×

කතෝලික පල්ලියේ ‘පිළිකුල් සහගත අපරාධ‘ ගැන සුදොවුන් පාප්වහන්සේ ලැජ්ජා වෙති.

කතෝලික පූජකවරුන් විසින් සිදුකරන ලිංගික අපචාර නමැති ‘පිළිකුල් සහගත අපරාධ“ වළක්වා ගැනීමට අසමත් වීම ගැන තමන් ලැජ්ජා වන්නේ යැයි අති උතුම් පාප්වහන්සේ සිය අයර්ලන්ත සංචාරයේදී ප්‍රකාශ කළහ.


අයර්ලන්තයේ කතෝලික පූජකවරුන් විසින් අපයෝජනයට ලක්කළ වින්දිතයන් පිරිසක් හමු වී පාප්වහන්සේ විනාඩි 90 ක් පමණ ඔවුන් සමග ගත කළහ.

1979 වසරේ දෙවැනි ජුවාන් පාවුළු පාප්වහන්සේ අයර්ලන්තය වෙත පැමිණීමෙන් වසර 39කට පසු පාප්වහන්සේ නමක් අයර්ලන්තය වෙත වඩින ප්‍රථම අවස්ථාව මෙයයි. සෑම වසර 3කටම වරක් පැවැත්වෙන ගෝලීය කතෝලික හමුව ද මෙයට සමගාමීව පැවැත්වීම විශේෂ සිදුවීමකි.

ඩබ්ලින් කාසල් හි රැස්ව සිටි දේශපාලන නායකයන් සහ ප්‍රභූන් හමුවේ අති උතුම් පාප්වහන්සේ කළ මෙම ප්‍රකාශය, ලෝකයේ සිටින බිලියන 1.2 ක් වන කතෝලික ප්‍රජාව වෙත ලබාදුන් සුවිශේෂී පණිවුඩයකි.

බරපතළ අපචාරී ක්‍රියාවන් සිදුකිරීම සහ කතෝලික පූජකයන් විසින් අනතුරුව ඒවා ආවරණය කර ගැනීමට යත්න දැරීම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව එහිදී උන් වහන්සේ පැවසූහ. අයර්ලන්ත අග්‍රාමත්‍ය ලියෝ වරද්කාර් ද පාප්වහන්සේ ට පෙර මෙම සිදුවීම් පිළිබඳ දැඩි ප්‍රකාශ කිහිපයක් සිදුකළේය.

‘‘මිනිසුන්ව අන්ධකාරයේ, වැසුණු කාමරවල, අහුමුළුවල තබා තිබෙනවා. ඔවුන්ගේ දුක් බරිත කෑ ගැසීම් කිසිවෙකුට නෑසෙන ලෙස. ශුද්ධ වූ පියාණෙනි, මා ඔබෙන් ඉල්ලා සිටින්නේ වින්දිතයන් සහ ඉතිරිව සිටිනවුන් වෙත කන් දෙන ලෙසයි.“ යනුවෙන් ලියෝ වරද්කාර් එහිදී පැවසීය.

පාප්වහන්සේ අගමැති ලියෝ වර්ද්කාර් සමග | BBC

පාප්වහන්සේ අගමැති ලියෝ වර්ද්කාර් සමග | BBC

ඇමරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ බාලවයස්කරුවන් 1000කට අධික සංඛ්‍යාවක් කතෝලික පූජකයන් 300 දෙනෙකු විසින් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය ද එහිදී ඔහුගේ සැලකිල්ලට බඳුන් විය.

‘සැවියා‘ යනුවෙන් හඳුන්වන, ආයතනයික අපයෝජනයට ලක්වූ වින්දිතයන් විසින් පාප් වහන්සේගේ නිල රථය වන පෝප් මොබයිල් රිය ගමන් ගන්නා මාර්ගය දෙපස විරෝධතාවක් ද සංවිධානය කර තිබිණි.

අද (ඉරිදා) දිනයේ ෆීනික්ස් පාක් හි ලක්ෂ 5 ක ජනතාවකට මහා දේව මෙහෙයක් පැවැත්වීමත් සමග අති උතුම් පාප්වහන්සේගේ අයර්ලන්ත සංචාරය නිමාව දැකීමට නියමිත ය.

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ පාප් ධුරයට පත්වීමෙන් අනතුරුව ගබ්සාව, උපත් පාලනය, දික්කසාදය සහ සමරිසි විවාහ පිළිබඳ කතෝලික ලෝකයේ ආකල්ප විශාල වෙනස්කම්වලට ලක් වී තිබේ. අයර්ලන්තය ඒ අතරින් ප්‍රගතිගාමී වෙනස්කම් වැළඳගත් සමාජයක් ලෙස ප්‍රකට ය. 2015 වසරේදී අයර්ලන්තය සමරිසි පිරිමි විවාහ සම්බන්ධ නීතිය වෙනස්කරමින් එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ අතර, 2018 මැයි මාසයේදී ගබ්සාව පිළිබඳ දැඩි නීති විශාල ජන මතයකින් වෙනස් කර ගත්තේය. ලෝකයේ ප්‍රථම සමරිසි අගමැතිවරයා වන්නේ ද අයර්ලන්තයේ වත්මන් අග්‍රාමාත්‍ය ලියෝ වරද්කාර් ය.

BBC

BBC



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි