මහ නූතන පරිගණක විද්‍යාවේ පියා ලෙස සලකන, සමකාමියෙකු වීමේ වරදට සමාජය විසින් සයනයිඩ් කා මියයාමට සැලැස්වූ ඇලන් ටියුරින් මේ ලැයිස්තුවේ ඉහළින්ම සිටියි.
මෙවර මේ සඳහා නාමයෝජනා 174,112 ක් ලැබී ඇති අතර, එයින් නම් 114,000 ක් ඒ සඳහා සුදුසුකම් ලබා සිටිති. එම සුදුසුකම් වන්නේ සැබවින්ම සිටි, එහෙත් දැනට ජීවතුන් අතර නැති, එක්සත් රාජධානියේ විද්‍යා ක්ෂේත්රය කෙරෙහි සැලකිය යුතු දායකත්වයක් ලබාදී ඇති අයෙක් වීමයි .
මෙවර සුදුසුකම් ලැබූ ලැයිස්තුවේ සිටින අය අතරින් කාන්තාවන් මෙන් තුන් ගුණයක් පිරිමි අය වෙති.
මෙවර ලැයිස්තුවට මාග්‍රට් තැචර් එක් වී සිටීමත් විශේෂත්වයකි. ඇය බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරියක ලෙස ලෝකය දනිතත්, ඇත්ත වශයෙන්ම ඇය දේශපාලනයට පිවිසීමට පෙර විද්‍යාඥවරියකි. ඇය ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් රසායන විද්‍යාව හදාරා වෙස්ට් ලන්ඩනයේ ජේ.ලියොන්ස් ඇන්ඩ් කෝපරේෂන් හි ආහාර පර්යේෂණ රසායන විද්‍යාඥවරියක ලෙස මහත් කීර්තියක් ඉසුළූ අයෙකි. එහිදී ඇය කේක් සහ අයිස්ක්‍රීම් පිරවුම් වල ගුණාත්මක බව ගැන වැදගත් පර්යේෂණ රැසක් සිදුකර තිබේ. ඇතැමුන් පවසන ආකාරයට ලියොන් සමාගම විසින් වෙළඳපොළට ඉදිරිපත් කළ සොෆ්ට් අයිස්ක්‍රීම්වල නිර්මාතෘවරිය වන්නේ ද ඇයයි. කෙසේ නමුත් මේ බව නිල වශයෙන් සනාථ වී නැතැයි රාජකීය සමාජයේ ජර්නලයක් සඳහන් කරයි.
මාග්‍රට් තැචර් විද්‍යාඥවරියක ලෙස..
පහත දැක්වෙන්නේ ඇලන් ටියුරින් සහ මාග්‍රට් තැචර් හැරුණු විට නව නෝට්ටුවේ රුව සැරසීමට සුදුසුකම් ලබාසිටින සෙසු විද්‍යාඥයන් අතරින් ඔබ දන්නා හඳුනන කිහිප දෙනෙකි.
දැනට පවතින තත්වය අනුව මහා බ්‍රිතාන්‍යයේ අලුත් පවුම් 50 නෝට්ටුවේ රුව සැරසීමට මේ අය අතරින් වැඩිම ඉඩක් තිබෙන්නේ ස්ටීවන් හෝකින්ස් වෙත ය. නොබෙල් සම්මානලාභී රසායන විද්‍යාඥ ඩොරති හොජ්කින්, ඇලන් ටියුරින්, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්, රොසලින්ඩ් ෆ්රෑන්ක්ලින් ද මේ තරගයේ ඉදිරියෙන්ම සිටිති.
මේ අතර, මේ සඳහා දෙසැම්බර් 14 වැනිදා වන තෙක්ම නාමයෝජනා කැඳවීම අවසන් නොවේ.
අවසන් තීරණය දෙනු ලබන්නේ එංගලන්ත මහ බැංකුවේ ‘බැංකු නෝට්ටු උපදේශන කමිටුව‘ විසිනි.
කෙසේ නමුත් මෙම තේරීම් පටිපාටියේ නිර්ණායකයක් ලෙසට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වී විද්‍යාවට විශාල මෙහෙයක් සිදුකළ අය අන්තර්ගත නොවීම මේ වන විට විවේචනයට ලක් වී තිබේ. වාර්ගික සුළුතරයන් ද නොසලකා හැරි ඇති බවට චෝදනා නැගේ.
මේ වන විට බ්‍රිතාන්‍යයේ භාවිතා වන්නේ 2011 වසරේ නිකුත් කරන ලද පවුම් 50 නෝට්ටුවයි. එම නෝට්ටුව සැරසෙන්නේ වාෂ්ප එන්ජිමේ නියමුවන් වන ජේම්ස් වොට් සහ මැතිව් බූල්ටන් විසිනි.
එම පවුම් 50 නෝට්ටු මිලියන 330 ක් මේ වන විට මහා බ්‍රිතාන්‍යය තුළ සංසරණය වෙමින් තිබේ. ඒවායේ සංකලිත වටිනාකම පවුම් බිලියන 16.5කි.
කෙසේ නමුත් පසුගිය දිනවල අසන්නට ලැබුණේ බ්‍රිතාන්‍යය තුළ අපරාධකරුවන් විසින් මෙම නෝට්ටුව බහුල වශයෙන් භාවිතා කරන බවයි.
පවුම් 50 නෝට්ටුව ‘දූෂිත ප්රභූන්ගේ මුදල් ඒකකය‘ වශයෙන් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවේ හිටපු ප්‍රධාන විධායක පීටර් සෑන්ඩ්ස් විසින් වරෙක හඳුන්වා දී තිබේ. එයට හේතුව ඉහළ පැළැන්තිය විසින් මෙය සියලුම ආකාරවල අපරාධ සහ බදු පැහැරහැරීම් සඳහා යොදාගෙන තිබීමයි.
එනිසා පවුම් 50 නෝට්ටුව භාවිතයෙන් ඉවත් කළ යුතුද යන්න පිළිබඳ පවා විශාල සංවාදයක් ගොඩ නැගී තිබිණි.
කෙසේ නමුත් පසුගිය ඔක්තෝබරයේ නිවේදනය කෙරුණේ හොර නෝට්ටු මුද්‍රණය කිරීම අපහසු වන පරිදි වඩාත් ආරක්ෂිත ලෙස ප්ලාස්ටික්වලින් නැවතත් පවුම් 50 නෝට්ටුව මුද්‍රණය කරන බවයි.
පවුම් 50 නෝට්ටුවේ වටිනාකම, ලංකාවේ මුදලින් රුපියල් 11,500 ක් පමණ වේ.