ඒ වගේම සුනඛයා තරම් තමන්ගේ ස්වාමියාට පක්ෂපාත, ආදරය කරන තවත් සතෙක් මේ ලෝකයේ නැති බවටත් කිසිම තර්කයක් නෑ.
බුදුන් උපන් නේපාලය පසුකාලීනව නොයෙක් ඇදහිලි ක්‍රමවලින් වෙළී ගිය බව හැම කෙනෙක්ම දන්නා කාරණයක්. හින්දු ආගම පසුකාලීනව නේපාලයේ ප්‍රධාන ආගම බවට පත් වෙනවා. ඒ වගේම විවිධ ඇදහිලි සහ විශ්වාස ක්‍රම නේපාල ජන සමාජය වෙළා ගන්නවා… ඒ විශ්වාසයන්ගෙන් සමහරක් අදටත් ඒ ලෙසටම පැවතගෙන එනවා. සුනඛයන් සහ මේ විශ්වාසයන් අතර තිබෙන තවත් සම්බන්ධයක් ගැනයි, මේ ලිපියෙන් ඔබට කියන්නෙ.
නේපාලය හැම අවුරුද්දකම ‘සුනඛයාගේ දිනය‘ක් සමරනවා. ඒක දින පහක උත්සවයක්. උත්සවයේ නම ‘තිහාර්“. කුකුර් තිහාර් කියලත් මේකට කියනවා.
මේ උත්සවයේදී සුනඛයන්ගේ නළලේ රතු පාටින් තිලකයක් තියනවා. ඒ තිලකයට කියන්නේ ‘ටිකා‘ කියලයි.
ඒ විතරක් නෙවෙයි, තිහාර් උත්සවයේදී හැම සුනඛයෙකුටම මල් තෑගි දෙනවා. උන් කන්නට කැමතිම රසවත් කෑමත් ලබාදෙනවා. මස්, මාළු, කිරි, බිත්තර වගේ රස කෑම ලැයිස්තුවක් මේකට අයත්.
මේ සැලකිලිවල පදනම, අර කලින් කිව්ව වගේ හින්දු ආගමේ බලපෑමක්. හින්දු ආගම අනුව සුනඛයා කියන්නෙ යම රජුගෙ පණිවුඩකරුවා. යමරජ්ජුරුවො කියන්නෙ මරණයේ දෙවියන් බවට හැම සංස්කෘතියකම පාහේ විශ්වාස කෙරෙනවා. ඒ නිසා සුනඛයන්ව තරහ කරගන්න නරකයි. එහෙම වුණොත් යම රජ්ජුරුවො තමන් එක්ක කෝප වෙනව කියල නේපාල ජාතිකයො විශ්වාස කරනවා. යම රජුව සතුටු කිරීමේ අරමුණින් තමයි, මේ විදිහට සුනඛයන්ට සුර සැප දෙන්න ඔවුන් උත්සුක වෙන්නෙ.
සමහරු මේ උත්සවය ඉන්දියාවෙ දීපවාලි උත්සවයට සමාන කරනවා. දීවාලි, එහෙමත් නැතිනම් දීපවාලි උත්සවය (ආලෝක උත්සවය) පවත්වන්නෙත් මේ උත්සවය පවත්වන කාල වකවානුවෙදිම තමයි.
තමන්ගෙ ගෙදර ඇති දැඩි කරන සුනඛයන් විතරක් නෙවෙයි, පාරෙ අයාලේ යන සුනඛයන්ටත් මේ දවස්වල මේ විශ්වාසයන් නිසා සුර සැප ලැබෙනවා. බළලුන්ටත් මේ වාසනාව හිමිවෙන අවස්ථා නැතුවාම නොවෙයි.
මේ උත්සවය වෙනුවෙන් නේපාල ජාතිකයො බොහොම උනන්දුවෙන් ලක ලැහැස්ති වෙනවා. ඔවුන් තමන්ගේ ගෙවල් දොරවල්, මිදුල ආදිය විශේෂයෙන් අමදිනවා. සුද්ද පවිත්‍ර කරනවා. ගෙදර පුරාම පහන් දල්වනවා. මේ ක්‍රමය මගින් ධනයට අධිපති ලක්ෂ්මී දේවතාවියගේ බැල්ම තමන්ට ලැබෙන බව ඔවුන් විශ්වාස කරනවා.
ලක්ෂ්මී දෙවඟනට යාඥා කරන්නටත් ඔවුන් අමතක කරන්නේ නැහැ. තමන්ගේ නිවසට ඇවිත්, ආශිර්වාදය ලබාදෙන්න කියල ඔවුන් ලක්ෂ්මී දේවතාවියගෙන් ඉල්ලා සිටිනවා.
ඡායාරූප – මෙම උත්සවයේදී සුනඛ හිමිකරුවන් විසින් සමාජ ජාල වෙත එක් කරන ලද ඡායාරූප වේ.