×

ඔස්ට්‍රේලියාවේ දැන් වැඩිපුරම සිටින්නේ ඉන්දියානුවන් ය!

ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ජනගහනය මිලියන 25 පසු කරයි. මේ වන විට ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම සිටින්නේ ආසියාතිකන් වන අතර, එයින් ද ඉන්දියානුවන් ප්‍රධාන ය.


ඉතිහාසයේ පළමුවරට ඕස්ට්‍රේලියා ජනගහනය මිලියන 25 පසු කරයි. Australia’s population to hit 25 million for first time

ප්‍රක්ෂේපිත කාලයට, දස වසරකට පමණ පළමුව ඕස්ට්‍රේලියාවේ ජනගහනය මිලියන 25 පසු කළ බැව් එරට ජනගහන විශේෂඥයෝ පෙන්වා දෙති. මේ තත්ත්වය ඇතිවන්නට ප්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ එරටට සංක්‍රමණය වන පිරිස සෑම වසරක් පාසාම ඉහළ යෑමයි. ඔස්ට්‍රේලියා සංඛ්‍යා ලේඛන කාර්යාංශය පෙන්වා දෙන අන්දමට සෑම මිනිත්තුවකටම වරක් එක් පුද්ගලයෙකු එරටට සංක්‍රමණය වේ. මේ තත්ත්වය හේතුවෙන් එරට දේශපාලන අධිකාරිය පවා කිසියම් අන්දමක අර්බුධකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටී. සංක්‍රමණයන් හැරුණු විට එරට උපත් අනුපාතිකයත් ඉහළ මට්ටමක පවතී. සෑම තත්පර 102කට වරක්ම එහි දරු උපතක් සිදුවන බව වාර්තා වේ.

getty images

එරට ජනගහනය වැඩිවීමත් සමඟම ඊට සරිලන අන්දමෙන් නිවාස, මෝටර් රථ, පාසල්, රෝහල් ආදී පහසුකම් ලබාදීමට සිදුවන්නේ රජයටයි. එපමණක් නොව එරට ජනයාට සැපවත් ජීවිතයක් ගත කිරීමට සරිලන අන්දමින් ආර්ථිකය නංවාලීමට වැඩපිළිවෙල සකස් කරන්නටත් සිදුවේ. මේ තත්ත්වය තුළ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පිරිස වැඩිවීම විවාදාත්මක මාතෘකාවක් වී ඇත. මේ ගැන කතා කරන එරට පුරවැසි කටයුතු පිළිබඳ අමාත්‍යය ඇලන් ටජ් පවසන්නේ ඕස්ට්‍රේලියාවේ නගරවල ජනගහන සමානව ව්‍යාප්තවීම දැන් අවශ්‍යම කාරණයකැයි කියා ය. විශේෂයෙන්ම මෙල්බෝර්න් සහ සිඩ්නි යන නගර තුළ ජනගහන වර්ධනය ප්‍රශ්නකාරී මට්ටමකට ළඟාවෙමින් තිබෙන බැව් හෙතෙම පෙන්වා දෙයි. එම නගරවලට සංක්‍රමණය වන පුහුණු විදේශික ශ්‍රමිකයන් සංඛ්‍යාවත් ඉහළ මට්ටමක පවතී. පුහුණු විදේශික ශ්‍රමිකයන් එපමණ සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ සෙසු ප්‍රදේශවල දැකිය නොහැකි බව වාර්තා මඟින් තහවුරු කෙරේ.

ඒ ඒ රටවලින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන විදේශිකයන් ප්‍රමාණය කලින් කලට වෙනස් වී ඇත. සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන අන්දමට 2001 වසරේදී ඔස්ට්‍රේලියාවට වැඩිපුරම ළඟා වී තිබෙන්නේ යුරෝපා ජාතිකයන් ය. ඒ අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් කැපී පෙනුන බව සඳහන් වේ. දකුණු අප්‍රිකා ජාතියෝත් එකල බහුලව එහි සංක්‍රමණය වූහ. එසේ වුවත් ඉන්දීය, චීන ආදී ආසියාතිකයන් එහි ළඟා වූයේ සාපේක්ෂව අඩුවෙනි. දශකයක් ඇතුළත කාලයේදී මේ තත්ත්වය මුළුමනින් පාහේ වෙනස්ව ගියේය. සෙසු සියලු ජාතින් අභිබවා චීන ජාතිකයන් ඔස්ට්‍රේලියාවට පිවිසෙන්නට පටන් ගත්තේ 2011 වනවිටදී ය. 2012 වනවිට මේ තත්ත්වය තව දුරටත් වෙනස් විණ. එකල වැඩිපුරම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණේ ඉන්දීයානුවන් බැව් දැක්වේ. චීන්නු දෙවැනි තැන හිමිකරගෙන සිටියහ. එහි පිවිසෙන බ්‍රිතාන්‍යය ජාතිකයන් සංඛ්‍යාව ඒ වනවිට තෙවන තැනට වැටී තිබිණ. මේ තත්ත්වය අද දක්වාම නොවෙනස්ව පවතී.

BBC

ඔස්ට්‍රේලියා ජනගහන වර්ධනය ආසියාතිකයන් එ. යුරෝපීයයන්

ඕස්ට්‍රේලියාව වර්ග කිලෝමීටර මිලියන 7.692කින් යුක්ත රාජ්‍යයකි. වෙනත් අන්දමකට කිවහොත් පෘථිවි මුළු භූමි ප්‍රමාණයෙන් 5%ක්ම යටත් වන්නේ ඕස්ට්‍රේලියාවටයි. එසේ වුවත් ඊට යටත් භූමි සරියෙන් 20%ක්ම කාන්තාර ප්‍රදේශය. එම ප්‍රදේශවල ඇත්තේ බෙහෙවින්ම අඩු වාර්ෂික වර්ෂාපතනයකි. මේ ආදී කාරණා නිසා එකී ප්‍රදේශ මනුෂ්‍ය වාසයට උචිත නොවන බව සඳහන් වේ.

 

සබැඳි:

Australia’s population to hit 25 million for first time


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි