×

ලෝක සාගින්න ඉහළ යයි

ලෝ පුරා සාගින්නෙන් පෙළෙන සංඛ්‍යාව පසුගිය තෙවසර තුළ ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බව නවතම වර්තාවක දැක්වේ.


වාර්තාව ඉදිරිපත් කරන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ලෝක ආහාර වැඩසටහන, යුනිසෙෆ් සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික අරමුදල යන ආයතන ඒකාබද්ධවයි. කුසගින්න වැඩිවීම වසර තුනක් තිස්සේ අඛණ්ඩව වැඩිවීම, අවාසනාවන්ත තත්වයක් බව වාර්තාව ඉදිරිපත් කළ විද්වත්හු පෙන්වා දෙති.

වාර්තාවේ සඳහන් කරුණුවලට අනුව 2017 වසරේදී ලෝක ජනගහනයෙන් මිලියන 821කට ආසන්න සංඛ්‍යාවක් මන්ද පෝෂණයෙන් පෙළී ඇත. ඒ අනුව සෑම පුද්ගලයන් නවදෙනෙකුගෙන් එක් අයෙකුම මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව කිව හැකිය. මන්ද පෝෂණයට ලක් වූවන්ගෙන් මිලියන 151කට ආසන්න සංඛ්‍යාවක් – එනම් 22%ක පමණ ප්‍රමාණයක් වයස අවුරුදු 5ට අඩු දරුවන් වීම බෙහෙවින්ම කණගාටුදායක කාරණයකි. නිසි ආහාර පාන නොලැබීම හේතුවෙන් මේ නොදරුවන්ගේ වර්ධනය මුළුමනින්ම වාගේ අඩාලව ඇති බව වාර්තාවෙහි දැක්වේ. ලෝක ජනගහනයෙන් මෙපමණ සංඛ්‍යාවක් කුසගින්නෙන් හා මන්දපෝෂණයෙන් පෙළෙන්නට ආන්තික කාලගුණ තත්ත්ව හේතුවක් වී ඇති බව විවත්හු පවසති. මේ තත්ත්වය සම්බන්ධයෙන් ගෝලීය මට්ටමේ ක්‍රියාමාර්ගයක් වහාම ගතයුතු බව එම විද්වතුගේ අදහසයි.

මන්ද පෝෂණය හේතුවේ සිදු වූ මරණයක් | Getty Images

මන්ද පෝෂණය හේතුවේ සිදු වූ මරණයක් | Getty Images

ආන්තික කාලගුණික තත්ත්ව හැටියට විද්වතුන් පෙන්වා දී තිබෙන්නේ ගංවතුර, සුළිකුණාටු, දැඩි උණුසුම් කාලගුණ තත්ත්ව සහ නියඟයන් ය. මෙවැනි කාලගුණ තත්ත්ව එක්දහස් නවසිය අනූ ගණන්වල සිට දෙගුණ වෙමින් පවතින බව විද්‍යාඥයන්ට පෙනී ගොස් ඇත. කාලගුණය අයහපත් අතට හැරීම බව බෝග අස්වනු අඩුවන්නට හේතුවක් වී තිබේ. එවිට ආහාර ප්‍රමාණය අඩු වී යයි. මේ නිසා කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන්නට හැකියාව ඇති නිරෝගීමත් සහ ශක්තිමත් පුද්ගලයන් සංඛ්‍යාව අඩු වී යන බවත් තහවුරු වී ඇත. කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් කර ගත් පුද්ගලයන් ජීවත්වන රටවලට කුසගින්න පිළිබඳ ගැටලුව වඩාත් බරපතල ලෙස බලපා ඇති බව අනාවරණය වේ.

කාලගුණ විචලනයන් සහ ආන්තික කාලගුණ තත්ත්ව ලෝකය පුරා ගැටුම් ඇති කරන්නටත් හේතුවක් වන බව වාර්තාව ඉදිරිපත් කළ විද්වත්හු පෙන්වා දෙති. එවැනි ගැටළු ඇති වීමෙන් ආහාර අර්බුධය තව දුරටත් උග්‍ර අතට හැරෙන බව රහසක් නොවේ.

ලෝක ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ කරුණු දක්වන මේ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පෝෂ්‍යදායි ආහාර හේතුවෙන් ලෝකය වාසීන් ස්ථුලතාවය පිළිබඳ ගැටලුවකටත් මුහුණදෙමින් සිටින බවකි. ලෝක ජනගහනයෙන් මිලියන 672කට ආසන්න පිරිසක් ස්ථුලතාවයෙන් පෙළෙති. එය තවත් ප්‍රසාරණය කර දැක්වුවහොත් සෑම පුද්ගලයන් අටදෙනෙකුගෙන් එක් අයෙකුම ස්ථුලතාවයෙන් පීඩා විඳින බවය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි