×

ට්‍රම්ප්ගේ ‘මුස්ලිම් තහනම‘ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය 5-4 වශයෙන් අනුමත කරයි. 

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුස්ලිම් රටවලින් පැමිණෙන සංචාරකයන්ට පැනවූ තහනම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26) අනුමත කරනු ලැබීය.


ට්‍රම්ප්ගේ ‘මුස්ලිම් තහනම‘ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය 5-4 වශයෙන් අනුමත කරයි.

මහත් ආන්දෝලනයට තුඩු දුන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය සැප්තැම්බරයේ පනවනු ලැබූ, මුස්ලිම් රටවලින් පැමිණෙන සංචාරකයන්ට පැනවූ තහනම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 5-4 ක් වශයෙන් ඊයේ (26) අනුමත කරනු ලැබීය.

මෙය ට්‍රම්ප්ගේ ජනපති ධුර කාලය තුළ ඔහු විසින් ලබාගත් විශාලතම ජයග්‍රහණය ලෙස සැලකෙයි.

පසුගිය සැප්තැම්බරයේ පනවනු ලැබූ, මුස්ලිම් බහුතරයක් ජීවත් වන රටවලින් පැමිණෙන සංචාරකයන් සඳහා ඇමරිකාව තහනම් රටක් බවට පත් කළ මේ ගමන් තහනම ලොව පුරා මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් මෙන්ම ලිබරල් දැක්මක් සහිත වූවන් විසින් ද සලකනු ලැබුවේ ඇමරිකානු සංක්‍රමණික නීතිය උල්ලංඝනයක් සහ ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනයෙන් ඉඩ ලබාදෙන, එක් ආගමක් පරයා තවත් ආගමකට වාසිදායක තත්වයක් ලබානොදිය යුතු බව කියන ව්‍යවස්ථාමය ප්‍රතිපාදනය උල්ලංඝනය කිරීමක් ලෙස ය.

ට්‍රම්ප්ගේ මෙම තහනම ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ඇමරිකාව තුළ ද මහත් ආන්දෝලනයක් ඇති කළේය. හවායි ඇතුළු ජනපද රාශියකදී එම තීරණය බල රහිත කරමින් අධිකරණ විසින් නියෝග ලබා දී තිබිණි.

නමුත් මෙම අධිකරණ තීන්දුව සමගින් එම තාවකාලික අතුරු තහනම් නියෝග සියල්ල ද බල රහිත වෙමින් ට්‍රම්ප්ගේ තහනම නීතිය බවට පත්වනු ඇත.

එම තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහන් කළේ එකී තහනම අභියෝගයට ලක් කළ පාර්ශවයන්, එමගින් ඇමරිකානු සංක්‍රමණික නීතිය සහ ඇමරිකානු ආණ්ඩු ක්‍රමයේ පළමු සංශෝධනය උල්ලංඝනය වන බව හෙවත් මෙමගින් එක් ආගමක් පරයා තවත් ආගමක් ඉස්මතු කරමින් වාසි ලබාදෙන බව ප්‍රමාණවත් පරිදි පෙන්වා දීමට අපොහොසත් වූ බවයි.

අගවිනිසුරු ජෝන් රොබට්ස් තීන්දුව සඳහා හේතු දක්වමින් පැවසුවේ ඇමරිකානු ආණ්ඩුව ‘‘ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රමාණවත් සාධාරණීකරණයක්“ ඉදිරිපත් කිරීමට නඩුවේදී සමත් වූ බවයි.

මේ අනුව මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් 5 ක් සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් විසින් විධායක නියෝගයක් වශයෙන් පැනවූ තහනම තවදුරටත් ක්‍රියාත්මක වනවා පමණක් නොව ඉදිරියේදී ට්‍රම්ප් හට මෙම රටවල් ලැයිස්තුවට තවත් රටවල් අලුතින් එකතු කිරීමට ද අවස්ථාව ලැබේ.

මෙම රටවල් 5 වන්නේ ඉරානය, ලිබියාව, සෝමාලියාව, සිරියාව සහ යේමනයයි.

ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කරන්නේ ඇමරිකාව මුස්ලිම් ප්‍රහාරකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම සංක්‍රමණික ප්‍රතිපත්තිය අත්‍යාවශ්‍ය බවයි.

නමුත් මෙය, ට්‍රම්ප්ගේ මුස්ලිම් විරෝධයේම දිගුවක් ලෙස මෙසේ ඇමරිකාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය වෙනස් කිරීම, විචාරකයන් විසින් අර්ථ දැක්වේ. 2016 දෙසැම්බරයේ ජනාධිපති වේදිකාවේදී ට්‍රම්ප් ප්‍රකාශිතවම සඳහන් කළේ තමන් “a total and complete shutdown of Muslims entering the United States“ හෙවත් ‘‘ඇමරිකා එක්සත් ජනපදය වෙතට මුස්ලිම් ජාතිකයන් පැමිණීම සම්පූර්ණයෙන්ම නතර කර දමන බව‘ යි.

එසේම මෙම නඩු තීන්දුව ලබාදුන් ඇමරිකාවේ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සම්ප්‍රදායික හෙවත් කොන්සවේටිව් ලක්ෂණ සඳහා ප්‍රකට අය බව ද විදෙස් වාර්තා පෙන්වා දේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි