×

‘ඔබට ලබාදුන් කාලය අවසන්‘ – ෆ්ලොරන්ස් හරිකේන් කුණාටුව ඇමරිකාව පිසදා හැමීම ඇරඹෙයි.

‘‘ඔබට ලබාදුන් කාලය අවසන් වෙමින් තිබේ. සාගර ජලමට්ටම ඉහළ යමින් තිබේ‘‘ මෙම අනතුරු ඇඟවීම ඇමරිකානු බලධාරීන් විසින් ඊයේ සවස නිකුත් කළේ, අත ළඟ එන ‘ෆ්ලෝරන්ස් සුළි කුණාටුව“  සම්බන්ධයෙන් අවසන් නිවේදනය නිකුත් කරමිනි.


මේ වන විට ‘‘ජීවිත බොහෝ ගණනක් විනාශ විය හැකි සහ විනාශකාරී ගං වතුර තත්වයක් ඇති කළ හැකි බව‘‘ට අනතුරු අඟවා තිබූ ෆ්ලෝරන්ස්, ((Hurricane Florence)) ඇමරිකාව පිසදා හමා යාම ආරම්භ කර ඇත.

උතුරු කැරොලිනා ආණ්ඩුකාර රෝයි කූපර් බසින් පවසන්නේ නම් ‘ඉතිහාසගත කුණාටුවක්‘ වන මෙය, මේ වන විට උතුරු සහ දකුණු කැරොලිනා ජනපද සහ වර්ජිනියා ජනපද හරහා වේගයෙන් ඇදී යමින් තිබේ. එහි වේගය, පැයට කිලෝමීටර 150 කි. (පැයට සැතපුම් 90). වෙරළබඩ ප්‍රදේශවලදී සුළි සුළඟේ වේගය උපරිමයක් වන බව ද වාර්තා වේ. ‘‘තර්ජනය යථාර්ථයක් වන දිනය අදයි‘ යනුවෙන් ද උතුරු කැරොලිනා ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබේ.

නිවාස ලක්ෂයකට වඩා මේ වන විට පවතින්නේ විදුලිය විසන්ධි වූ තත්වයෙනි. පැය ගණනක් එක දිගට දැඩි වර්ෂාවක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යාඥයන් කලින්ම අනතුරු අඟවා ඇත. ගංගා, ඇළ මාර්ග සහ පහත්බිම්වල වසන ජනතාව ඉහළම අවදානමක් ඇති කොටස් වශයෙන් කලින්ම ප්‍රකාශයට පත් කර තිබිණි. ඇතැම් ස්ථානවල ගං වතුර මීටර 4 ක් හෙවත් අඩි 13 ක් තරම් උසට වාර්තා වීමට නියමිත ය. බ්‍රහස්පතින්දා රාත්‍රියේ පටන් සෙනසුරාදා වන තෙක්ම දැඩි වර්ෂාපතනයක් මෙම ජනපදවල අපේක්ෂා කෙරේ.

ෆ්ලොරන්ස් හරිකේනය, අභ්‍යවකාශයට දිස්වන අයුරු | New York Post

ෆ්ලොරන්ස් හරිකේනය, අභ්‍යවකාශයට දිස්වන අයුරු | New York Post

කැරොලිනා වෙරළ තීරයට අඟල් 20-30 අතර වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර, සෙසු ප්‍රදේශවල මෙම අගය අඟල් 40 ක් තරම් ඉහළ වීමට ද පුළුවන. දකුණු කැරොලිනාවේ මයිටල් බීච් වැනි ඇතැම් ප්‍රදේශවල බ්‍රහස්පතින්දා රාත්‍රියේ පටන් පැය 12 ක ඇඳිරි නීති කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

ගුවන් ගමන් වාර 1400 ක් මේ දක්වා අවලංගු කර ඇති අතර, වෙරළබඩ කලාපයන් හි පිහිටා තිබෙන ගුවන් තොටුපොළවලින් බහුතරය කුණාටුව පහවී යන තෙක් වසා දමා තිබේ.

උණුසුම් සාගර ජලය විසින් හරිකේන් කුණාටුවලට ජවය සපයන හෙයින්, ඉදිරියේදී ඇමරිකාව මුහුණ දෙන හරිකේන් කුණාටු සංඛ්‍යාව ඉහළ යාමේ අවදානමක් ඇති බව ද පැවසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි