×

ඉන්දියාවේ සමරිසියන්ට කොළ එළියක්

ඉන්දියාවේ සමරිසියන්ට බලාපොරොත්තු තබාගත හැකි ආකාරයට කොළ එළියක් දැල්වෙමින් තිබේ.


“දොර විවෘතව ඇත. දොර විවෘත කළේ ඉතා අපහසුවෙනි. ලේ, කඳුළු, මළමිනී මතින් ඇරගත් දොර නැවත වසා දැමීමට කිසිවිටෙකත් අප ඉඩ දෙන්නේ නැත”. – අන්ජලී ගෝපාලන් , නිර්මාතෘ, නෑෂ් පදනම, ඉන්දියාව.

පසුගිය අගහරුවාදා දිනයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගිකත්වය නිර් අපරාධීකරණය කිරීමට අදාළ පෙත්සම් නැවත සලකා බැලීම සඳහා අනුමැතිය පළ කළ අතර අදාළ තොරතුරු විමර්ශනය කිරීම ආරම්භ කර සතියක් යාමට මත්තෙන් ඉන්දියාවේ සමරිසියන්ට බලාපොරොත්තු තබාගත හැකි ආකාරයට කොළ එළියක් දල්වමින් සිටී.

ඒ අනුව බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් ඉන්දියාවේ වෙසෙන සමරිසි පුද්ගලයින් ‘අපරාධකරුවන්ය, අසාමාන්‍ය ලිංගික චර්යාවල යෙදෙන්නන්ය’ යනුවෙන් සලකමින් ඔවුන්ගේ දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය වශයෙන් සමරිසිභාවය අපරාධයක් කොට සැලකූ නීතිය වෙනස් කිරීමඅවශ්‍යයද යන්න නැවත සලකා බැලීම වෙනුවෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු විමර්ශනය කරමින් සිටී. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ වගන්තිය හා සමාන ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තියෙන් ප්‍රකාශ කෙරෙන්නේ ප්‍රසිද්ධියේ වුවද, අප්‍රසිද්ධියේ වුවද සිදුවන සියලුම ආකාරයේ සමලිංගික ක්‍රියාකාරකම් නීතියට පටහැණි බවයි. එමෙන්ම ඒවා අසාමාන්‍ය චර්යාවන් ලෙස සැලකිය යුතු බවයි. මෙහිදී ප්‍රසිද්ධි ස්ථාන යනු මොනවාද, අප්‍රසිද්ධ ස්ථාන යනු මොනවාද යන්න ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිව දක්වා නැති අතර, පුරුෂයින් දෙදෙනෙකු අතර හෝ තැනැත්තියන් අතර සිදුවිය හැකි තදබල අශෝබන ක්‍රියා මොනවාද යන්න පැහැදිලි කිරීමක් කර නොමැත. බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් 1861 දී ඉන්දියාවට දණ්ඩ නීති සංග්‍රහය හඳුන්වා දුන් අතර වසර 157ක් පැරණි මෙම නීතිය මගින් ඉන්දියාවේ ජීවත්වන සමරිසි ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට සමරිසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් විසින් පෙත්සම් ඉදිරිපත් කරන ලදී. මීට පෙර 2009 වර්ෂයේදී නෑෂ් පදනම විසින් දිල්ලි මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ජයගැනීමට හැකි වුවද 2013 වර්ෂයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධීකරණය විසින් එම නඩු තීන්දුව නිෂ්ප්‍රභ කළේය. නැවත වතාවක් 2016 වර්ෂයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පැවසූයේ කිසියම් පුද්ගලයෙකු සමරිසිවීම හෝ විෂමරිසි වීම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික කාරණාවක් වන බවයි. සෑම පුද්ගලයෙක්ටම ව්‍යවස්ථානුකූලව පෞද්ගලිකත්වය සම්බන්ධ අයිතිය පවතින අතර එය ව්‍යවස්ථාව මගින් ආරක්ෂා විය යුතු බවත් සමරිසි ලිංගික දිශානතියද ඒ යටතට ගැනිය යුතු බවත් ප්‍රකාශ කෙරුණි.

මෙම පසුබිම යටතේ ඉන්දීය සමරිසි ක්‍රියාකාරීන් සිවු දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මේ අනුව මේ දිනවලදී විභාගයට ගැනේ. එමගින් ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය යටතේ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන තිබේද? එසේ ගෙන තිබේ නම් ඔවුන් උසාවියට ඉදිරිපත් කර ඇත්ද? උසාවියට ඉදිරිපත් කළේ නම් නියම කළ දඞුවම් මොනවාද යනාදිය පිළිබඳ විමර්ශනය සිදු කෙරෙනු ඇත. සමරිසි ක්‍රියාකාරීන්ට තමන්ගේ මූලික අයිතිවාසිකම් හා මානව හිමිකම් උල්ලංඝණය වූ ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසිය හැකි සේම දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය පැවතිය යුතු යැයි විශ්වාස කරන හා එලෙස තර්ක කරන අයටද අදහස් දැක්වීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථාව ලබාදී ඇත. ඉන්දිය සමරිසි පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පවසන පරිදි ඉන්දියාවේ ජීවත් වෙන සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන් මිලියන 2.5 ක් පමණ දෙනා මෙම සොඩොමි නීතියෙන්, නැතහොත් කොළණි නීතියෙන් බැට කමින් සිටිති. විශේෂත්වය වනුයේ ඉන්දියාවේ සමරිසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩ කරන හා ක්‍රියාකරන සංවිධාන හා තනි පුද්ගලයින්ගේ අරමුණු හා ප්‍රවේශ වෙනස් වුවද 2013 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබූ දිල්ලි මහාධිකරණ තීන්දුවෙන් පසුව සියලුම සංවිධාන හා තනි පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් සමරිසිභාවය නිර් අපරාධීකරණය කිරීමේ මෙහෙයුම ප්‍රධාන කොටගෙන ක්‍රියාත්මක විමයි.

පසුගිය සතිය පුරාවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විමසනු ලැබූ කරුණු අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් සමරිසි පුද්ගලයින්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය විය හැකි ආකාරයට කටයුතු කිරීමට පොලීසියට බලය පවරා ඇති බව විමර්ශනවලදී තහවුරු වෙමින් පවතී. විශේෂයෙන් 377 වගන්තිය යටතේ අත් අඩංගුවට පත්වූ හා විවිධ කායික මානසික හිරිහැරවලට ලක්වූ සමාජ ක්‍රියාකාරීන් විසින් ලබාදෙන සාක්ෂි ඉතා බලවත් විය හැකිය. ඉන්දීය අග විනිසුරු දීපක් මිස්රා ඇතුළු පංච පුද්ගල විනිශ්චය මඩුල්ලක් විසින් අදාළ පෙත්සම් විභාග කරන අතර ජූලි මස 20 වන සිකුරාදා දිනයේදී තව දුරටත් විවේචන හා ප්‍රතිපක්ෂ මත විමසා බලා අදාළ තීන්දුව ලබාදෙනු ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් වර්තමානයේදී පවතින තත්ත්වයට අනුව ඉන්දියාවේ වෙසෙන මිලියන සංඛ්‍යාත සමරිසියන්ට ඔවුන් අපරාධ කරුවන් යැයි ඉංග්‍රීසින් විසින් හංවඩු ගැසූ, ඉන්දියානු පොලීසිය මගින් දඩුවම් ලබාදෙනු ලැබූ යටත් විජීත නීතියේ හස්තයෙන් මිදී අනාගතය දෙස සුබවාදීව බැලීමට හැකිවනු ඇත.

කෙසේ වුවද විනිසුරුවන් පවසන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය මගින් සමරිසි පුද්ගලයින්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වේ යැයි සහේතුකව හැඟුනහොත් පාර්ලිමේන්තුව විසින් නීති හකුලා ගැනීම තෙක් බලා නොසිට එම නීතිය අවලංගු කිරීමට පසුබට නොවන බවයි. මෙම සියලු තත්ත්වයන්ට අවශ්‍ය පසුබිම සකස් වූයේ සමලිංගික ක්‍රියාකාරකම් අපරාධයක්ද යන්න තීරණය කිරීමේ බලය අධිකරණයට පවරන බව ඉන්දීය රජය විසින් පසුගියදා ප්‍රකාශ කිරීමත් සමගය. එහෙත් 2016 වසරේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සමරිසිභාවය නීත්‍යනුකූල කළ යුතුය යන්න අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පරාජයට පත් කරනු ලැබුවේය. එපමණක් නොව අගමැති මෝදිගේ ලේකම්වරයෙකු වන රාජ්නාත් සිං ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ සමලිංගිකත්වය අපරාධයක් ලෙස සලකන දණ්ඩ නීති සංග්‍රහයේ 377 වගන්තිය එලෙසම පැවතිය යුතු බවට ඔහු යෝජනා කරන බවයි. එමෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ඕනෑම දෙයක් වෙනුවෙන් ඔහුගේ සහයෝගය ලබාදෙන බවයි. ඔහුට අනුව සමලිංගිකත්වය යනු අසාමාන්‍ය චර්යාවක් වන අතර අසාමාන්‍ය චර්යාවන් වලට අනිවාර්යයෙන් දඩුවම් ලැබිය යුතුය.

එහෙත් අන්ජලී ගෝපාලන්, රෝ කවී වැනි අත්දැකීම් සහිත විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන්ගේ අයිතිවාසිකම් ව්‍යාපාරයේ පැරණි සාමාජිකයින්ගේ අප්‍රතිහත උත්සාහය හා මිලියන සංඛ්‍යාත සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන්ගේ හඩ, රජයේ හා රාජ්‍ය නියෝජිතයින්ගේ හඩ පරයා උස් හඩින් ඇසෙනු දැකිය හැකිය. නෑෂ් පදනමේ නිර්මාතෘ අන්ජලී ගෝපාලන් පවසන ආකාරයට ”දොර විවෘතව ඇත. දොර විවෘත කළේ ඉතා අපහසුවෙනි. ලේ, කඳුළු, මළමිනී මතින් ඇරගත් දොර නැවත වසා දැමීමට කිසිවිටෙකත් අප ඉඩ දෙන්නේ නැත”. ජය වේ ඉන්දියා!

තුෂාර මනෝජ්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි