×

අයින්ස්ටයින් ජාතිවාදියෙක්ද?

‘‘ඔවුන් ජීවත් වන්නේ ගඳ ගසන අපිරිසිදු භූමියක ය. ඔවුන් වැඩ කරන්නේ ස්වල්පයකි. ඔවුන්ට අවශ්‍ය ද ස්වල්පයකි“! - ඇල්බට් අයින්ස්ටයින් ලංකාව ගැන


“They live in great filth and considerable stench down on the ground, do little, and need little.”

මේ මහා භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් හෙවත් සාපේක්ෂතාවාදයේ පියා, 1920 දශකයේදී ලංකාව ගැන තැබූ සංචාරක සටහනයි.

1920 දශකයේදී විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් සිය බිරිඳ එල්සා සමග ඈත පෙරදිග සංචාරයක නිරත විය. එහිදී ඔහු ස්පාඤ්ඤයෙන් ගමන් අරඹා, එවකට ‘සිලෝන්‘ යනුවෙන් හැඳින්වූ ශ්‍රී ලංකාව හරහා චීනයට සහ ජපානයට සංචාරය කළේය.

එහිදී ඔහු නිරන්තරයෙන්ම සංචාරක සටහන් ලියූ අතර, ඒවායින් හෙළිවන්නේ මහා විද්‍යාඥයා සම්බන්ධයෙන් ලෝකය මෙතෙක් නොදැන සිටි කාරණයකි. එනම්, ඇල්බට් අයින්ස්ටයින් තුළ ජාතිවාදී අදහස් තිබූ බව සහ, ක්සීනොෆෝබියාව (xenophobia) හෙවත් විදේශිකයන් කෙරෙහි දක්වන අනියත බියෙන් ඔහු පෙළුණු බව ය.

1922 ඔක්තෝබරය සහ 1923 මාර්තු අතර කාලයේ, එනම් මාස 6 ක් තුළ අයින්ස්ටයින් තැබූ සටහන්වලින් ඔහු මැදපෙරදිග සහ ආසියාවේදී ලද අත්දැකීම් අන්තර්ගත ය. The Travel Diaries of Albert Einstein: The Far East, Palestine, and Spain, 1922-1923 නමැති මෙම සංචාරක සටහන් පොත ප්‍රින්සර්ටන් යුනිවසිටි ප්‍රෙස් ප්‍රකාශනයක් ලෙසින් එළිදක්වා තිබේ. එය, අයින්ස්ටයින් ලේඛන සම්බන්ධව ක්‍රියාත්මක වන කැලිෆෝනියා තාක්ෂණික ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සී‘ව් රොසැන්ක්‍රාස් විසින් සංස්කරණය කරන ලද්දකි.

‍ඒවායේදී ඔහු සෘණාත්මක ලෙස සිය අත්දැකීම් සාමාන්‍යකරණය කරයි. උදාහරණයක් වශයෙන් චීන ජාතිකයන් ව ඔහු හඳුන්වා දෙන්නේ “industrious, filthy, obtuse people” හෙවත්, ‘‘උද්‍යෝගිමත්, අපිරිසිදු, මොට්ට මිනිසුන්‘ වශයෙනි. චීන දරුවන් “spiritless and obtuse” හෙවත් ‘බියසුළු මොට්ටයන්‘ ලෙස හඳුන්වයි. තවත් අවස්ථාවක, චීන ජාතිය ‘අමුතු මිනිසුන් රැළක්‘ බව ද ඔහු කියා තිබේ. චීනයේ ගැහැණුන් සහ පිරිමින් වෙන් කර හඳුනාගත නොහැකි බව ද අයින්ස්ටයින් පවසයි.

ඊජිප්තුවේ සයිඩ් වරායට පැමිණි විට භාණ්ඩ විකිණීම සඳහා තමන් ගමන් ගත් නෞකාවට ගොඩ වූ අපිරිසිදු ඊජිප්තු ජාතිකයන් නිසා තමන්ට දැඩි සේ වමනය ගිය බව ද අයින්ස්ටයින් සඳහන් කරයි.

සාපේක්ෂතාවාදයේ පියා වන මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ චින්තන ධාරාව හේතුවෙන් ලෝකය, අජටාකාශය සහ විශ්වය පිළිබඳ සිතූ අන්දම වෙනස් විය. නමුත් මේ සංචාරක සටහන් පොත නිසා ලොව තුළ කැළඹීමක් ඇති වී තිබුණ ද බොහෝ දෙනා මෙය සලක්නේ අයිස්ටයින් එකල දැරූ පුද්ගලික මතවාදයන් ලෙස ය.

ඇතැම්විට මේ සංචාරක සටහන්වලින් වසර 20 ක් ගිය තැන, බුද්ධිමතෙකු වශයෙන් ලෝකය තව තවත් දකින විට ජාතිවාදය යනු කොතරම් පටු ප්‍රපංචයක්දැයි ඔහුට අවබෝධ වී තිබුණා වන්නට ඇත. උපතින් යුදෙව් ජාතිකයෙක් වූ ඇල්බට් අයින්ස්ටයින් පසුකාලීනව එනම් 1933 වසරේ ඇමරිකාවට පළා ආවේ ලෝක ඉතිහාසයේ බිහි වූ කෘෘරතම ජාතිවාදියා වශයෙන් සැලකෙන හිට්ලර්ගේ යුදෙව් සංහාරයෙන් බේරීමට බව කියැවේ. ඔහු සිය ජීවිතයේ අවසාන භාගයේදී ඇමරිකාව තුළ සිවිල් අයිතිවාසිකම් ප්‍රවර්ධනය සඳහා වැඩ කළේය.

ඇමරිකාවේදී ඔහු National Association for the Advancement of Colored People හෙවත් කළු ජාතිකයන්ගේ දියුණුව සඳහා වූ ජාතික සංගමයේ ද සාමාජිකත්වය ලබාගත්තේය. කළු ජාතිකයන් සමග එකම සිනමා ශාලාවල අසුන් ගෙන සිනමාව රස වින්දේය. සිය මව් රට වූ ජර්මනියේදී යුදෙව්වන්ට සලකන අන්දමත්, කළු ඇමරිකානුවන්ට සලකන අන්දමත් අතර වෙනසක් නැතැයි ඔහු සමීපතමයන් සමග කී බවට ද වාර්තා තිබේ.

1946 වසරේ පෙන්සිල්වේනියාවේ ලින්කන් සරසවියේ පැවැත්වූ දේශනයකදී ඔහු ජාතිවාදය හැඳින්වූයේ “a disease of white people” හෙවත් ‘සුදු මිනිසුන්ගේ රෝගයක්‘ යනුවෙනි.   



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි