×

අලියාට කිසිදා පිළිකා නොවැළඳෙන රහස 

අලින්ට පිළිකා අඩුවෙන් වැළඳෙන්නේ කවර හේතු නිසාද යන්න මුළුමනින්ම විවරණය කර ගතහොත් එය මිනිසුන් අතර  පිළිකා වැළඳීම පහත හෙළන්නට මඟක් විය හැකිය. 


වනයේ සිටින සද්දන්තයා ලෙස සැලකෙන අලියාට පිළිකා වැළඳීමේ අවදානම සාපේක්ෂව බෙහෙවින්ම අඩු බව පර්යේෂකයෝ පිරිසක් කියා සිටිති.

ඔවුන් පෙන්වා දෙන අන්දමට අලින්ගේ දේහයේ පිහිටි ජාන දෙකක් හේතුවෙන් මේ විශේෂ වාසිය අලින්ට ලැබී ඇත.

එකී ජාන දෙක නම් කර තිබෙන්නේ TP53 සහ LIF6 යනුවෙනි. පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට TP53 ජාන 20ක් අලින් සතුය.

පිළිකා ඇතිකරන ආවේණික විකෘතීන් සමඟ හැපී එම විකෘතීන් පරාජයට පත් කිරීමේ හැකියාවක් උක්ත ජානවලට තිබෙන්නේයැයි තහවුරුව ඇත. එම ජාන අලින්ගේ දේහයේ පිහිටා තිබෙන බැවින් ඔවුන්ට පිළිකා වැළඳීමට තිබෙන්නේ බෙහෙවින්ම අඩු ඉඩකි. මේ තොරතුරු ඇතුළත් පර්යේෂණ වාර්තාව “සෙල් රිපෝර්ට්ස්” නමැති ජර්නලයේ අගෝස්තු කලාපයෙහි පළව තිබිණ. එම වාර්තාව සඳහා පාදක වී තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ විශ්වවිද්‍යාලයේ  මානව ප්‍රවේණි විද්‍යා අධ්‍යනාංශයේ ජුවන් මැනුවල් වස්කියුස්, මිෂෙල් සුලක්, ශ්‍රවන්ති චිගුරුපති සහ වින්සන්ට් ලින්ක් යන විද්වතුන් සිදුකළ අධ්‍යනයකි.

මිනිසාගේ දේහයේ සෛල ට්‍රිලියන 37.2කට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි කියා විද්‍යාඥයෝ අනුමාන කරති. අලියකු මිනිසකු මෙන් දහස් ගුණයක් බරැති ය. ඒ නිසා අලියකුගේ දේහයේ ඇති සෛල ප්‍රමාණය, මිනිසකුගේ දේහයේ ඇති සෛල  ප්‍රමාණය මෙන් දහස් සංඛ්‍යාත ගුණයක් බැව් නිසැකවම කියන්නට පුළුවන. එතරම් සෛල ප්‍රමාණයක් විභේදනය වෙමින් වර්ධනය වනවිට විකෘති ඇති වී පිළිකාමය තත්ත්ව අලින්ගේ දේහය ද ඇතිවිය යුතුව තිබේ. පිළිකාවලින් පෙළෙන අලින් බහුලව හිඳිය යුතුය. එසේ වුවත් පිළිකා වැළඳුනු අලින් හමුවන්නේ 5%කටත් අඩු ප්‍රමාණයකි. ලෝක ජනගහනය සලකා බැලුවහොත් එයින් 13%ක් පමණ පිළිකාවලින් පෙළෙති. අනෙක් අතට, පිළිකා වැළඳීම වැඩිවීමේ ප්‍රවණතාවක් අලින් අතර දක්නට ලබෙන්න් ද නැත. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන වින්සන්ට් ලින්ක් පවසන්නේ දේහ විශාලත්වය සහ පිළිකා වැළඳීමට තිබෙන අවදානම අතර සහ සම්බන්ධයක් නැති බව විද්‍යානුකූලව සනාත වී තිබෙන බවකි.

TP53 මඟින් ඇති කෙරෙන බලපෑම හේතුවෙන් p53 නමැති ප්‍රෝටීනය සෛලවල න්‍යෂ්ටියෙහි නිෂ්පාදනය වේ. එම ප්‍රෝටීනය ඍජුවම DNA සමඟ සම්බන්ධව පවතී. අසාමාන්‍ය ලෙස පටක වර්ධනය වීම මර්දනය කරන්නේ එකී p53 ප්‍රෝටීනයයි.  සෛලයක තිබෙන DNA හානියට පත්වන්නට පුළුවන. ඒවා එසේ හානියට පත්වන්නේ රසායනිකයක්, විකිරණයක් හෝ පාරජම්බුල කිරණ හෝ හේතුවෙනි. එලෙස හානියට පත් DNA අණුවක් නැවත පිළිසකර කෙරෙන්නේ ද එසේත් නැත්නම් එම DNA අණුව අඩංගු සෛලය විනාශයට පත් කෙරෙන්නේ ද යන්න විනිශ්චය වන්නේ මතු දැක් වූ ප්‍රෝටීනය මඟින් බැව් සඳහන් වේ. DNA අණුව පිළිසකර වන්නේ නම් p53 ප්‍රෝටීනය තවත් ජාන සමඟ සම්බන්ධ වෙමින් එම හානිය පිළිසකර කිරීමට ක්‍රියාත්මක වේ. DNA අණුව පිළිසකර නොවන්නේ නම් එම සෛලයෙන් පිටපත් ඇතිවීම හෙවත් එම සෛලයේ විභේදනය නැවතිය යුතුව තිබේ. එම සෛලයේ විභේදනය නතර විය යුතු යැයිද සෛලය එය විසින්ම විනාශයට පත් විය යුතු යැයිද කියන සංඥාවන් නිකුත් කෙරෙන්නේ p53 ප්‍රෝටීනයෙනි. එම සෛලය විනාශ වීමේ කෘත්‍ය සිදුවන්නේ පළමුව කී LIF6 ජානයේ ක්‍රියාකාරිත්වය හරහායි. මෙම ක්‍රියාවලියෙන් සිදුවන්නේ විකෘතිතාවයක් සහිත සෛලය තව දුරටත් විභේදනය වී පටකවල අසාමන්‍ය වර්ධනයක් හෙවත් පිළිකාවක් වැඩීම නතර වීමය.
TP53 සහ LIF6 ජානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තවත් බොහෝ තොරතුරු අනාවරණය කරගන්නට ඇති බව පර්යේෂකයෝ පවසති.

අලින්ට පිළිකා අඩුවෙන් වැළඳෙන්නේ කවර හේතු නිසාද යන්න මුළුමනින්ම විවරණය කර ගතහොත් එය මිනිසුන් අතර  පිළිකා වැළඳීම පහත හෙළන්නට මඟක් විය හැකිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි