×

නවසීලන්ත ජනතාවගෙන් ලෝකයේ අන්තවාදීන්ට පාඩමක්

‘‘අපි ඔබට ආදරෙයි!“ එසේ සඳහන් වන්නේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් වෙත ඊයේ එල්ල වූ අන්තවාදී ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් එසේ සිය සංවේගය පළ කර සිටින්නේ නවසීලන්ත වැසියන් ය.


ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකාව සහ කැනඩාවේ ද ජනතාව මේ වන විට නවසීලන්ත ජනතාව සමග එක්ව ඒ අන්තවාදී සුදුජාතික ප්‍රහාරකයාට එරෙහිව සිය අප්‍රසාදය සහ, විපතට පත්වූවන් වෙත සිය මානව දයාව ප්‍රදර්ශනය කරමින් සිටිති. උන්මත්තක ප්‍රහාරකයන් කුමක් කීවද, ඔවුන් සජීවී විකාශයක් ලබාදීමට තරම් විකෘති මානසික තත්වයකින් සිටියේ වුවද, මනුෂ්‍යත්වයට කිසිදු ආගම් හෝ ජාති භේදයක් නොමැති බව ඔවුහු පැහැදිලිවම මේ මොහොතේ පෙන්වමින් සිටිති.

ඒ අනුව ලොව පුරා මුස්ලිම් පල්ලි අබියස විපතට පත්වූවන් හට වෙන් වූ මල් කළඹ සහ ශෝක ප්‍රකාශවලින් වැසී යමින් තිබේ.

නවසීලන්ත මුස්ලිම්වරුන්ට ප්‍රහාරකයාගේ ඉලක්ක බවට පත්වූ පල්ලි තුළට යාමට නොහැකි නමුත්, ඔවුහු හැකිතාක් ඒ සමීපයටම ගොස් මල් කළඹ තබා යති. කළ යුත්තේ ලෙයට ලෙය අයදිමින් පළි ගැනීම නොවන බව ඔවුන්ට වැටහීම, ට්‍රම්ප්ගේ අන්ත දක්ෂිණාංශික අන්ධකාර වළාකුළෙන් හිටිහැටියේ මතුවූ රිදී රේඛාවයි.

අල් නූර් මස්ජිදය අසල පිරී යන මල් කළඹ| Photograph: Jorge Silva/Reuters

මේ වන විට මිය ගිය ගණන 49 දක්වා ඉහළ ගොසිනි. ඔවුන් සෑම අයෙක්ම මුස්ලිම් ජාතිකයන් ය. හයක් හතරක් නොදත් කුඩා දරුවෝ ද ඒ අතර වෙති.  

මේ අතර ට්විටර් සමාජ ජාලය ද ලොව පුරා ජනතාව මිය ගිය හා විපතට පත් මුස්ලිම්වරුන් වෙනුවෙන් පළ කරන ශෝක පණිවුඩවලින් පිරී ගොසිනි.

මේ ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් හි ප්‍රතිචාරයයි.

දෙවන ප්‍රහාරය එල්ල වූ ලින්වුඩ් මස්ජිදය අසල Photograph: Edgar Su/Reuters

බ්‍රිස්බේන් හි තත්වය

‘‘ඔබේ පල්ලියේ දොරටු මැදින් ඇවිද යාමට ඔබට බියක් දැනෙනවා නම් මට කියන්න.. මම ඔබ කැටුව ඔබ සමග එනවා..“ මේ සටහන, මධ්‍යස්ථ සුදු ජාතික නවසීලන්ත වැසියෙකුගෙනි.

ඇමරිකාවේ සියැටල් හි ඉඩ්රිස් පල්ලියේ දොරටුව ද මෙසේ මලින් සැරසී තිබෙන්නේ හෘද සාක්ෂියට ආගම් භේදයක් නැති බව පෙන්වා දෙමිනි.

ඇමරිකාවේ වැන්කුවර් හි මුස්ලිම් ප්‍රජාවට සහාය පළ කරමින්
Al-Masjid Al-Jamia පල්ලිය අසබඩ මලින් සැරසී තිබූ අයුරු

කැනේඩියානුවන් සිය සාතිශය සංවේගය සමග සහයෝගිත්වය පළ කරමින්

බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් හි ප්‍රධාන මුස්ලිම් පල්ලිය අද දිනයේ යාඥා සඳහා විවෘත කරන විට නවසීලන්ත ජාතික මුස්ලිම් තරුණයෙක් පල්ලිය වෙත ඇවිද ආවේය. ක්‍රයිස්ට් චර්ච් වෙත එල්ල වූ ප්‍රහාරය නිසා මුළුමනින්ම බිඳී ගොස්සිටි ඔහු, කඳුළු වගුරවමින් හැඬුවේය. එවිට එහි සිටි මුස්ලිම්වරුන් ඔහු වෙත මල් කළඹක් දී ඒ තරුණයා සනසාලන්නට උත්සාහ කර තිබිණි.

මේ, අද උදෑසන මැන්චැස්ටර් මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පැවති තත්වයයි. ඔවුන් තනි වී නැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි