිමි විය යුතුව තිබුණේය.

රයි ගයොන්ග් හෝටලය ඉදි කිරීමේ කටයුතු අවසන් කර එය 1989 වසරේ ජුනි මාසය වන විට විවෘත කරන්නට හැකිවේයැයි කියමින් උතුරු කොරියා බළධාරීහූ කැට තබා බලාගෙන සිටියහ. නව හෝටලයේ විවෘතයට සමගාමීව දහ තුන්වන ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙල, සැණකෙළියක් ආකාරයට පවත්වන්නටත් ඔවුහූ සිහින මවමින් සිටියෝය. එසේ වුවත් කවුරුවත් නොසිතූ මොහොතක ඒ හීන සෑම එකක්ම වාගේ කෙමෙන් කෙමෙන් බොඳව වී ගියේය. දහ තුන්වන ලෝක තරුණ සහ ශිෂ්‍ය උළෙල සැලසුම් කළ පරිදී 1989 වසරේ ජුලි මාසයේ පළමුවැනිදා සිට අට වනිදා දක්වා යොන්ග් යොන්ග් නුවරදී පැවැත්විණ. එයට පෙරාතුව රයි ගයොන්ග් ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු අවසන් කරගන්නට උතුරු කොරියා බලධාරීන්ට බැරි වූයේය. පුදුමය රජයේ මැදිහත් වීමක්ද සහිත කෙරුණු මේ ව්‍යාපෘතිය අපේක්ෂිත කාල සීමාවේදී තනා නිම කරගන්නට බැරි වීම ය. කොතැනක හෝ සිදුවුණු ප්‍රමාදයක්, අතපසු වීමක් හෝ වරදක් හෝ නිසා එය එසේ සිදු වී යැයි කියා අපි මොහොතකට සිත හදා ගනිමු.

රයි ගයොන්ග් ගොඩනැඟිලි සංකීර්ණය සම්බන්ධ මීළඟ ඉලක්ක වූයේ සැලසුමේ සඳහන් සම්පූර්ණ උසම තනා නිම කිරීමය. එම ඉදි කිරීම් කටයුතු අවසන් කරන්නට සැලසුම් කර තිබුණේ 1992 වසර වන විටයි. නොයෙකුත් අසීරුතා මධ්‍යයේ එම ඉලක්කය සපුරා ගත්ත ද එතැනින් එහාට එහි ඉඳිකිරීම් නිමකරන්නට උතුරු කොරියා බළධාරීන්ට හැකියාවක් ලැබුණේ නැත. එයට හේතු වූයේ සෝවියට් සංගමය කඩා වැටීමත් සමඟම උතුරු කොරියාව තුළ පැන නැඟෙමින් තිබුණු අයහපත් සමාජ – ආර්ථික වාතාවරණයයි. ජපානයේ පළවන පුවත් පතක් වරක් කියා සිටියේ රයි ගයොන්ග් හෝටලයේ වැඩ අවසන් කරන්නට තවත් අමෙරිකා ඩොලර් මිලියන 750කට වැඩි මුදලක් අවශ්‍ය බවකි. එය උතුරු කොරියාවේ එවකට පැවැති දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකක් තරම් ප්‍රමාණයකට සමාන විණ. රටෙහි ඒ වනවිට පැවැති තත්ත්වයද සැලකිල්ලට ගෙන එතෙක් කළ වියපැහැදම් ගැනවත් නොතකා රයි ගයොන්ග් හෝටලයේ ඉදි කිරීම් අත්හැර දමන්නට උතුරු කොරියා පාලන අධිකාරියට අවසානයේදී සිදුවිය. ඒ කාරණය අවධානයට ගත් විට අපට කල්පනා කරන්නට සිදු වන්නේ රයි ගයොන්ග් ගොඩනැඟිලි සංකීර්ණයේ ඉදි කිරීම් එවර සහේතුකව නවතා දමන්නට සිදු වූවා නොවේදැයි කියාය.

