මෙයට වසර හතරහමාරකට පමණ ඉහතදී අබිරහස් ලෙස අතුරුදහන් වුණු මැලේසියා ගුවන් සේවයට අයත් එම්. එච්. 370 ගුවන් යානය පිළිබඳව තවත් වාර්තාවක් නිකුත් වෙයි. එය, යානයේ පැවැති ආරක්ෂක තත්ත්වය හෙළි කරන ගවේෂණාත්මක වාර්තාවකි. ගුවන් යානය අතුරුදහන් වූයේ කවර හේතුවක් නිසා ද යන්න එම වාර්තාවේ අඩංගු කරුණු කිසිවකින් අනාවරණය නොවන බව මැලේසියා බලධාරීහු පවසති.
වාර්තාව නිකුත් කිරීමට දායක වුණු ගවේෂක කොක් සූ චොන්, ක්වාලාලම්පුර් අගනුවරදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ යානය අනතුරට ලක්වන අවස්ථාවේදී මැලේසියාව දෙසට නැවත ගමන් කරමින් සිටි බවකි. යානය නැවත ගමන් ගන්නා අවස්ථාවට සම්බන්ධ තොරතුරු වෙත ගවේෂකයන්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වී තිබිණ. ඒ අවස්ථාවේදී යානය ගුවන් නියමුවාගේ පාලනයේ පැවැතියේද එහෙමත් නැත්නම් නීති විරෝධී ලෙස ක්‍රියාකළ කෙනෙකුගේ පාලනයේ පැවැතියේද යන්න නිර්ණය කළ නොහැකි බැව් කොක් පවසයි. යානය අතුරුදහන් මොහොත වනවිට ගුවන් නියමුවා සිටියේ කවර මානසික තත්ත්වයක් යටතේද, ගුවන් යානය අකර්මන්‍යව පැවතියේද, යානයේ ක්‍රියාකාරී පද්ධතිය දුරස්ථ පාලනය යටතේ පැවැතියේ කවර ආකාරයෙන්ද යන කාරණා සම්බන්ධයෙන් ද ගවේෂණකයන්ගේ අවධානය යොමු වී තිබිණ.
ඒ කවර කාරණයක් අරභයා ගවේෂණාත්මක සෙවුම් බැලුම් සිදුවුවද ගවේෂකයන් අවසානයේදී පවසන්නේ “… එම්. එච්. 370 ගුවන් යානයේ අතුරුදහන් වීම වගේම එය සෙවීම සඳහා දියත් කළ මෙහෙයුම ද වාණිජ ගුවන් ගමන් ඉතිහාසයේ පෙර නොවූ විරූ දෙයක් …” යනුවෙනි.
අනතුර සිදු වූ 2014 වසරේ මාර්තු 8වැනිදා මැලේසියා වේලාවෙන් පැය 00:41ට පමණ මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් යානය ගුවන් ගත කෙරිණ. පැය හයකට ආසන්න ගුවන් ගමනකින් පසු එය චීනයේ බෙයිජිං කැපිටල් අන්තර්ජාතික ගුවන්තොටුපොළට ළඟා විය යුතුව තිබුණේය. මඟීහු 227දෙනෙක් සහ කාර්යය මණ්ඩලයේ 12දෙනෙක් එහි ඒ වනවිට ගමන් ගනිමින් සිටියහ. යානයත් සුබන්ග් ගුවන් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයත් අතර පැවැති සන්නිවේදන සබඳතා පැය 1.22ට පමණ නතර වූයේය. ඒ අවස්ථාව එළඹෙන විට යානය ගමන් කරමින් තිබුණේ තායිලන්ත බොක්කට ඉහළ අහසේ බැව් තහවුරු විණ. එම්. එච්. 370 ගුවන් යානය අතුරුදහන්ව ඇතැයි කියා පැය 2.40 වනවිට ගුවන් ගමන් බලධාරීහු අවබෝධ කරගෙන සිටියහ. අතුරුදහන් වීම සිදුවන්නට මඳ වෙලාවකට පළමුව යානය නැවත හැරවුමකට හා සමාන ක්‍රියාවලියකට භාජනය වී ඇති බැව් රේඩාර් පද්ධතිවල අඩංගු තොරතුරුවලින් සනාත වූයේය.
එම්. එච්. 370 යානය අතුරුදහන් වී ඇති බැව් සැලවීමත් සමඟම ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය, පිලිපීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, සිංගපූරුව, තායිලන්තය සහ වියට්නාමය ආදී රටවල් රාශියක විශේෂඥයෝ යානය සොයා ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළහ. යානයට කුමක් සිදු වීද යන්න ගැන කිසිදු තොරතුරක් සොයා ගන්නට විශේෂඥයෝ මේ වනතුරුත් අසමත් සිටිති. 2014 වසරේ මාර්තු 24වැනිදා මැලේසියා රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යානය ඉන්දියන් සාගරයට වැටෙන්නට ඇතැයි කියාය. මඟීන් කිසිවකු ජීවිත බේරා ගැනීමට අසමත් වූ බවත් ඒ නිවේදනයෙන් කියැවිණ. මැලේසියා රජය මේ තහවුරුව ලබා දීමෙන් අනතුරුව පවා යානය සොයන මෙහෙයුම් නතර නොකෙරුණේ ය. ගුවන් ගමන් ඉතිහාසයේ සිදු කෙරුණු විශාලතම මෙහෙයුම කෙරුණේත් එම්. එච්. 370 යානයට අත් වූ ඛේදය ලිහා ගැනීම සඳහායි. යානයට කුමක් සිදුවීද යන්න ගැන පැහැදිලි තොරතුරක් ඒ කිසිදු මෙහෙයුමකින් සොයා ගත නොහැකි විණ.
මැලේසියා ගුවන් මෙහෙයුම් පාලන මධ්‍යස්ථාන නිළධාරීන් යානය සමඟ සන්නිවේදන සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලිය අඩුලුහුඬුකම් සහිතව පවත්වාගෙන ගොස් ඇති බව නම් පරීක්ෂණවලින් තහවුරු වූයේය. එහි ප්‍රතිඵලයක් හැටියට මැලේසියා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති අසරුදීන් අබ්දුල් රහ්මන්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට බල කෙරිණ. ඊට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා සිය තනතුරෙන් පසුගිය ජූලි මාසයේදී ඉල්ලා අස් වූයේය.
ඡායාරූප සබැඳුම
https://www.bbc.com/news/world-asia-45021473
සහ
https://www.news.com.au/travel/travel-updates/incidents/malaysias-aviation-chief-quits-over-failures-exposed-in-mh370-report/news-story/2d3e7d91d3d3afaa90c56e98a4bcf65e
—
Silence is argument carried out by other means.