https://en.wikipedia.org/wiki/Ryugyong_Hotel

2008 වසරේදී – https://en.wikipedia.org/wiki/Ryugyong_Hotel

එක්දහස් නවසිය අනූ ගණන් අග භාගයේදී – එනම් ඉදි කිරීම් කටයුතු ආරම්භ වීමෙන් දශකයකට පමණ පසුව, යුරෝපා සංගම් වාණිජ මණ්ඩලයේ උතුරු කොරියා ශාඛාවෙහි නිළධාරීහු හෝටලය පරීක්ෂා කර බැලීමට පැමිණියහ. ඔවුන් එය පරික්ෂා කර බලා එදා කියා සිටියේ හෝටලයේ එතෙක් නිමැවුම පවා ඉතා දුර්වල මට්ටමක පවතින බවකි. එහි කොන්ක්‍රීට් ගුණාත්මක වශයෙන් ඉතා නරක තත්ත්වයක තිබී ඇත. ඒ හැරුණු විට ගොඩනැඟිල්ලේ විදුලි සෝපාන, භාවිතයට නුසුදුසු බැව් එම නිළධාරීහු පෙන්වා දුන්හ. මේ කරුණු අනාවරණය වීමත් සමඟම ජාත්‍යන්තර මාධ්‍ය සේවාවන්හි විශේෂ අවධානය රයි ගයොන්ග් හෝටලය වෙත යොමුවන්නට පටන් ගත්තේය. රයි ගයොන්ග් හෝටලයේ ඉඳිකිරීම් පසුපස විශාල අබිරහසක් ඇති බව සමහර මාධ්‍යවේදීහු සිය වාර්තාවලින් දිගින් දිගටම පෙන්වා දුන්හ. තවත් සමහර මාධ්‍යවේදීන් කියා සිටියේ එය භූත අවතාරවලින් ගහන හෝටලයකැයි කියාය. මේ ප්‍රකාශ හරියටම සමාන වුණේ, හෝටලයේ ඉදි කිරීම් පසුපස අද්භූත බලයක් ක්‍රියාත්මක වන්නේයැයි සහසුද්ධයෙන් කීමකට ය.

ලෝක ජනමාධ්‍ය සේවාවන්ගෙන් එල්ල වන භූත සහ අභූත යන දෙපාර්ශවයේම චෝදනා විඳ ගනිමින් සිටි උතුරු කොරියා පාලන අධිකාරිය හෝටලය ගැන මාතෘකාව 2008 වසරේදී නැවත වරක් පෙරට ගත්තේය. අමෙරිකා එක්සත් ජනපදයේ පළවන “ලොස් ඇන්ජලීස් ටයිම්ස්” පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඔවුන් කියා සිටියේ හෝටලයේ ඉඳිකිරීම් ඇණ හිටියේ මුදල් හිඟකමක් නිසා බවයි. එය යටකී භූත සහ අභූත චෝදනාවලට කෙරුණු සරල පිළිතුරු දීමක් විණ.

රයි ගයොන්ග් ගොඩනැඟිලි සංකීර්ණය සම්පූර්ණ කර විවෘත කිරීමේ කාර්යයට උතුරු කොරියා බලධාරීහු 2008 වසරේදී යළිත් වරක් අත ගැසූහ. ඔරාස්කොම් නැමැති ඉතියෝපියා සමාගමකට ඉඳිකිරීම් කටයුතු එවර භාර කර තිබිණ. ගොඩනැඟිල්ලේ ඉතිරි ඉදි කිරීම් සම්පූර්ණ කිරීම සඳහා අමෙරිකා ඩොලර් මිලියන 400ක පමණ මුදලක් අවශ්‍යය බැව් එකල ඇස්තමේන්තු කර තිබුණේය. එය පියවා ගැනීමට ඉතියෝපියා සමාගම සහ උතුරු කොරියාව අතර විශේෂ ගිවිසුමක් ද අත්සන් කෙරිණ. ඉතියෝපියා සමාගමට උතුරු කොරියාව තුළ විදුලි සංදේශ කටයුතු පවත්වාගෙන යෑමට එමඟින් අවසරය ලබා දෙන ලදී. මේ තුරුම්පුවෙන් උතුරු කොරියා බලධාරීන් බලාපොරොත්තු වුණේ 2012 වනවිටවත් හෝටලයේ වැඩකටයුතු අවසන් කිරීමටය. උතුරු කොරියා පාලකයකුව සිට නැසීගිය දෙවන කිම් සුන්ග්ගේ සියවන ජන්ම සංවත්සරයට සමගාමීව “අත්භූත හෝටලය” විවෘත කිරීමට හැකි වුවහොත් කියන සැලසුමත් ඔවුන් තුළ නොතිබුණාම නොවේ. ඉතියෝපියා සමාගමට එකී ඉලක්කයත් ලබා දී තිබිණ. සමාගමත් එම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණෙන් ගොඩනැඟිල්ලේ ඉතිරි ඉදිකිරීම් කටයුතු ඇරඹුවේය. ගොඩනැඟිල්ලේ එතෙක් නොකෙරුණු ඉඳිකිරීම් රැසක් ඉතියෝපියා සමාගමේ මැදිහත්වීමෙන් නිමවිණ. අනෙකක් තබා පළමුවරට ගොඩනැඟිල්ල අභ්‍යන්තරයේ ඡායාරූප පවා ජාත්‍යන්තර මාධ්‍ය සේවා වෙත නිකුත් කරන්නට පියවර ගෙන තිබුණේ එම ඉදිකිරීම් සිදුවන අතරතුරදී ය. කොහොම වුණත් බාලගිරි දෝෂය නැවත වරක් පැන නැඟුණේ කිසිවකු නොසිතූ පරිද්දෙනි. උතුරු කොරියා පාලන අධිකාරිය අපේක්ෂා කළ ආකාරයට 2012 වසරේ පැවැති සැමරුම්වලට සමගාමීව රයි ගයොන්ග් හෝටලය විවෘත කරගන්නට බැරි විණ. ඒ බැරිවීම කෙසේ විස්තර කරන්නදැයි කියා අපි නොදනිමු. ඇති වූ අනපේක්ෂිත තත්ත්වය වසා ගැනීමේ අරමුණද ඇතිව උතුරු කොරියා බළධාරීන් එවර ප්‍රකාශ කර සිටියේ 2013 වසරේ මාර්තු මාසයේදී හෝටලය විවෘත කෙරෙන බවකි. බළධාරීන් මේ ප්‍රකාශය කළේ කෙම්පින්ස්කි නැමැති අන්තර්ජාතික හෝටල් දාමය, රයි ගයොන්ග්හි ගොඩනැඟිල්ල ගැනීම සම්බන්ධයෙන් ලබා දී තිබුණු පොරොන්දුව ප්‍රකාරවයි. කරුමයකට මෙන්, කෙම්පින්ස්කි හෝටල දාමයට වගේම උතුරු කොරියා බලධාරීන්ටත් මේ “ඩීල් එක” තුළ අග මුල පැටලී තිබිණ. එනිසා රයි ගයොන්ග් ගොඩනැඟිලි විවෘතය එවරත් ප්‍රකාශයක් බවට පත් වී නිමා විණ.

එතැන් පටන් අද දක්වාම රයි ගයොන්ග් ගොඩනැඟිල්ල උතුරු කොරියාවේ යොන්ග් යොන්ග් නගර මධ්‍යයයේ හුදකලා වී ඇත. මේ අතර හදිසියේම වාගේ පසුගිය මැයි මාසයේදී මේ ගොඩනැඟිල්ලේ කොටසක් එල්.ඊ.ඩී. විදුලි පහන් මඟින් ආලෝකවත් කෙරුණු බැව් සඳහන් වන ප්‍රවෘත්තියක් ඡායාරූප සමඟ අන්තර්ජාතික මාධ්‍යය සේවාවන්හි පළවිණ. කවර අරමුණක් ඇතිව එවැන්නක් සිදු කළේද යන්න ගැන ස්ථිර වාර්තාවක් නැත. කොහොම වුණත් අදටත් මේ හෝටලය හැඳින්වෙන්නේ “අත්හැර දමන ලද ලොව විශාලතම හෝටලය” හැටියටයි.

nknews.org

nknews.org

තමන් සතු න්‍යෂ්ටික තාක්ෂණයේ දියුණුව මිසයිල එහාට මෙහාට යවමින් ලෝකයට පෙන්වන උතුරු කොරියාවට රයි ගයොන්ග් ගොඩනැඟිල්ලේ වැඩ නිම කර ආදායම් උත්පාදන තැනකට පැමිණවීම ඒ හැටි කජ්ජක් විය නොහැකිය. එය යතාර්ථයක් නොවන්නේ කවර අරුමයක් නිසාද යන්න බොහෝදෙනෙකුට ඇති ගැටලුවයි. භූමි දෝෂයක්ද? ඇරඹුම් නැකතේ වරදක්ද? එහෙමත් නැත්නම් වාස්තු විද්‍යාවට සහ ජ්‍යෝතිෂයට අනුකූලව ගොඩනැඟිල්ල සැලසුම් කෙරී නැත්ද? – මේවා උත්තර නැති ප්‍රශ්න ය.

පෙර අබිරහස –

කසකස්ථානයේ නිද්‍රා නිම්නයේ අබිරහස 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි